2022 අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට සිය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. ඒ, සියලු බාහිර ණය ගෙවීම අත්හිටුවීමට තමන්ට සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමගිනි.
දැන් පෙනෙන හැටියට පාකිස්ථානය යන්නේ ද ශ්‍රී ලංකාව ගිය පාරේ ය. ඊයේ දිනයේ වාර්තා වූයේ පාකිස්ථානය ද බංකොළාත්භාවය හෙවත් බුන්වත්භාවයේ අද්දර පසුවන බවයි.
පාකිස්ථානය මේ වන විට වාර්තා කරන්නේ ආසියාවේ දෙවැනි වේගවත්ම උද්ධමනයයි. එය 13.7%කි. ඒ අනුව පාකිස්ථානය උද්ධමනය අතින් දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවට පමණි!
පාකිස්ථානය තවමත් ඉතා අසීරුවෙන් සිය විදෙස් ණය පියවමින් සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රී ලංකා මහබැංකුවට සමකාර්ය පාකිස්ථාන රාජ්‍ය බැංකුවේ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 10.308 ක සිට මිලියන 190 දක්වා පහළ බැස ඇත.
ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට පාකිස්ථානයට හැකි වනු ඇත්තේ තව මාස 2 ක් පමණි.
ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමනයෙන් බේරීමට මැජික් යෂ්ටිය ලෙස පාවිච්චි කිරීමට සැරසෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF ය. නමුත් පාකිස්ථානයේ නුදුරු අනාගතයේදී උදා වන බංකොළොත්භාවයට IMF ද සෑහෙන ප්‍රමාණයකින් වග කියා ඇති බව අමතක නොකරන්න. ඔවුන් IMF ආධාර ද ගෙවා ගත නොහැකි තත්වයට පත් ව තිබේ. පාකිස්ථානයේ විදේශ ණය වලට සෑහෙන ප්‍රමාණයකින් දායක වී තිබෙන්නේ IMF අරමුදල් ය. සහනදායී මෙන්ම සහනදායී නොවන ණය වශයෙන් පාකිස්ථාන ආර්ථිකයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉතිහාසයේ පටන්ම ණය ලබා දී තිබේ. ඔවුන් විසින් 2019 ජූලි මාසයේදී මාස 39 ක ණය අරමුදල් සහනයක් ලබාගත්තේ (EFF) ඇමරිකානු ඩොලර් බිලියන 6 කට ය. එය වඩාත්ම මෑත කාලීනව IMF විසින් ලබාදුන් ණයයි.
2022 අප්‍රේල් මාසය වන විට පාකිස්ථානයේ ඉරණම ගැන IMF වද වෙමින් සිටි බව පෙනේ. අප්‍රේල් 24 වැනිදා ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මායිලි සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසුව ණය සහනය ගැන තවදුරටත් සලකා බලන බවයි. ඒ අනුව 2022 මැයි මාසයේදී ඔවුන් පාකිස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිත ය.
මෙම සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරිය කළ ඉල්ලීම් මොනවාද? ඇය ණය නොගෙවා සිටීමේ වසරක සහන කාලයක් ඉල්ලා සිටියාය. තවත් ඩොලර් බිලියන 2 කින් ණය මුදල ප්‍රසාරණය කරන ලෙස ද ඉල්ලා සිටියාය.
තවත් ණය දෙන්නට නම් ඉන්ධන මිලත් වැඩි කළ යුතු බව IMF කියයි!
මේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් IMF විසින් ඉදිරිපත් කළ කොන්දේසි අතරින් ප්‍රධාන කිහිපයක් පහත පරිදි වේ.
1. දැඩි මූල්‍ය සීරුමාරුවලට යා යුතු බව
2. ක්ෂමා ණය ක්‍රමය නතර කළ යුතු බව
3. ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව
4. බලශක්ති මත අය කරන බදු (විදුලි බිල ඉහළ යනු ඇත) ඉහළ දැමිය යුතු බව
5. බදු වැඩි කළ යුතු බව.
පාකිස්ථානය බංකොළොත් වීම අද්දර සිටින බව ප්‍රකාශ වන්නේ මෙවැනි පසුබිමක් තුළ ය. මෙයින් පෙනී යන්නේ IMF මැජික් කසායේ සැර, අප සිතන තරම්වත් රෝගියාට දරාගත නොහැකි බවයි. IMF ණය ගත් පාකිස්ථානයත් බංකොළොත් වේ නම්, බංකොළොත් ලංකාවට IMF ණය ගැනීමෙන් පසු කුමකින් කුමක් සිදු වේද? ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාම යනාදී අතුරු විපාක රැසක් එයින් උද්ගත වනු ඇත.
යථාර්ථය කටුක ය. එළඹ තිබෙන්නේ තවදුරටත් පටි තද කර ගත යුතු යුගයකි.