මුදල් සංසරණය 14.5% කින් ඉහළ යයි !

Date:

“2024 වසර තුළ භෞතික මුදල් සංසරණයේ පෙර නොවූ විරූ සියයට 14.5 ක වාර්ෂික වර්ධනයක් මහ බැංකුව වාර්තා කර ඇත.”

මේ මේ වෙද්දී වේගයෙන් සංසරණය වන පුවතක්. ඔය වගේ දෙයක් දුටු විට ගොඩක් අය තල් අත්තට බෙලි ගෙඩිය වැටුණු වෙලාවේ වගේ කලබල වෙලා ඕක පස්සේ දුවනවා. මෙය ප්‍රශ්නයක් ලෙස දැකලා ප්‍රශ්නය විසඳන්න කරපු යෝජනාත් ගණනාවක්ම දැක්කා.

පෙනෙන විදිහට මේ පුවතේ සම්භවය සාමාන්‍යයෙන් හැමදාම බැණුම් අහන සමාජ ජාලා කිසිවක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පුවත්පතක්. ඔය වගේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වුනත් තත්ත්ව පාලනය අතින් සමාජ ජාලා වලට වඩා ලොකුවට වෙනස් නැති බව දැනගන්න මේ පුවත හොඳ උදාහරණයක්.

“Sri Lanka sees unprecedented 14.5% surge in cash in 2024” – 8 May 2025 dailymirror.lk

සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ ඔය පුවත.

2024 වසර තුළ භෞතික මුදල් සංසරණය ඇත්තටම ඔය කියන විදිහට 14.5%කින් වර්ධනය වෙලාද?

ඔව්. 14.51%කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ කරුණේ කිසිම වැරැද්දක් නැහැ.

එහෙමනම් මේ ප්‍රවෘත්තියේ තිබෙන වැරැද්ද කුමක්ද?

වැරැද්ද තියෙන්නේ “unprecedented” කියන වචනයේ. මෙය කිසිසේත්ම “පෙර නොවූ විරූ” වර්ධනයක් නෙමෙයි. සාමාන්‍ය කරුණක් ලෙස සංසරණයේ තිබෙන මුදල් ප්‍රමාණය සෑම වසරකදීම ඔය ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනවා. පහත තිබෙන්නේ පසුගිය වසර පහ තුළ භෞතික මුදල් සංසරණය වර්ධනය වූ ආකාරය.

2020 – 23.13%

2021 – 20.40%

2022 – 2.14%

2023 – 15.58%

2024 – 14.51%

පසුගිය අවුරුදු පහෙන් එක් අවුරුද්දකදී හැර අනෙක් සෑම අවුරුද්දකදීම භෞතික මුදල් සංසරණය වැඩි වීම පසුගිය වසරේ වර්ධනයට වඩා වැඩියි. පසුගිය වසරේ වර්ධනය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඇත්තටම කියනවානම් භෞතික මුදල් සංසරණය මීට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙන්න වුනත් හේතු මේ වෙද්දී තිබෙනවා.

භෞතික මුදල් සංසරණයේ ප්‍රමාණය තීරණය කරන සාධක මොනවාද?

මෙය ඉතාම සරල, ඒ වගේම බොහෝ දෙනෙකු දන්නා, මූලික මට්ටමේ ආර්ථික විද්‍යා න්‍යාය කිහිපයකින් පැහැදිලි කළ හැකි දෙයක්.

මිනිස්සු භෞතික මුදල් භාවිතා කරන්නේ ගනුදෙනු කිරීමේ මෙවලමක් විදිහටයි. ඒ නිසා, රටේ ගනුදෙනු ඉහළ යද්දී මුදල් ඉල්ලුම ඉහළ යනවා. රටේ ආර්ථිකය වර්ධනය වෙද්දී ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. මුදල් වැඩියෙන් අතේ තියාගත් තරමට ගනුදෙනු කිරීම පහසු වෙනවා.

කෙසේ වුවත්, භෞතික මුදල් භාවිතය සීමා කෙරෙන සාධකත් තිබෙනවා. ප්‍රධානම සාධකය පොලී අනුපාතික. පොලී අනුපාතික ඉහළ යන තරමට සල්ලි අතේ තියා ගැනීමේ “ආවස්ථික පිරිවැය” ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි බැංකුවේ නොතියා අතේ තියා ගැනීම නිසා අහිමි වන පොලී ආදායම. යමෙක් අතේ තියා ගන්න භෞතික මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ පොලී ආදායම අහිමි වීමේ පාඩුව සහ ගනුදෙනු සඳහා අවශ්‍ය වන මොහොතේ අතේ සල්ලි නැති වීමේ පාඩුව කිරා මැන බැලීමෙන් පසුවයි.

ඉහත දත්ත වල පෙනෙන පරිදි, 2022දී භෞතික මුදල් සංසරණයේ වර්ධනය ඉතා අඩු මට්ටමකට වැටී තිබෙන්නේ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය නිසා. පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු වෙද්දී සල්ලි අතේ තියා ගැනීමේ ආවස්ථික පිරිවැයද නැවත ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. ඒ නිසා, මුදල් සංසරණය සාමාන්‍ය පරිදි වර්ධනය වී තිබෙනවා.

මීට අමතරව, 2022 කියන්නේ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු වසරක්. එවිට මිනිස්සු රුපියල් අතේ තබා ගැනීම සීමා කරනවා. ඒ වෙනුවට වාහන, ගෙවල්, ඉඩම්, රත්තරන්, ඩොලර් වගේ දේවල් මිල දී ගන්නවා. නැවත රුපියල පිළිබඳ විශ්වාසය ගොඩ නැගුනු පසුව ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා.

මේ හේතු අතරට එකතු කළ යුතු තවත් හේතුවක් වන්නේ මේ වන විට මාස අටක පමණ කාලයක් එක දිගට රටේ අවධමනයක් තිබීම. සල්ලි අතේ තියා ගැනීමේ එක් ප්‍රධාන අවාසියක් වන්නේ උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වීම. අව්ධමනයක් තියෙද්දී සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. ඒ කියන්නේ අතේ තිබෙන මුදල් වල වටිනාකම එන්න එන්නම වැඩි වීම.

ඔය කරුණු වලට අමතරව, රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම. බැංකු තැන්පතු පිළිබද තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීම නිසා බදු ගොනු අරින්නට වීමේ අවදානම වගේ හේතු නිසාත් භෞතික මුදල් භාවිතය ඉහළ යන්න පුළුවන්.

ඔය වගේ හේතු ගොඩක් නිසා මේ වෙලාවේ භෞතික මුදල් භාවිතය ඉහළ යාම ඉතා සාමාන්‍ය දෙයක් වුනත්, ඇත්තටම එවැනි කැපී පෙනෙන වැඩි වීමක් වෙලා නැහැ. මේක “මහනුවරට නගරාන්තර දුම්රියක්!” වගේ ප්‍රවෘත්තියක්. හැබැයි පසුගිය දවස්වල ඔය විදිහේ ප්‍රවෘත්ති ගණනාවක්ම සමාජ ජාලා වලනම් තිබුණා.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...