ළමා අපයෝජන නඩුවේ වින්දිත දැරියට එල්ලවන මානසික පීඩනය වහා නවත්වනු!: නීතීඥ සංගමයට විවෘත ලිපියක්

ඉසුරු පරාක්‍රම

මැයි 14, කොළඹ (LNW): අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සැකකරුවකු ලෙස නම් කර ඇති 11 හැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ වින්දිත පාර්ශවයට සහ සාක්ෂිකරුවන්ට එල්ල වන වෘත්තීයමය සහ ආගමික බලපෑම් දැඩි ලෙස හෙළා දකින බව “ළමා හිංසනයට තිත” (Stop Child Cruelty Trust) පදනම පවසයි.

එහි සභාපති වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර, මෙම ලිපිය මඟින් අවධාරණය කර ඇති සුවිශේෂී කරුණු කිහිපයක් පහත දැක්වේ:

අසාමාන්‍ය අන්දමින් නීතීඥවරුන් රැසක් සැකකරු වෙන්වෙන් පෙනී සිටීම: ඉකුත් මැයි 12 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී සැකකාර හිමිනම වෙනුවෙන් නීතීඥවරුන් 30 දෙනෙකු පමණ පෙනී සිටි නමුත්, වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටීමට කිසිඳු නීතීඥවරයකු ඉදිරිපත් නොවීම මවිතයට කරුණක් බව එම ලිපිය පෙන්වා දෙයි. මෙමඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය පළුදු විය හැකි බව වෛද්‍යතුමිය අවධාරණයකර සිටියි

වින්දිත දැරිය සහ සාක්ෂිකරුවන් වෙත එල්ලකරන මානසික බලපෑම සහ ආචාර ධර්ම: පළපුරුදු ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකු සැකකරු වෙනුවෙන් පත් කර සිටියදී, මෙතරම් විශාල නීතීඥ පිරිසක් එක් සැකකරුවකු වෙනුවෙන් පමණක් පෙනී සිටීම වින්දිත දැරියට සහ සාක්ෂිකරුවන්ට සිදු කරන දැඩි මානසික බලපෑමක් බව වෛද්‍ය වික්‍රමනායක මහත්මිය පවසයි. මෙය නීතීඥ වෘත්තීය ආචාර ධර්ම මෙන්ම ජාත්‍යන්තර ළමා ආරක්ෂණ මූලධර්ම (In the best interest of the child) උල්ලංඝනය කිරීමක් ලෙස ද ඇය හඳුන්වා දෙයි.

සමාජ විරෝධය සහ යුක්තියේ ප්‍රමාදය: මෙම සිදුවීමේ අනෙක් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් පැන නොනැගුණු බවත්, ආගමික සහ සමාජ බලාධිකාරිය භාවිතා කරමින් යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමට දරන උත්සාහය හමුවේ දැඩි සමාජ විරෝධයක් ගොඩනැගෙමින් පවතින බවත් එම පදනම අවධාරණයකර සිටියි.

“යම් තැනක අසාධාරණයක් සිදු වන්නේ නම්, එය සෑම තැනකම පවතින යුක්තියට තර්ජනයකි”

යන මාර්ටින් ලූතර් කිංගේ ප්‍රකාශය සිහිපත් කරමින් වෛද්‍ය වික්‍රමනායක මහත්මිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ:

  • වින්දිත දැරියට කිසිදු බලපෑමක් නොවන පරිදි නඩු කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙස‍; සහ
  • සර්ව සාධාරණව සහ කඩිනමින් යුක්තිය ඉටු කිරීමට වහාම මැදිහත් වන ලෙසයි.

ඒ අනුව, රාජ්‍ය රැකවරණය ලැබිය යුතු වින්දිත දරුවා ආරක්ෂා කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයක පරම වගකීම බව පවසමින් “ළමා හිංසනයට තිත” පදනම සිය විරෝධය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

සම්පූර්ණ ලිපිය පහතින්:

ළමා ලිංගික අපයෝජනයක් සිදුකලා යැයි සැකකරන පල්ලෙගම හේමරතන හිමි සම්බන්ද නඩුවේ වින්දිත දරුවාට නීතීඥ ප්‍රජාව සිදුකරන මානසික බලපෑම නවත්වන්න

“If there is injustice anywhere there is threat to justice everywhere” – Martin Luther King Jr, 1963

ශ්‍රී ලංකාවෙත් ජාත්‍යන්තරයෙත් දැඩි කථිකාවට ලක්වූ ඉහත ඛේදවාචකය ගැන ඔබ හොඳින් දන්නවා ඇති.

මගේ ජීවිතයෙ ප්‍රථම අවස්ථාවට මා මවිත කරපු වාර්ථාවක් වූයේ 2026 මැයි 12 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදි නීතීඥවරු 30 දෙනෙක් පමණ සැකකාර අටමස්ථානාධිපති, පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් පෙනී සිටීමයි. නමුත් වින්දිත දරුවා වෙනුවෙන් මෙතෙක් කිසිම නීතීඥවරයෙක් පෙනී සිටියේ නැත.

මෙය 11 ස් හැවිරුදි අහිංසක දැරියකට සිදුවූ ලිංගික අපරාධයක් මෑතකදී හෙලි වීමත් සමඟ, සැකකරුවන් නම් කිරීමෙන් පසු, අදහාගත නොහැකි යථාර්ථය බවට පෙරලුනේ දැඩි සමාජ කම්පනයට තුඩු දුන් සිද්දියක් නිසයි. යුක්තිය ඉටුකිරීමේ ප්‍රමාද හෙලිදරව් වීමත් සමඟ එම කම්පනය දැඩි සමාජ විරෝධයකට වෙනස්විය. ඒ අන් කිසිවක් නිසා නොව ආගමික සහ සමාජ බල අධිකාරියට ග්‍රහණය වූ කුඩා දැරියක් කෙරෙහි හටගත් අසිමීත ආදරය නිසාය.

සමාජ විරෝධී හඬ එක සේ මොර දුන්නෙ ජාත්‍යන්තර ළමා ආරක්ෂණ මූලධර්ම අනුව “In the best interest of the child/දරුවාගෙ යහපත උදෙසා” අදාල ආයතන සක්‍රියව ක්‍රියාත්මක නොවීමට එරෙහිවයි. මේ සිද්දියට අදාල අනෙකුත් සැකකරුවන් තුන් දෙනෙක් සම්බන්දව එසේ විරෝධයක් මතු නොවූයෙ යුක්තිය පසඳලීමෙ අඩුපාඩුකම් ඇත්තේ සැකකාර හිමිනම සම්බන්දව පමණක් බැවිනි. කරුණු එසේ තිබියදි අති විශාල නීතීඥ ප්‍රජාවක් සැකකාර හිමිනම වෙනුවෙන් පමණක් පෙනී සිටීමෙන් එම ආගමික බලාධිකාරියෙ අසාමාන්‍ය ග්‍රහණය මැනවින් ඔප්පු විය.

අධිකරණ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන් සහ නීතීඥවරුන් උසාවි කටයුතු වලදි විනිසුරුවන් සමඟ සමීපව කටයුතු කරති. තමන්ගේ වෘත්තිකයෙකුට අසාධාරණයක් සිදු වුවොත් කිසිම පැකිලීමකින් තොරව ඔවුන් පෙනී සිටින්නේය. මෑතකදි නීතීඥවරයෙකුට පොලිස් නිලධාරියෙක් පහර දුන්නායැයි කියන සිද්දියෙදි පවා නීතීඥ සංගමය කොන්දේසි විරහිතව නීතීඥවරයා වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශයක් පවා නිකුත් කලේය.

නමුත් රටක් කම්පා කල මෙම ළමා ලිංගික අපයෝජන සිද්දියේදි සැකකාර හිමිනම වෙනුවෙන් පලපුරුදු ජෞෂ්ඨ නීතීඥවරයෙක් පත් කර සිටියදී, කිසිම වෘත්තිමය සමීපතයෙක් නොවන තනි පුද්ගල සැකකරුවෙක් වෙනුවෙන් මේසා විශාල නීතීඥවරුන් සංඛ්‍යාවක් පෙනී සිටීමෙන් අධිකරණ ක්‍රියාවලිය සම්බන්දව අප හට ඇතිවන්නෙ සාධාරණ සැකයක් සහ අවිශ්වාසයකි. අධිකරණය සමඟ කිට්ටුවෙන් කටයුතු කරන නීතීඥ වෘත්තිමය බලාධිකාරිය සහ ආගමික බලාධිකාරිය දෙකම එකතුව වින්දිත දරුවාට සහ සාක්ෂි කරුවන්ට සිදු කරන මානසික බලපෑම අපි තරයේ හෙලා දකිමු. මෙය නීතීඥ වෘත්තිමය ආචාර ධර්ම උල්ලංගනයක් සේම ළමා අයිතිවාසිකම් වලටද කරන බලපෑමක් බව ඔබ පිළිගන්නවා ඇති.

තවද, මේ සිද්දියට සම්බන්ද අනෙකුත් සැකකරුවන් වෙනුවෙන් එක නීතීඥවරයෙක් වත් පෙනී නොසිටි අතර, මෙලෙස විශාල නීතීඥවරුන් සංඛ්‍යාවක් සැකකාර හිමිනම වෙනුවෙන් පමණක් පෙනී සිටීමෙන් යුක්තිය පසඳිලීමේ අසාමාන්‍ය පංගු පේරුව කෙරෙහි ඇතිවූ දැඩි සමාජ විරෝධය සහ සැකය සාධාරණ අතර නීතීඥවරුන් කෙරෙහිද අගෞරවයක් සහ අවිශ්වාසයක් වර්ධනය වෙමින් පවතියි.

ශිෂ්ඨ සම්පන්න දියුණු රටක වෘත්තිමය සදාචාරය වන්නේ රාජ්‍ය රැකවරණය ලැබිය යුතු වින්දිත දරුවාව පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ආරක්ෂා කිරීමයි. රාජ්‍යයෙ කොටස්කරුවන් වන පුරවැසියන් ලෙස අපගේ පරම වගකීම වන්නේද එයයි. එබැවින් මෙම සිද්දියට සම්බන්ද නඩු කටයුතු වින්දිත පාර්ශවයට කිසිම බලපෑමක් නොමැතිව ක්‍රියාත්මක කිරීමට සහ සර්ව සාධාරණව කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය වතාවරණය සකසා දීමට වහාම මැදිහත් වන ලෙස නීතීඥ සංගමයෙ සභාපති ලෙස ඔබගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිමි.

වෛද්‍ය තුෂ් වික්‍රමනායක
සභාපති
ළමා හිංසනයට තිත පදනම

Stop Child Cruelty Trust

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...