කොළඹ LNW:ජනාධිපතිවරණයේ ජන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝමබර් 16 යන කාලය තුළ පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.
ඒ අනුව ඊට අදාළ නාමයෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි මැතිවරණ කොමිසම කියා සිටියේ.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණ ජන්ද විමසීම සඳහා මෙලෙස කාල රාමුවක් පැවතුණද ඊට පෙර ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක්ද නැතුවා නොවේ.
කොහොමත් තවදුරටත් ඒ වෙනුවෙන් පොහොට්ටුව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ඒ වෙනුවෙන් තවදුරටත් බලපෑම් කරමින් සිටින බවයි කියවෙන්නේ.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ඉඳන් ආපු දවසේ ඉඳන් දැන් මේ වෙද්දී හය වතාවක් ජනාධිපතිවරයා හමුවෙලා තිබෙනවා. නමුත් තාමත් බැසිල්ට ඉලක්කය ගන්න නම් හැකි වුණේ නැහැ.
කෙසේවෙතත් පසුගිය 09 වැනිදා එනම් ගෝල්ෆේස් අරගලයට පහර දී වසර දෙකක් පිරුණු දින ජනාධිපති වික්‍රමසිංහ යළිත් වරක් පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ගිනි ගත් රට නිවා දැමුණු ආකාරය ගැන පැහැදිලි කිරීමක් කළා.
උපුටා ගැනීම
”මම භාර ගත්තේ ගිනිගත්තු රටක්. අපායට වැටුණු රටක්, හැකිලුණු ආර්ථිකයක්, උද්ධමනය සියයට 70 ක පැවතුනා.
අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10 – 12 වඩා වැඩි අගයකට වැඩි වෙලා. පොළී අනුපාතය සියයට 30ක් දක්වා ඉහළ නැංවිලා. ඩොලරය රුපියල් 450 ක් පමණ මට්ටමට වැඩි වෙලා. විදේශ විනිමය සංචිත බිංදුවටම වැටිලා. සතියක් තරම් කාලයක් සඳහාවත් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න සල්ලි තිබුණේ නැහැ. රටේ බහුතරයක් හිටියේ පාරේ. සමහරු දවස් ගණන් පෝලිම්වල. තවත් සමහරු දවස් ගණන් අරගලවල. රටත්, ආර්ථිකයත් යළි ගොඩනැංවීමේ අභියෝගය මම භාරගත්තේ අන්න එවැනි පසුබිමකයි.
වෙනත් කිසි කෙනෙක් ඒ වේලාවේ රට බේරා ගැනීමේ අභියෝගය බාරගත්තේ නෑ. ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළා. නමුත් මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා. මගේ පක්ෂයට මේ පාර්ලිමේන්තුවේ තිබුණේ එකම එක මන්ත්‍රී ධුරයයි. එහෙම අනතුරුදායක පසුබිමකයි මම මෙහෙවරට උර දුන්නේ.
බයක් සැකක් නැතිව ඒ අභියෝගය මම භාර ගත්තේ හේතු තුනක් උඩ. මට සැලැස්මක් තිබුණා. අත්දැකීම් තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. ඒ නිසා, අපායට වැටිලා තිබුණ මේ රට ගොඩ ගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.”
උපුටා ගැනීම අවසන්
ඒ අනුව රටට ද්‍රෝහී නොවී,අනාගත පරපුරට ද්‍රෝහී නොවී පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් පමණක් නොව ආගමික නායකයන්, වෘත්තීය සමිති, වෘත්තීවේදීන්, ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ මතධාරී නායකයන් මෙන්ම සමාජ බලපෑම් කළහැකි පුද්ගලයන් ආදී සියලුදෙනා එම පොදු සම්මුතිය සමඟ එක් විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
කොහොමත් දැන් බහුතරක් දෙනා පෙළගැසී සිටින්නේ ජනාධිපතිවරණයක් අපේක්ෂාවෙන්.
විශේෂයෙන් ඒ ගොඩට රටේ මහජනතාවද සිටින අතර පෙනෙන්නට ඇති පරිදි දැන් ජනතාවටද අවශ්‍ය ජනාධිපතිවරණයක් සහ අලුත් ආණ්ඩුවක්.
මෙතැනදී පොහොට්ටුව බරපතල අර්බුදයකට යන්නේ ඔවුන්ගේ දියවීම ජනාධිපතිවරණ ජන්ද විමසීමකින් හොඳින්ම පෙනෙන්න ගන්න නිසා. තවදුරටත් මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් ඔවුන් මැදිහත්වෙමින් සිටින්නේ යන්තමින් හෝ විලි වසාගැනීමට මහ මැතිවරණයෙන් හැකිවෙතැයි යන බලාපොරොත්තුවෙන්.
පොහොට්ටුව නොමැතිව යූඑන්පියට මහ මැතිවරණයකදී ගොඩ යන්න නම් ඔවුන්ට සමඟියේ සහය අවශ්‍ය වෙනවා.
ඉතින් එවැනි අවදානමක් ගන්න ජනාධිපති වික්‍රමසිංහට වුණත් මේ මොහොතේ අවශ්‍ය නැති බව තමයි අපේ හැඟීම.
ඒ වගේම තමයි පොහොටුවටයි එජාපයටයි මේ දේශපාලන දීගය මේ මොහොතේ කඩා ගන්නත් බැහැ. එහෙම වුනොත් කොහොමත් දෙගොල්ලොම හාන්සියි.
ඉතින් බැසිල්ගේ පදේටම මේ වෙලාවේ රනිල් නටයි කියල කොහොමත් විශ්වාස කරන්න බැහැ.
කොහොමත් ජාතික මැතිවරණයක් ටක්කෙටම එන නිසා පොහොට්ටුව ඊයේ ඔවුන්ගේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය බත්තරමුල්ල නෙලුම්මාවතේදීම විවෘත කළා.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්කර තිබෙන අතර සුපුරුදු ලෙස ඔවුන් දිවයිනපුරාම ආවරණය වන ලෙස සිය ජාලය විහිදුවා තිබෙනවා.
කොහොමත් මෙවර මැතිවරණයකදී වෙනදට වඩා වැඩි ගුණයකින් පොහොට්ටුවට වැඩකරන්න වෙන්නේ පසුගිය කාලය තුළ ඔවුන් මුහුණ දුන් දේශපාලන අවපාතය නිසාමයි.
ජනාධිපති අපේක්ෂකයා ගැන ළඟදීම තීරණයක් ගන්නා බව එහිදී බැසිල් රාජපක්ෂ මාධ්‍ය වෙත පැවසූ අතර ඒ අසල සිනා මුසු මුහුණින් ධම්මික පෙරේරාද සිටියා.
බැසිල්ගේ කතාව අනුව අපේක්ෂකත්වය නාමල්ට යන්නේ නැහැ.
ඒ නිසා තමයි කල් තියාම අලුතෙන් ජවයක් ගන්න ඕනෑම නිසා ජාතික සංවිධායක ධූරය බැසිල් රාජපක්ෂගෙන් ගැලවිලා නාමල් ළඟට යන්නෙත්. කොහොමත් මේ රාජපක්ෂ පවුලට මේ පාර තියෙන්නේ නම් එසේ මෙසේ දිවිල්ලක් නෙවෙයි.
පසුගිය මැයි දිනයේදී වුනත් පොහොට්ටුවේ රැළිය ජාතික අවධානයට හසු නොවුණු තරම්. පොහොට්ටු කණ්ඩායම මාධ්‍ය ඉදිරියේ සිය මැයි දිනයේ උජාරුව පැවසුවත් මහ පොළවේ යතාර්ථය එය නොවන බව ඔවුන්ද හොඳින්ම දන්නවා.
මේ අතරේ පහුගිය කාලය පුරාම පොහොට්ටුව එක්ක නැත්නම් විශේෂයෙන් රාජපක්ෂවරු සමඟ එකට වැටී සිටි එක පතේ කෑ රාජපක්ෂලා වෙනුවෙන් නයි පොළොන්ගුද නැටවූ ඒ විතරක් නෙවෙයි වඳ නාඩගමකුත් ටක්කෙටම නැටූ රටක්ද නැටවූ දිලිත් ජයවීර වැන්නන් ද දැන් ට්‍රැක් පැන රාජපක්ෂලාට හතර අතට තලමින් සිටිනවා.
පැහැදිලි ලෙසම දැන් පොහොට්ටුව අවලංගු වී ඇති නමුත් පොහොට්ටුවට ජය ගෙන ආ 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂා බිඳ වැටි නැති බවත් එම ජනතාවට වගකිව යුතු බවටයි දැන් ඔහු දිගින් දිගටම පවසමින් සිටින්නේ.
ඒ අනුව දිලිත් ජයවීර නායකත්වය දෙන මව්බිම ජනතා පක්ෂයේ පළමු කාර්ය වන්නේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම බව ඔහු පවසනවා.
මේ අතර පොහොට්ටුවෙන් එළියට බැහැපු ජී.එල්., ඩිලාන්, ඩලස්,විමල්,ගම්මන්පිල වැනි කණ්ඩායම්ද 69 ලක්ෂයක් ජන්දවල අයිතියට පෙනී සිටින්නන්. දැන් මේ හැමදෙනාම පොහොට්ටුවේ 69 ලක්ෂයක මල් වට්ටිය බදා ගෙන ඉන්නේ. මේ හැමදෙනාම දැන් කතාකරමින් සිටින්නේ 69 ලක්ෂයක ජන්ද ගොඩකට.
නමුත් මෙතන නගන්න වෙන ප්‍රශ්නයක් තිබෙනවා. රාජපක්ෂලා කෙසේවෙතත් සිට දිලිත්ලා විමල්ලා දක්වාම සිතා සිටින්නේ මේ 69 ලක්ෂය සුලුරුදු පරිදි කිසිදු සෙලවීමකට, නාය යාමකට හසුව නැති බවද?
වසර දෙකකට පෙර පැවති ගෝල්ෆේස් මහජන අරගලයෙන් පසු පොහොට්ටුවේ ජන්ද පදනමට මොකද වුණේ කියන එක දැනගන්න හොඳම කෙනා එස්.බී. මෙතෙක් කාලයකට පොහොටුවට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත දේශපාලන ඉරණම ගැන අවංකව කතා කළේ එස්. බී.
කොහොමත් මේ 69 ලක්ෂයක පංගුවේ තරම දැනගන්න නම් ජන්දයකට යන්න වෙනවා. එදා රාජපක්ෂලාගේ සාටක සුවය විඳිමින් සිටි අය කොහොමත් වෙන වෙනම මල් වට්ටි අරන් 69 ලක්ෂය හොයාගෙන හොද වේගයකින් ඉස්සරහට එන්න නියමිතයි. මල් වට්ටියට අත ගහන නොගහන එක ඒ ඒ අයගේ තීරණයක්. මොකද දේශපාලන තුළ සදාකාලික මිතුරොත් හතුරොත් නැති නිසා. කාට කාටත් ප්‍රධාන සාධකය බලය. බලය අත්පත් කර ගැනීම. බලය ගිලිහෙන්නට නොදී කොහොම හරි රැක ගැනීම. ඉතින් ඒ වෙනුවෙන් මොනවද වෙන්න බැරි?
මේ අතර විශේෂ අවධානයට යොමු වූ කාරණයක් වුණේ ඩයනා ගමගේ දැරූ රාජ්‍ය අමතය් ධූරය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ඇයට අහිමි වීමයි.
ඩයනා ගමගේ කර ඇති වරදට අධිකරණය මඟින් තීන්දුවක් දී තිබෙනවා. ව්‍යවස්ථාවට පිටින් ගොස් පෙන්වා ඇති දේශපාලන හයිය අධිකරණය ඉදිරියේ දැන් හෑල්ලු වී තිබෙනවා.
එහෙත් මෙය විශේෂයෙන් ඩයනා ගමගේ ගේ එම පුරවැසිභාවය සම්බන්ධ ගැටලුව සමඟි ජන බලවේගය හෝ වත්මන් රජය නොදැන සිටින්නට හේතුවක් නැහැ.
කුමන හෝ කරුණක් මත ඩයනා ගමගේ හැමෝටම කොළේ වහලා නම් එයද මේ රාජ්‍යයේ ඇති දුර්වලතාවයයි.
තමන්ට ඕනෑ හැටියට ව්‍යවස්ථාවට අර්ථකතන ගෙන එන, ව්‍යවස්ථාව නමන රටක ඩයනා ගමගේ ගේ ප්‍රශ්නයද මේ රටේ දේශපාලන සුජාතභාවයේ පිරිහීම පෙන්නුම් කරන්නක්.
කෙසේවෙතත් දැන් ඩයනා ගමගේට දුන් අධිකරණ තීන්දුවෙන් පසු සමඟි ජන බලවේගයේ ඇතැමුන් පාර්ලිමේන්තුව තුළදීම ඇයට උපහාසයෙන් කතා කරන අයුරු දක්නට ලැබුණා.
පුරවැසියෙක් ලෙසත් රාජ්‍ය අමාත්‍යවරියක ලෙසත් ඩයනා ගමගේ පසුගිය කාලය තුළ දැක්වූ හැසිරීම්, කතා ශෛලීය තුළ ප්‍රශ්න ඇතුවා නොවේ. ඇයට එරෙහිව ලැබුණු අධිකරණ තීන්දුව වුවද ඇයගේ කට නිසා ඉගෙන ගත් පාඩමක් ලෙසද ඇතැමුන් පවසන්නට වුණා.
කොහොමත් ඔය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැහැදිලි විශ්වාසයක්,ගෞරවයක් මහජනයා තුළ නම් දැන් නැති තරම්. ඇත්තටම කිව්වොත් ඒක ගලියක්.
ඩයනාට විතරක් ගලි බවුසරයක් කීම සාධාරණ නැහැ.
මේ ගලිය ඇතුලේ ඩයනා වැඩක් කරන්නටත් උත්සහයක් ගත් තමන්ගේ ස්ථාවරය වෙනුවෙන් බය නැතුව පෙනී සිටි තැනැත්තියක්. එය සටහන් කළ යුතු වෙනවා. ඇතැම් විට පිරිමියෙකුට නැති පුරුෂ ධෛර්යයක් ඇයට තිබුණු බව පෙනෙන්නට තිබුණා.
කොහොමත් ලංකාවේ දේශපාලනය ඇතුලේ ගඳ ගහන දේවල් තමයි වැඩි.
ගඳ වැඩ,ගඳ කතා,ගඳ සැලසුම් එමටයි.
ආශිකා බ්‍රාහ්මණ