මෙලොවට උත්පත්තිය ලබන සියලු සත්වයෝ උපදින විට කිසිවක් රැගෙන නොඑති යැයි පැවසුව ද ඒ සියලු සත්වයෝ උත්පත්තිය සමග ම රැගෙන එන එක ම එක දෙයක් පවතී.
ඒ, මරණය යි. ඒ මරණය වළවක්වන්නට කිසිවකුට නොහැකි වුව ද මරණය කල් දමාගැනීට මනුසතා සමත්කම් දක්වයි. ඒ, තාක්ෂණයේ මෙන් ම වෛද්‍ය විද්‍යාවේ පිහිටෙනි.
වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුව ද අදාළ වෛද්‍ය පහසුකම් සපයාගත නොහැකි නම් ඇතැම් රෝගීන්ගේ මරණය ඉක්මන් කෙරේ. අපේක්ෂා රෝහළේ රෝගීන් එවන් පිරිසකි. ලංකාවේ පිහිටා ඇති එක ම අපේක්ෂා රෝහල තුළ එක් දිනක් ඇවිද බැලුව හොත් එය ඕනෑම පුද්ගලයකුට සියැසින් දැකගත හැකි ය.
කුඩා දරුවන් වෙනුවෙන් වර්තමානයේ මහරගම අපේක්ෂා රෝහලේ පවතින ඉඩ කඩ සහ නුදුරු දිනක දී ම කුඩා දරුවන් වෙනුවෙන් ම විවෘත වන නව ගොඩනැගිල්ල
මෙම ලිපියෙන් අවධාරණය කෙරෙන්නේ මෙම රෝගය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කුඩා දරුවන් වෙනුවෙන් වර්තමානයේ මහරගම අපේක්ෂා රෝහලේ පවතින ඉඩ කඩ සහ නුදුරු දිනක දී ම කුඩා දරුවන් වෙනුවෙන් ම විවෘත වන නව ගොඩනැගිල්ල පිළිබඳව ය.
දැනට අපේක්ෂා රෝහලේ කුඩා දරුවන් වෙනුවෙන් ශල්‍යාගාර පවත්වාගෙන යන්නේ කන්ටේනර් තුනක් ඇතුළත නිම කළ ඉදි කිරීම් තුළ යැයි පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරන්නට ඉඩ තිබේ. නමුත් යථා තත්ත්වය එය යි. එම අපහසුතා මගහරිමින් කුඩා දරුවන් වෙනුවෙන් ම වෙන් වූ නව ගොඩනැගිල්ලක් නුදුරු දිනක දී ම විවෘත කිරීමට නියමිත ය. මෙම ගොඩනැගිල්ල යනු හුදු සාමාන්‍ය තත්ත්වයේ ගොඩනැගිල්ලක් නොව සුවිශේෂී ගොඩනැගිල්ලකි. එකී සුවිශේෂත්වය ද මාන කිහිපයක් පුරා විසිර පවතී.
සංකල්පය
මෙම ගොඩනැගිල්ල යනු හුදු සාමාන්‍ය තත්ත්වයේ ගොඩනැගිල්ලක් නොව සුවිශේෂී ගොඩනැගිල්ලකි.
මෙම ගොඩනැගිල්ල පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන්නේ දැනට රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය දරණ ඩිෂාන් ගුණසේකර මහතා ය. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයාගන්නේ කතරගම දෙවියන්ට පිං පිණිස බැතිමතුන් පූජා කරන මුදලිනි. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් දෙවනුව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන අතර දැනට මේ නව ගොඩනැගිල්ල පිළිබඳ විස්තර සඳහා යොමු වෙමු.
මෙබඳු ගොඩනැගිල්ලක් ඉඳිකිරීම සඳහා වූ මූලික පදනම වූයේ කුමක් දැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේක මහතාගෙන් විමසූ විට ඔහු එය මෙලෙස පැහැදිලි කළේ ය.
‘‘අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් තිබෙනවා ලීනියර් එක්සලරේටර් (Linear Accelerator) නමින්. එය දරුවන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් ම වෙන්වුණ යන්ත්‍රයක්. මම දවසක් රූපවාහිනිය නරඹමින් සිටිය දී ප්‍රවෘත්තියක් අසන්න ලැබුණා එම යන්ත්‍රය අක්‍රීය වෙලා තිබෙන බවට. ප්‍රවෘත්තිය විකාශනය වුණ දවසට පසුවදා ම ගොස් රෝහල් අධ්‍යක්ෂකතුමා හමුවෙලා මේ පිළිබඳ කරුණු විමසුවා. එසේ කරුණු විමසූ පසු රෝහල් අධ්‍යක්ෂකතුමා පැවසුවා දින පහක් ඇතුළත එය නවීකරණය කර දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පොරොන්දු වූ බව. ඒ අවස්ථාවේ එහි සිටි විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා වෙනත් අදහසක් යොජනා කළා.
දරුවන් ප්‍රතිකාර ලබන වාට්ටුවල ඉතාමත් තදබදයක් පවතින බැවින් ඒ දරුවො සහ දරුවන්ගේ මව්වරු දැඩි අපහසුතාවකට පත්ව සිටින බවත් එම අපහසුතාව වළක්වා ගැනිමට හෝ අවම කිරීමට හැකි වැඩපිළිවෙළක් යොදනවා නම් එය ඉතා වටිනා බවත් වෛද්‍ය වසන්ත රත්නායක මහතා පැවසුවා. පසුව මම මේ පිළිබඳ සොයා බැලුවා. එහි දී දකින්න ලැබුණේ අඩි 10 X 12 කාමරයක දරුවො හතර දෙනෙක් රඳවා සිටින ආකාරය යි.
ඇත්ත වශයෙන් ම බැලුවොත් ඒ ඉඩ ප්‍රමාණය දරුවො හතර දෙනෙකුට ප්‍රමාණවත් මදි. මෙන්න මේ හේතුව නිසා තමයි රෝහල් අධ්‍යක්ෂකතුමත් සමග සාකච්ඡා කරල මේ ගොඩනැගිල්ල ඉදි කරන්න සැලසුම් කළේ.’’
නව ගොඩනැගිල ඉදි කෙරෙන ආකාරය
එම පරිශ්‍රයේ මහල් සතරකින් යුත් විශාල ගොඩනැගිල්ලක් කඩිනමින් ඉදි කෙරෙමින් පවතී.
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමාගේ ම ආරාධනයක් අනුව මහරගම අපේක්ෂා රෝහල් පරිශුයට ගොස් මෙහි ඇති තතු විමසා බැලීමට අපි තීරණය කළේ ඉන් පසුව ය.
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමා පවසා තිබුණේ සත්‍යයකි. මේ වන විට එම පරිශ්‍රයේ මහල් සතරකින් යුත් විශාල ගොඩනැගිල්ලක් කඩිනමින් ඉදි කෙරෙමින් පවතී. එම ගොඩනැගිල්ල සඳහා දැරීමට සිදුවී තිබෙන මුදල මෙන් ම එය විවෘත කිරීමෙන් අනතුරුව එතුළ සිදුවන කාර්ය කුමක් ද යන්න පිළිබඳව ද එතුමා පැහැදිලි කළේ ය.
මේ ගොඩනැගිල්ල ඉදිකරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපකරණ සඳහා මේ වෙද්දි වියදම මිලියන 110ක් පමණ වැය වී තිබෙනවා.
‘‘මේ ගොඩනැගිල්ල ඉදිකරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපකරණ සඳහා මේ වෙද්දි වියදම මිලියන 110ක් පමණ වැය වී තිබෙනවා. ඒ, ශ්‍රම දායකත්වය සඳහා වැයවන මුදල නැතුව. මොකද මේ ගොඩනැගිල්ල ඉදිකරන්න වැය වන සම්පූර්ණ ශ්‍රම දායකත්වය ලබා දෙන්නෙ ගුවන් හමුදාවෙන්. ඇත්ත ම කියනවා නම් ගුවන් හමුදාපතිතුමාගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ සහයෝගය නොලැබුණා නම් මෙතරම් කෙටි කාලයක් තුළ මෙතරම් විශාල ගොඩනැගිල්ලක් ඉදි කරන්න බැහැ. අපි මේ ගොඩනැගිල්ල ඉදිකරන්න මුල් ගල් තිබ්බෙ දෙදහස් විසි තුනේ සැප්තැම්බර් මාසෙ. එතන ඉඳල දැනට මාස අටක් ගෙවිලා තියෙනවා. අපි මේ (2024/මැයි) මාසෙ අවසානෙ මේ ගොඩනැගිල්ල විවෘත කරනවා.
නව ගොඩනැගිල්ල තුළ පවතින පහසුකම්
මේ සා මුදලක් සහ ශ්‍රම දායකත්වයක් වැය කර ඉදිකරන මෙම ගොඩනැගිල්ල තුළ පවතින පහසුකම් පිළිබඳව ද රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමා කරුණු පැහැදිලි කළේ ය.
‘‘රජයේ රෝහල්වලට සාපේක්ෂව ගත්ත ම මේ ගොඩනැගිල්ල තුළ දරුවන් 76 දෙනෙකුට අවශ්‍ය (ඇඳන් 76ක්) සියලු සැප පහසුකම් තිබෙනවා. සම්පූර්ණ ගොඩනැගිල්ල මහල් හතරක්. ඒ හතරෙන් දෙකක තමයි මේ ඇදන් 76 තිබෙන්නෙ. එහි දී දරුවන්ට අවශ්‍ය වැසිකිළ කැසිකිළි පහසුකම්, දෙමාපියන්ගේ වැසිකිලි කැසිකිළි පහසුකම් යනාදිය සඳහා අපි නවීනතම සනීපාරක්ෂක උපකරණ සවි කර තිබෙනවා. ඒ සමගම රෝගී දරුවාගේ මවට නිදාගැනීම සඳහා විශේෂ ඇඳක් සපයා තිබෙනවා. මේ ඇඳ සකසා තිබෙන්නේ අවශ්‍ය වෙලාවෙදි පාවිච්චි කරල අනෙක් වෙලාවෙ දී දරුවාගේ ඇඳ තුළට ඇතුළු කරන්න පුළුවන් විදියට. ඒ නිසා මව නිදාගන්නා ඇඳ කිසිම ආකාරයකින් දරුවාට, දරුවාගේ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගි වෙන වෛද්‍යවරයා හෝ හෙද හෙදියන්ගේ කාර්යයට කිසිදු බාධාවක් ඇති කරන්නේ නැහැ.
රජයේ රෝහල්වලට සාපේක්ෂව ගත්ත ම මේ ගොඩනැගිල්ල තුළ දරුවන් 76 දෙනෙකුට අවශ්‍ය (ඇඳන් 76ක්) සියලු සැප පහසුකම් තිබෙනවා.
මීට අමතරව මෙහි විශේෂ මුළුතැන් ගෙයක් ද නිම කර තිබෙනවා. ඒ මුළුතැන් ගේ ඇතුළෙ දරුවාට අවශ්‍ය, දරුවාගේ මවට අවශ්‍ය ආහාර වර්ග ඕනෑම දෙයක් ඔවුන්ට කැමති පරිදි සකසා ගන්න පුළුවන්. මොකද මෙහි ප්‍රතිකාර ගැනීම සදහා දිවයිනේ සතර දිග්බාගයෙන් ම රෝගී දරුවන් පැමිණෙනවා. සමහර වෙලාවට දරුවාගේ පියාට හෝ ඥාතින්ට දරුවා බලන්න එන්න පුළුවන් වෙන්නෙ මාසෙකට එක වතාවක් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවා ළඟ ඉන්න මවට හෝ වෙනත් කෙනෙකුට පුළුවන් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනත් තියාගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය සකසා ප්‍රයෝජනයට ගන්න.
මේ පහසුකම් වගේ ම නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණක ගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් (children’s playground) පවා ඉදි කර තිබෙනවා.
මේ පහසුකම් වගේ ම නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණක ගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් (children’s playground) පවා ඉදි කර තිබෙනවා. ඒ වගේ ම බොර්න් ඇරෝ ට්‍රාන්ස් ප්ලාන්ට් (Born Arrow Transplant) කියන ප්රතිකර්මය මේ වෙද්දි කෙරෙන්නෙ පුද්ගලික රෝහල්වල පමණයි. මෙම ප්‍රතිකාරය පුද්ගලික රෝහලකින් කරනවා නම් එක් පුද්ගලයකුට ලක්ෂ 150ක් 200ක් වගේ මුදලක් අය කරනවා. මේ නව ගොඩනැගිල්ල තුළ එක වර දරුවන් හතර දෙනකුට එම ප්‍රතිකාරය කරන්න පුළුවන් පහසුකම් සලසා තිබෙනවා; ඊට අවශ්‍ය ශෛල්‍යාගාර හතරක් මෙහි තිබෙනවා. මෙහි එම ප්‍රතිකාරය කරන්නෙ නොමිලේ. අවශ්‍ය උපකරන, වෛද්‍යවරු සහ අනෙකුත් පහසුකම් සියල්ල ම තිබෙන නිසා රජයට මේ වෙනුවෙන් දරන්න වෙන්නෙ ඉතාමත් ම සුළු මුදලක්.’’
පළමු අදියරෙන් ඉක්බිතිව
එබැවින් නවීන තාක්ෂණානුකුලව ඉදි කර තිබෙන මෙම ගොඩනැගිල්ලෙහි වෛද්‍ය සේවය සඳහා විශේෂයෙන් වෛද්‍යවරු බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොපවතී.
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමා පවසන පරිදි මෙම ගොඩනැගිල්ල තුළ සිදු කෙරෙන සියලු වෛද්‍ය කටයුතු සඳහා පුහුණ විශේෂඥ වෛද්‍යවරු දැනටමත් ඉතා කැපවීමෙන් සේවයේ යෙදි සිටිති. එබැවින් නවීන තාක්ෂණානුකුලව ඉදි කර තිබෙන මෙම ගොඩනැගිල්ලෙහි වෛද්‍ය සේවය සඳහා විශේෂයෙන් වෛද්‍යවරු බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොපවතී. රෝගී දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, වෛද්‍යවරු සහ හෙද හෙදියන් පවා අසීරුතාවට පත්ව තිබෙන්නේ අදාළ පහසුකම් නොමැති බැවිනි. මෙම ගොඩනැගිල්ල විවෘත කළ පසු එම අඩුපාඩු සියල්ල සම්පූර්ණ වන බව ද රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමා වැඩි දුරටත් පැවසී ය.
මෙම ගොඩනැගිල්ල විවෘත කරන අවස්ථාවේ දි ම තවත් ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල් ගල් තබන බවට ලද ආරංචියක් හේතුවෙන් අප ඒ පිළිබඳව ද රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමාගෙන් විමසා සිටියා.
දැනට ඉදි කෙරෙමින් පවතින ගොනැගිල්ල විවෘත කරන දවසට ම නව ගොඩනැගිල්ලෙහි වැඩ කටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
‘‘ඔව්… දැනට මහරගම අපේක්ෂා රොහලේ ඇඳන් දාහක් පමණ තිබෙනවා. මේ ඇඳන් දාහෙන් පන්සියක් පමණ තිබෙන්නේ නවීන පහසුකම් සහිත ගොඩනැගිලිවල. අනික් පන්සියය තිබෙන්නේ පහසුකම් අඩු, පරණ ගොඩනැගිලිවල. ඉතිං අපි බලාපොරොත්තු වෙනවා මේ පහසුකම් අවම ඇඳන් පන්සියය වෙනුවට අලුත් ඇඳන් පන්සියයකට ඉඩ කඩ සැලසෙන ප්‍රමාණයේ, මහල් හතකින් සමන්විත, නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදි කරන්න. දැනට ඉදි කෙරෙමින් පවතින ගොනැගිල්ල විවෘත කරන දවසට ම නව ගොඩනැගිල්ලෙහි වැඩ කටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ එක්ක ම මතක් කරන්න ඕන ඒ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අපිට පූර්ණ ශ්‍රමදායකත්වය ලබා දෙන්නෙ නාවික හමුදාවෙන්. ඒ සඳහා නාවික හමුදාපතිතුමාගේ සහ එහි නිලධාරින්ගේ සම්පූර්ණ සහය අපට ලබා දෙන බවට ඔවුන් පොරොන්දු වී තිබෙනවා.’’
මුදල් සෙවීමේ වැඩ පිළිවෙළ
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමා පවසන පරිදි මෙම ගොනැගිලි ඉදි කිරීම සඳහා ගුවන් හමුදාවේ සහ නාවික හමුදා සෙබළුන්ගේ ශ්‍රමදායකත්වය ලැබෙන අතර අනෙක් වියදම් සඳහා අවැසි මුදල් සපයා ගත්තේ කෙසේ ද යන්න ද ඔහුගෙන් විමසා සිටියා. ඔවිට ඔහු පැවසුවේ හරිම අපූරු කතාවක්; ඒක ටිකක් දීර්ඝ කතාවක්. ඒ කතාව පසුවට ලියන්න ඉඩ තියල එහි සංක්ෂිප්තය නිලමෙතුමාගේ වචනයෙන් ම මේ විදියට සඳහන් කරන්නම්.
ගුවන් හමුදාපති – නාවික හමුදාපති
‘‘දැනට ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ල සඳහා අපි වියදම් කරේ කතරගමට එන බැතිමතුන් කතරගම දෙවියන්ට පිං පිණිස පුජා කරන මුදල්. මේ වෙද්දි අපි ‘‘කදිර දේවාපේක්ෂා’’ නමින් ගිණුමක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේ ම දැනටත් එම අර මුදලට විශාල මුදලක් එකතු වෙලා තිබෙනවා. මිලියන ගණන් පරිත්‍යාග කරපු අය පවා ඉන්නවා. ඉතිං මම ආරාධනා කර සිටිනවා කතරගම දෙවියන් වෙනුවෙන්, කතරගම දෙවියන්ට පිං පිණිස ඔබ පුජා කරන මුදලෙන් කොටසක් ‘‘කදිර දේවාපේක්ෂා’’ ගිණුමට බැර කරන්න කියල. එය ඔබ දෙවියන් වෙනුවෙන් කරන දේව කටයුත්තක් ලෙසයි අපි සලකන්නෙ. ඒ වගේ ම අපි දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රම දායකත්වය සපයන ගුවන් හමුදාපති ප්රමුඛ රණවිරුවන්ටත්, අනාගතයේ දී ඉදිකෙරන ගොඩනැගිල්ල වෙනුවෙන් ශ්‍රමදායකත්වය ලබා දීමට පොරොන්දු වී සිටින ගුවන් හමුදාපතිතුමා ප්රමුඛ රණ විරුවන්ටත් අපි අපේ ගෞරවය සහ විශේෂ ස්තුතිය පුද කරනවා.’’
මේ අපි ඔබ වෙත ඉදිරිපත් කළේ රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමාගේ සංකල්පයක් අනුව මහරගම අපේක්ෂා රෝහල් භූමියේ ඉදි කෙරෙන සහ ඉදි කිරීමට බලාපොරොත්තු වන ගොඩනැගිල්ල පිළිබඳ විස්තරයකි. මේ සියලු කටයුතු සදහා මුදල් උපයාගන්නා ආකාරය පිළිබඳ ලිපියක් නුදුරු දිනක දී ලිවීමට අපි බලාපොරොත්තු වෙමු.
ඉදි කිරීමට බලාපොරොත්තු වන ගොඩනැගිල්ල
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
[email protected]
මූලාශ්‍රය – Theleader