මාලදිවයිනේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙසක් උත්සවය නිමිත්තෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

Date:

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙසක් දිනය නිමිත්තෙන් 2022 මැයි 14 වැනි දින රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේ ය.

ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ සහභාගීත්වය සහිතව ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් ප්‍රථම වරට පවත්වන ලද රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන මෙය වන අතර, ඒ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ලංකා බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී.

මාලදිවයිනේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ෂා අබ්දුල්ලා මහීර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දූත මණ්ඩල කාර්ය මණ්ඩලයේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දේශීය කළමනාකාර ෆව්සාන් ෆරෙයිඩ් මහතාගේ, ලංකා බැංකුවේ දේශීය කළමනාකාර ගෝවින්ද අරම්පත් මහතාගේ සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම එක් දින වැඩසටහන  මාලදිවයිනේ අගනුවර වන මාලේ හි පිහිටි මාලදිවයින් රුධිර සේවා (තැලසීමියා මධ්‍යස්ථානය) ආයතනයේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේ දී අදහස් පල කළ මාලදිවයිනේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය මහීර් මැතිතුමා, රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් රජයේ අවංක ප්‍රණාමය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට සහ මාලදිවයිනේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පුද කළේ ය.

රෝහල්වල සිදු කෙරෙන ශල්‍යකර්ම සඳහා පමණක් නොව, නිරන්තර රුධිර පාරවිලයනය අවශ්‍ය වන තැලසීමියා රෝගීන්ගේ සැලකිය යුතු පිරිසක් සඳහා ද දැඩි රුධිර අවශ්‍යතාවක් පවතින බවත්, එම අවශ්‍යතාව ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ කාරණයක් බවට පත්ව ඇති බවත් එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.එම්.ජේ. සාදික් මැතිතුමා, කෙටි දැනුම්දීමක් අරභයා වුවද රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා පැමිණීම සහ ඊට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය මහීර් මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළ අතර, මෙම වැඩසටහන ශ්‍රී ලාංකික ප්‍රජාව මාලදිවයින් ජනතාව කෙරෙහි දක්වන සුහදතාවය සහ මිත්‍රත්වයේ සලකුණක් වශයෙන් සංවිධානය කොට ඇති බවද ප්‍රකාශ කළේ ය. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම (නිර්වාණය) සනිටුහන් කරන වෙසක් උත්සවය නිමිත්තෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන්ට සහ හිතවතුන්ට ද එතුමා සිය ස්තුතිය පුද කළේ ය. මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සහ මාලේ හි පිහිටි ලංකා බැංකුවේ දේශීය කළමනාකාරවරුන්ට ද එතුමා සිය ස්තුතිය පුද කළේ ය. මෙහිදී සිය අදහස් කෙටියෙන්  පළ කළ දේශීය කළමනාකරුවන් දෙපළ, ප්‍රජා කටයුතු සම්බන්ධයෙන් අනාගතයේ දී සිදු කිරීමට නියමිත සියලුම ක්‍රියාකාරකම්වලදී ද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්හ.

මෙම වැඩසටහන අති සාර්ථක ලෙස පැවති අතර, රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි වී සිටි ස්වේච්ඡා පරිත්‍යාගශීලීන් 40 දෙනාට වැඩි පිරිසක්, එනම් 65 දෙනෙකු සහභාගී වූ බැවින් වැඩසටහන වෙනුවෙන් වෙන් කොට තිබූ නියමිත කාලය දීර්ඝ කිරීමට ද සිදු විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේ

මාලදිවයින

2022 මැයි 17 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...