*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ධාවන පථය පහන් කරන සේරුවිල අරුණාලෝකය

සේරුවිල යුද්ධයේ උණුසුම දැණුන පළාතක්ය.නමුත් ඔවුන්ට එකලත් උණ්ඩයෙන් සැඟ වී සිටිනවාට වඩා කුසගින්න ගැන සිතන්නට තිබිණ.සමහර විට සළාකයක් ගෙන වෙඩි උණ්ඩයට බයේ නිදා ගත්තානම් රටටම දැනෙන සහල් හිඟයක් ඇති වන්නටත් තිබිණ.කවුරුත් නොකියන කාකි ඇඳුම්වලට පමණක් හිමිවන ගෞරවය යුද්ධයට ආසන්න ගම්වල මිනිස්සුන්ටත් යා යුතුය.ගම් පිටින් කැති ගාන තත්ත්වයන් තුළද ඔවුන් වගාවේ නිරත විය.රටට කන්න දෙන්නට දාඩිය වැගිරුවේය.

එහෙම ගමක ජීවත් වෙච්චි සේරුවිල දෙහිවත්ත නම් ගමේ කුඩා පාසලක හැඳෙන කුඩා දරුවෙක් ගැන ඒ පාසලේ හිටපු ඩිලානි සහ හර්ෂ කියන ගුරුවරුන්ට ඉව වැටෙන්නේ මූ මාර හයියෙන් දුවන්න පුළුවන් කොල්ලෙක් කියා ය.ඒ වන විට අසළ පාසලක සිට අකුරම්බොඩ් වීර කැප්පෙටිපොළ පාසලට ස්ථාන මාරුවක් රැඟෙන ගොස් සිටි ශානිකා ගුරුතුමියට මේ ඔත්තුව දෙන ඩිලානි – අසංක දෙපළ අර වේගවත් කොල්ලාට ආශිර්වාදයක් වෙන පාරක් කපා දෙන්නේය.
අද කවුරුත් ඒ මාවත දිගේ රටටත් ලෝකයටත් අභියෝග කරන මේ කොල්ලාගේ වේගය ගැන කතා කරන්නේ සතුටෙන්ය.ඔහු නමින් අරුණ දර්ශනය.2018 දී කෙටි දුර ධාවන පථයේ විකුම් පාමින් 45.79 න් මීටර් 400 නිමා කර අලුත් ගමණක් අරඹන අරුණ,ඒ බැරියරයෙ සිරව සිට එළියට එන්නේ ජපානයේ දි ය.එහි ෂුශිකෝ හී පැවති තරගාවලියේ කාලය අනුව තෙවැනි තැනට පත් වන අරුණ තත්පර 45.59 ක දක්ෂතාවයක් දක්වන්නේය.ඔසාකා හි පැවති දෙවන තරගයේ දී සමස්ත කාලය අනුව දෙවැනි තිනට පත්වන අරුණ තව දුරටත් කාලය අඩු කර ගන්නේ තත්පර 45.49 ක් ලෙස ය.

අරුණ ගේ ජපන් ගමන අපූරුය.හරියට චිත්‍රපටයක් මෙන්ය.එහි නිෂ්පාදනය අධ්‍යක්ෂණය සියලලේම ගෞරවය අරුණ පිරිනමන්නේ මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වූ මාධව සෙනරත් බණ්ඩාරට ය.
මාධව ස්ර් තමයි මීට් ගැන හොයන්නෙ.අපි එයා හරහා තමයි ඇප්ලයි කරන්නෙ.
සාමාන්‍යයෙන් මලල ක්‍රීඩකයෙක්ට කළමණාකරුවෙක් සිටිය යුතුය.මෙරට එවැනි සංස්කෘතියක් නැත.මලල ක්‍රීඩා සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරන පිරිස් ඔවුන්ට අවශ්‍යය පරිදි ගන්නා තීරණ අනුව ක්‍රීඩකයන්ගේ ජීවිත තීරණය වන්නේය.

සුපිරි සංචිතයෙ ඉන්න අයට දවසට 1500 ක අහාර සඳහා වියදම් කරනවා.අපි ඉතිං කොළඹ නැහැ කියලා ඒක හම්බ වෙන්නෙත් නැහැ.
අරුණ කියන ඒ කතාව නිලධාරීන් තමන්ට අවශ්‍යය පරිදි ගන්නා තීරණ ගැන කියන්න හොඳම කතාවක්ය.ජපානයේ ගිය ගයන්තිකා සහ නිලානි තමන්ගේ ඉසව්වල ජාතික වාර්තාලාභීන්ය.අරුණ හොදම පෞද්ගලික කාලය ජපානයේදී දුවා පෙන්නන්නේය.එහෙත් කෑම වියදම ලැබෙන්නනම් කොළඹ සිටිය යුතුය.දක්ෂතා ගැන සැළකිල්ල කෑඹ වියදම දෙන්නට අදාළ නැත.දක්ෂතාවලින් පහතට වැටුණත් කොළම සිටිය යුතු බව නිලධාරීන්ගේ නියෝගයය.මේ අමුතු රටේ නිලධාරි ගන්නා එම තීරණ ගැන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ විෂය භාර නිලධාරියා වන අධ්‍යක්ෂ විජේරත්න ඒ තිරණය ගැන පවසන්නේ ඒක අහන්න ඕනි ඩීජී ස්ර්ගෙන් බවය.

රටෙන් ලැබුණ ශිෂ්‍යත්වයකින් කියුබාවේ අධ්‍යාපනය ලබා පැමිණ රැකියාවට සුදුසුකම් ලබා ගෙන සිටින විජේරත්නට ක්‍රීඩකයෙක් පුහුණුව සඳහා සිටිය යුතු පරිසරය ගැන හැඟීමක්වත් ඇත්නම් ඔහු එම ප්‍රායෝගික බව වෙනුවෙන් සටන් කළ යුතුය.
ක්‍රිඩාවේ ප්‍රායෝගික බව අදහසක් නැති චක්‍රලේඛවලින් වැසි සිටින අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එවැනි දේ ගැන මාධ්‍යයට පැවසිය නොහැකි රාජ්‍ය රහස් ය.ඒවා රහස් වීමේ හේතුව ක්‍රීඩාව ගැන දන්නා එහෙත් කෙනෙක්ට යමක් දී උපකාර කිරීමට අකමැති මුග්ධ නිලධාරින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කටට දමා ඇති මුකවාඩමේ තරමය.ඒ නිසා එම ආයතන තිබෙන්නේ ක්‍රීඩකයාගේ පැත්තෙන් සිතා පහසුකම් සැළසමට නොවේය.ක්‍රීඩකයා කොහොම හරි ජය ලබා පැමිණියහොත් ගුවන් තොටුපළට ගොස් ක්‍රීඩකයාට වේල් ගණනක් කන්න දෙන්න පුළුවන් ගාණට මල් පොකුරු මිලට ගෙන පුදා පිළි ගන්නටය.එවැනි නිලධාරීන් අඩුම තරමේ මල් මිලදී ගන්නා මල් ශාලාවලට කරන තරමේ සේවයක්වත් ක්‍රීඩකයන්ට කරන්න නොසිතන්නේය.

එහෙත් එවැනි වට පිටාවක ක්‍රීඩකයින් වෙනුවෙන් මාධව ගේ මැදිහත්වීම අපූරුය.ජපන් සංචාරය ගැන තොරුතුරු ලබා දි ඒ ගමනට අවශ්‍යය ගුවන් ටිකට් පත් ලබා ගැනීම,වීසා ලබා ගැනීම ආදි සියල්ල වෙනුවෙන් මාධව ස්වෙච්ඡාවෙන් වෙහෙසෙන්නේය.අවශ්‍ය මුදල සංචාරයට එක් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා සහ ක්‍රීඩිකාවට පෞද්ගලිකව සොයා ගන්න ටූ විට ඔවුන් ඒ සඳහා විවිධ දේ කරන්නට ඇත.නමුත් ඒ වෙනුවෙන් මැදිහත්කරුවා වී මාධව කළ සේවය ජපානයේදී පවා අත හැර නැත.අන්තර්ජාලය හරහා ඔහු හැම තත්පරයකම ජීවිතයේ පළමු වරට කිසිඳු නිලධාරියෙක් නැතුව ජපානයට ගිය ඔවුන් ගැන සොයා බලන්නට බැඳී සිටියේය.


කන තැන් පවා හොයා දුන්නෙ මාධව ස්ර්.එහෙ අපිව කෝඩිනේට් කරපු කෙනා එක්ක ගෘප් එකක් හැදුවා.ඒ නිසා අපිට ඕනි හැම දේම ස්ර් හරහා එයා එක මොහොතකදි දැන ගත්තා.අපි පාවිච්චි කළේ ගමන්වලට කෝච්චිය.මෙහෙදිම ඒවායෙ ටිකට් වෙන් කරල දෙන්න මාධව ස්ර් වැඩ කරල තිබ්බත් ගෙවීම සම්පූර්ණ කරන්න එහාට සර්ගෙ ක්‍රෙඩිට් කාඩ් එක අපිට දුන්නා.වැඩේ කියන්නෙ අපි තුන් දෙනාම සර්ගෙ ගෝලයො නෙමෙයි.ස්ර් හැබැයි අපි තුන් දෙනාටම පුහුණුකරුවෙක් නෙමෙයි තාත්තා කෙනෙක් වගෙ ඒ උදව් ටික කරේ.
අවාසනාවට මලල ක්‍රීඩකයින් ගැන එහෙම හිතන හොයා බලන පාලනයක ආදරය විඳින්නට ලංකාවේ ක්‍රීඩා කරන පිරිස්වලට ඉඩක් නැත.අඩුම තරමේ පුතා දුව කියා නොව නම කියා කතා කරන පසුබිමක්වත් නැත.බොහෝ විට ඇසෙන කතාවලදී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලබන වචන සත්කාරයන් හී ඇත්තේ ඔවුන් නිලධාරියාගේ අත්පල්ලෙන් වැටුණ තත්ත්වයක්ය.

අරුණ ජපානයේ දුවපු හැටි බොහෝ අය දනිති.සමහර විට දකින්නට ද ඇත.නමුත් සේරුවිල සිට මේ පැමිණි ගමන මීටර් 400 ට වඩා දුෂ්කරය.දුරය.වැට කඩුළු එමටය.
දෙහිවත්තෙන් අකුරම්බොඩ එන අරුණ ඉසව්වක් හැටියට පළමුවෙන් කළේ මිටර් 400 කඩුලු ය.එවිට අසංක සිටිය ද අරුණගේ පුහුණුකරු වී ඇත්තේ දර්ශන ය.
අසංක ස්ර් ගුරු නිවාසෙට ආවට පස්සෙ ගොඩක් සමීප වුණා.කතා කරා.ඊට පස්සෙ තමයි මීටර් 400 ට ආවෙ.දර්ශන ස්ර් යටතෙ 400 කඩුලු දුවලා 2013 ජාතික පාසල් ආවා.එතකොට 16 න් පහළ.
ඒ සමීප වීම,ඉසව්ව මීටර් 400 වීම,ආසියානු යොවුන් මීටර් 400 සූරයා වීම ඇතුළු බොහෝ කරුණු අරුණගේ ජීවිතයට යහපත් සේ බලපෑම් කළේය.

මම අදටත් ඉන්නෙ ස්ර්ගෙ ගෙදර.කන්න බොන්න දීලා බලා ගන්නෙ ස්ර්.මං පවුලෙ කෙනෙක් වගෙ.පොඩි දෙන්න විතරක් නෙමෙයි මමත් ස්ර්ටයි මිස්ටයි දරුවෙක් වගෙ වෙලා.
රැකවරණය ද වේගයට සමානව ගලයි.සමහර අය ඊට එරෙහිව අසංකගෙන් දර්ශනව ගන්නට මාන බලයි.ඒ බාධක මැඩ මඟ හැර ඟගක් සේ හැඩට ගලමින් කාලය තව තවත් ඉදිරියට යයි.
මට දුවන්න ආසාව තිබුණට ඒ 400 කියලා හිතලා තිබුණෙ නැහැ.සුගත් ස්ර් හෙම අහලා දැකලා තිබුණෙත් නැහැ.හොඳට දුවන කොට තමයි දැන ගත්තෙ.ඊට පස්සෙ ස්ර් ඇවිත් මං ගැන හොයලා බලල උපදෙස් දීලත් යනවා.ඒ වුණාට ඉතිං මං හිතපුවත් දන්නෙවත් නැති ලෝකයක් අසංක ස්ර්ගෙ මහන්සියෙන් ලැබුණා.හරියට හීනයක් වගෙ ද කියලත් හිතෙනවා.

සුගත් යනු සුගත් තිලකරත්න ය.බොහෝ දෙනෙක් අරුණගේ වයසත් සමඟ සුගත්ගේ අද්විතීය මීටර් 400 ඉසව්වට සමීප වීමට වඩාත් ඉඩ ඇත්තේ අරුණට බව කීවේ බොහෝ පෙර සිටය.
තත්පර දශම ගාණක් අඩු කරන්න කොච්චර වෙහෙසක් දරන්න ඕනිද.ඒවා ඉලක්කම් විතරක් නෙමෙයි.මහා දස්කම්.දුවන්න බැරි වෙන එකක් නැහැ.හැබැයි ඉන්ටර්නැෂනල් රේස් හම්බවෙන්න ඕනි.දැන් ජපානයෙ බලන්න.මේ 21 ද ත් ඒ වගෙම ඉන්ටර්නැෂනල් මිට් එකක් එහෙ තියෙනවා.මම ඒ එච්චර ළඟ ළඟ රේස් දෙකක් ජීවිතේටම දිව්වමයි.

සුගත්ගෙ කාලයට වඩා දැන් ලෝකය ඉදිරිගාමී ය.දස්කම් ඉහළ මට්ටමේය.සුගත් යනු ලංකාව ගැන ලෝකයටම කියා දුන් ඔලිම්පික් තරගාවලියක දෙවන වටය දක්වා ධාවනයේ යෙදෙන්නට සමත් වූවෙක් ය.
සුගත් ස්ර් දුවපු කාලෙ ඒ ටයිමින් දිව්වා කියන්නෙ මං කවද හරි වාර්තාව කැඩුවත් එයාගෙ විශිෂ්ඨකම එහෙමම තියෙයි.අදටත් දීලා තියෙන ටයිමින් හෙම බැලුවම සුගත් සර්ගෙ ටයිමින් විතරයි වගෙ ඔලිම්පික් අහු වෙන්නෙ.එහෙම බැලුවම එයා ගොඩක් ඉස්සරහා ඉන්නෙ.ඒ නිසා ඔලිම්පික්වලට වැඩිය මට මේ වෙලාවෙ වටින්නෙ ඒෂියන් ගේම් මෙඩල් එකක් ගන්න පුළුවන්ද කියන එක.ඒ දේ කරන කොට සමහර වෙලාවට මම නිකංම ඔලිම්පික් අහු වෙයි.ඒත් ඉතිං දුවන්න තියෙන රේස් ගාණ.ඒව අතර තියෙන කාල පරතරය බැලුවම අමාරුයි.නමුත් කාලිංගත් හොඳටම දුවන නිසා උත්සාහ කරන්න පුළුවන්.

අරුණ ජීවිතය පටන් ගන්නෙම දුකත් එක්කය.අයියලා තුනක් සහ මල්ලි කෙනෙක් සිටින කොල්ලො පහකගේ බඩ හිස් නොකර තියන එක අතිශයින් දුෂ්කරය.තමන්ට කියා ඉඩකඩම් නැති නිසා තාත්තාගේ ගොවිතැන කුලී ගොවිතැනක් විය.නැතනම් කෙනෙක්ගෙ යන්නතරයක් මෙහෙයවීම ඔහුගේ රස්සාව විය.2019 දී මෙලොව හැර යනකම්ම ඔහු ජීවිතයේ සැප විදීම පසෙකලා දෛනිකව පවුලේ අය වෙනුවෙන් මහන්සි වෙච්චි මනුස්සෙක් විය.
අපි හැබැයි ඉතිං ක්‍රිකට්වලට හරි ප්‍රසිද්ධයි.අදත් අයියලා හෙම ක්‍රිකට් ගහනවා.මමනම් ස්ර් නවත්තන්න කිව්වට පස්සෙ නිකං යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරනවා අරෙන්න මැච්වලට යන්නෙ නැහැ.
ක්‍රීඩාව ඔවුන්ගේ ලේවලට කලවම් වි ඇත.සමහර විට දුප්පත්කම උරුම කරපු ජීවිතය ක්‍රීඩා කරන්න ඉඩ නොදුන්නාට තාත්තගෙ අම්මගෙ හැකියාවන් ඔවුන්ගේ සිරුරු තුළ හංගිලා තියෙන්නට ඇත.
මල්ලිනම් මරු.හොදටම බෝල් කරනවා.එයා දැන් ආමි.අයියල දෙන්නෙක් ගමේ.සිවිල් ආරක්ෂක එකේ.අනිත් අයිය ගම්පහ පැත්තෙ හරි කොළඹ හරි මොකක් හරි පොඩි රස්සාවකට ගිහිං.
මේ ජීවිත ගැන කියාගෙන යද්දි අරුණ දර්ශනගේ ඉරණම නොදිව්වේනම් හෝ එදා ඩිලානි මිස් සහ හර්ෂ ස්ර්ට ඉව නොවැටෙන්නට, අකුරම්බොඩට නො’එන්නට සහ එහිදී දර්ශන සහ අසංක වැනි ගුරුවරු හමු නොවන්නට කෙසේ විය හැකිව තිබුණාදැයි ඔබට සිතා ගන්නට හැකිය.

මේ වන විට ඔහුට දුවන්නට රැකියාව ලැබී ඇත්තේ හමුදාවේය.අප දන්න බොහෝ දේ ඇහුවද ඔහු ඒ නිසා මුනිවත රකින්නේය සෙබළෙක් හැටියට විරුද්ධ වීම,විවේචන කිරීම නොහැකි නිසා බව අපි දනිමු.නැතිනම් ඔවුන් ඔවුන්ගේ දක්ෂතාවලට සරිලන සැළකිල්ලක් ලබන්නේ නැත.ඇත්තේ හැටි එබඳුය.තරග හොයාගෙන අතේ තියෙන තුට්ටු දෙක හොයා ගෙන රට රටවලට ගොස් දිව එන්නට සිඳුවන පරිසරයක,දුවන්න ධාවන පථයේ හිට ගත්තම “මේ ට්‍රක් එකේ ඉරි පේන්නෙ නැහැ බලාගෙන දුවන්න ඕනි.පිටට ගියොත් වරද ඔයාගෙ කියන්න විනිසුරුවන් ට සිඳු වී ඇති පොළවක,එම ධාවන පථය එළන්න හවුල් වූ එවුන් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවට පත් කරගෙන ඔවුන්ගේ පදයට නටන ඇමතිවරයෙක් ඉන්නා රටක අරුණ ලා නිකංම ශරීර කර සිතන පාලකයන්ගෙන් පීඩා ලබන්නෝය.

තනිව අම්මා සිටින නිවස තවම හරියට හැදි නැත.හම්බවෙන තුට්ටු දෙක ඉතුරු කරගෙන ගේ හදන්න විදිහක් නැත.ඒවා නැවත දිවිම් පෝෂණය කරන්නම වැඩ යෙදෙන්නේය.ඔවුන්ට සිහින දකින්නට උදව් කරන පරිපාලනයක් නැති නිසා ඔවුන්ටම රට වෙනුවෙන් දුවන්නට සිඳු වි ඇත.ජයග්‍රහණවලදී පිංතූර ගන්නට ඇඳුම් මැඳ තබාගෙන ඉන්නා පාලකයෝ හැරෙන්නට ක්‍රීඩකයාට හොඳින් ඇඳ පැළඳ නිවසක ජීවත්වීමේ අයිතිය ගැන හිතන උන්ට ගරු කරන පිරිසක් නැත.

මේ ඇත්ත අස්සේ දුවන අරුණ හෙට ලංකාවේ ක්‍රීඩාවේ අන්ධකාරය මකන අරුණ එළියක් කරන්නට හොඳ අනුග්‍රාහකත්වයක් ලැබෙනවනම් ඒ අනුග්‍රහයේ ආලෝකය පෙරළා සිය ව්‍යාපාරයට ලබා දෙන්නට අරුණ ලෝකය දන්න නමක් වනු ඇත.අපි අඳුරෙන් මිඳෙන අරුණගේ හෙට දවසක් දකින්නට බලා සිටින්නෙමු.!

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan