කොළඹ LNW:නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ බව ලොව පුරා මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.
ඉරාන-අසර්බයිජාන් දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ගොස් ආපසු යමින් සිටියදී ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් රැගත් හෙලිකොප්ටරය දැඩි මීදුම මධ්‍යයේ ගැටලුවකට මුහුණ දී තිබෙන බවයි සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් පවසා තිබුණේ.
ඒ ඊයේ (19) දිනයේදී. අද (20) දින අනතුරින් ඔවුන් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා විණි.
අනතුරට ලක්වූ හෙලිකොප්ටර් සුන්බුන්වල ඩ්‍රෝන් දර්ශන එරට රාජ්‍ය මාධ්‍ය මඟින් විකාශය කර තිබුණු අතර හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ද පෙන්වා තිබුණි. ඉතා කඳු බෑවුම් සහිත ප්‍රදේශයක එම අනතුර සිදුව තිබෙන අතර අනතුරට පත් හෙලිකොප්ටරයේ නිල් සහ සුදු වලිගය කොටස එම දර්ශන වල දැකගැනීමට හැකියි.
ඉරානය දැඩි ආතතියකට!
ඉරානයේ වඩාත්ම බලගතු දේශපාලන චරිත දෙකක් මෙලෙස අනපේක්ෂිත ලෙස අහිමි වීම සිදුවන්නේ රට සැලකිය යුතු ආර්ථික හා දේශපාලන ආතතියකට ලක්ව සිටින මොහොතක වන හෙයින් එරට වාර්තා පෙන්වා දෙන ආකාරයට මේ වන විට ඉරානය තුළ ඇත්තේ යම් කැළඹුණු ස්වභාවයක්.
එරට උප ජනාධිපතිවරයා වන මොහම්මඩ් මොක්බර් මේ වන විටත් වැඩබලන ජනාධිපතිධූරයේ දිවුරුම් දී සිටින අතර දින 50ක් තුළ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති.
අනතුරින් හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩලය මෙන්ම නැගෙනහිර අසර්බයිජානයේ පළාත් ආණ්ඩුකාරවරයා,ජනාධිපති රයිසිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඇතුළු තවත් ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු පිරිසකටද දිවි අහිමි වී තිබේ.
අනතුරින් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කණ්ඩායම් 73ක් යොදවා තිබීමද විශේෂත්වයක්.
1960 දෙසැම්බර් 14 වනදා උපන් රයිසි මියයන විට 63 හැවිරිදි වියේ පසු වූ දැඩි ආගමික මතධාරියෙකු වන අතර ඔහු නීති උපාධිධාරියෙකු මෙන්ම එරට අගවිනිසුරුවරයා හා නීතිපතිවරයා ලෙස ද කටයුතු කර තිබුණු ඉතිහාසයක් ඔහුට හිමිව තිබුණි.
රටේ නීති පද්ධතියට මෙන්ම ආගමික ප්‍රභූ පැලැන්තියට ඉතා සමීපව සිටි පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධ රයිසි ආගමික භක්තිය නිසාම දැඩි ගතානුගතික දේශපාලකයෙක් ලෙසයි ලොව හඳුනා ගන්නේ.
රයිසි ගොඩනැගෙන්නේම ආගමික මූලයන් එක්ක!
ඉරානයේ ජනාධිපති ධූරයට ඔහු ප්‍රථම වරට 2017 දී ඉදිරිපත්වන නමුත් හසන් රුහානි හමුවේ එම පරාජයෙන් පසු ඔහු ඉතා සැලසුම්සහගත ලෙස ඊළඟ අදියරට සූදානම් වී ඇති අතර අනතුරුව 2021දී ඉරානයට නායකත්වයට දීමට තේරී පත්වෙයි.
විදෙස් මුලාශ්‍ර පවසන ආකාරයට නිශ්චිතව ආගමික අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ වයස අවුරුදු 15 සිට වන අතර සුප්‍රසිද්ධ කොම් ආගමික සෙමනේරියේ එම අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ. එවකට සිටි ඉස්ලාමීය විද්වතුන් කිහිප දෙනෙකු යටතේම රයිසි අධ්‍යාපනය ලබා ඇති බව සඳහන්.
වයස අවුරුදු 20 ගණන් වල මුල් භාගයේදී ඔහු නියෝජ්‍ය අභිචෝදකයෙකු ලෙස වැඩ කිරීමට අගනුවර වන ටෙහෙරානයට යන තෙක් අනුප්‍රාප්තික නගරවල අභිචෝදකයෙකු ලෙස පත් කර ඇත.
1983දී Jamileh Alamolhoda සමඟ විවාහ වූ රයිසි දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.
1988 දී මාස පහක පමණ කාලයක් තිස්සේ ඔහු දේශපාලන සිරකරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීමේ කමිටුවක කොටසකරුවෙක් වූ රයිසිට එරට විපක්ෂයේ ප්‍රසාදයක් නොලැබෙන අතර එක්සත් ජනපදයද සම්බාධක පැනවීමට ඔහු හේතුවක් වී තිබේ. 1989 දී ඉරානයේ පළමු උත්තරීතර නායක අයතුල්ලා කොමේනිගේ අභාවයෙන් පසු ඔහු ටෙහෙරානයේ අභිචෝදකයා ලෙස පත් කර ඇත.
ඉරානයේ ආගමික සංස්ථාව තුළ විශාලම දායාදය වන Astan Quds Razavi අයතුල්ලා කොමෙනි යටතේ රයිසි ඉතා සාර්ථක ගමනක් පැමිණ තිබුණ අතර කොමෙනිගෙන් පසු එම උත්තරීතරභාවයට රයිසි පත්වෙනු ඇති බවටයි ඉරාන ජනතාව තුළ විශ්වාසය ගොඩ නැගී තිබුණේ.
කෙසේවෙතත් අනපේක්ෂිත ලෙස ඉතා දැඩි ආරක්ෂාවක් යටතේ සිටි ජනාධිපති රයිසි අවසනාවන්ත ලෙස හෙලිකොප්ටර් අනතුරකින් මරණයට පත්ව අවසන්.
ඉරාන දේශපාලනය තුළ මධ්‍යස්ත මතධාරියෙකු ලෙස ප්‍රචලිත හසන් රුහානිට වඩා දැඩි මතධාරී ආගමික කණ්ඩායමක් හරහායි ඊබ්‍රහිම් රයිසි මතුවන්නේ. රුහානි හමුවේ පළමු වර රයිසි පරාජය පත්වුවද 2021දී රිසි ඉරානයේ බලය අල්ලා ගැනීමට සම්ත්වෙන්නේ ඔහුගේ සැලසුම්වල තිබුණු විශේෂත්වය නිසාමයි.
ආර්ථිකය පිරිහීමට උත්තර දීම වෙනුවට රයිසිත් මර්දනය අත දැරුවාද?
රයිසි රට භාරගන්නා විටත් පැවති සම්බාධක හේතුවෙන් එරට ආර්ථිකය හැකිලීමකට ලක්ව පැවති අතර කොවිඩ් 19 වසංගතය සමඟ එය තවදුරටත් පුළුල් වීම සිදුවිය. කොවිඩ් 19 වසංගතය නිසා ඉරානය තුළ කොවිඩ් මරණ 97000ක වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණි.
මේ අතර ඉරානය මුහුණ දී තිබුණු ආර්ථික ගැටලු, කලාපීය වශයෙන් එල්ලවූ තර්ජන මෙන්ම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වූ සාකච්ඡා බිඳ වැටී තිබීමත් ඉරානයේ දේශපාලන අස්ථාවරභාවයට හේතු වී තිබුණි.
රයිසි බලයට පැමිණ වසරක් ගතවෙන්නටත් පෙර ඉරානය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිර ගිය අතර එම උද්ඝෝෂණ රාජ්‍ය බලය යොදා මැඩපැවැත්වීමට ඔහු කටයුතු කර තිබුණි.
විශේෂයෙන් 2022 අගභාගයේදී, ඉරානයේ පොලිස් භාරයේ සිටි මාෂා අමිනීගේ මරණය සම්බන්ධයෙන් මහජන කෝපය පුපුරා ගිය අතර 22 හැවිරිදි ඇය ටෙහෙරානයේ මෙට්‍රෝ ස්ටේෂන් එකකින් තම පවුලේ සාමාජිකයන් සමඟ පිටත්ව යන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ආගමික නීතිවලට අනුකූල නොවීම හේතුවෙන්. ඒ වන විටත් එරට හිජාබය අනිවාර්ය වී තිබුණි.
එම මරණයෙන් පසු ඇවිලුණු ඉරානයේ විරෝධතා මාස ගණනාවක් පුරා පැතිර ගිය අතර, කාන්තාවන් තම හිජාබ් ගලවා හෝ පුළුස්සා දමමින් විරෝධය පළකර තිබුණු අතර තවදුරටත් විරෝධය දැක්වීමක් ලෙස ඔවුන්ගේ හිසකෙස් ද කපා දම තිබුණි.
විදේශීය මානව හිමිකම් සංවිධානවලට අනුව විරෝධතා බිඳ දැමීමට ආරක්ෂක හමුදාවල මැදිහත්වීම නිසා පුද්ගලයින් 500 ක් පමණ මිය ගිය අතර එම විරෝධතා අවසන් වුණේ 2023 මැද භාගයේදී පමණ. ඒ පුද්ගලයින් හත් දෙනෙකුට මරණ දණ්ඩනය නියමවෙමිනි.
ඒ අනුව දැඩි ආගමික මතධාරී ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වූ ඉරානය තුළ සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් දියත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවසන ලදී. ඒ ඉරානය මිනීමැරීම, වධහිංසා පැමිණවීම සහ ස්ත්‍රී දූෂණය ඇතුළු මර්දනයේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට නිගමනය කරමිනි.
ජාත්‍යන්තර විරෝධතා මායිම් නොකරයි
එහෙත් ඉන් පසු නොබැස්ස රයිසි අඛණ්ඩව සිය ස්ථාවරය පෝෂණය කරමින් සිටි අතර ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඔහුට එතරම් ප්‍රසාදයක් නොවිණි.
ඊශ්‍රායල – හමාස්, ඊශ්‍රායල – හිස්බුල්ලා ගැටුම් වලදී ඉරානයේ සහාය ලැබෙන්නේ ඊශ්‍රායල විරෝධී පාර්ශ්වයන් සඳහා වන අතර පසුගිය අප්‍රේල් මාසයේ ඉරානය ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිල 300කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත එල්ල කර තිබිණි.
ඒ, අප්‍රේල් 01 වැනිදා සිරියාවේ ඩැමස්කස්හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසය.
කොන්සල් කාර්යාලයට එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය භාර ගෙන නොතිබුණද ඒ පසුපස ඔවුන් සිටින බවට වන තහවුරුව පදනම් කරගනිමින් ඉරානය පෙරළා ප්‍රතිචාර දැක්වීම එමක භාෂාවෙන් සිදුකර තිබුණි.
කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ සාමාජිකයින් 7 දෙනෙක් සහ සිරියානු වැසියන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
කෙසේවෙතත් ඉරාන ජනාධිපතිවරයාගේ මෙම අනපේක්ෂිත මරණය තහවුරු වීමෙන් අනතුරුව එය බල දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද යන සැකය මතුව තිබේ.
කෙසේවෙතත් ඒ පසුපස ඊශ්‍රායලයේ මැදිහත් වීමක් නැති බවටද ඊශ්‍රායල බලධාරියෙක් පවසා ඇත.
රයිසිගේ මෙම අභාවය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙන්ම හූති කැරලිකරුවන්ද සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කර තිබුණේ පසුගිය කාලයේ ඔවුන්ට ඉරානයෙන් ලැබුණු සහය සිහිපත් කරමිනි.
එමෙන්ම ලොව නන් දෙසින් ජනාධිපති රයිසිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩ ගල එමින් තිබෙන පසුබිමක ශ්‍රී ලංකාවටද රයිසිගේ මතක වලින් බැහැර වීමට හැකියාවක් නැහැ.
පසුගියදා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමටද ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මෙරටට පැමිණි අතර එහිදීද ඔහුට විශේෂ වූ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක්ද යොදවා තිබුණි.
කෙසේවෙතත් දැන් ඉරාන ජනාධිපතිවරයා සිය ජීවන පරිච්ජේදය අවසන් කර තිබේ. ජනාධිපති රයිසිගේ හදිසි මරණය සැබෑ ලෙසම හදිසි අනතුරක්ද? නැත්නම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද? යන්න විවිධ සැක මතුව තිබෙන පසුබිමක එකී සංවාද විවිධ පැතිකඩයන්ට යොමුවෙනු ඇති.
මේ සියලු කතන්දර මැද ලෝක දේශපාලනය සීමා මායිම් නැති කතන්දර ගොඩක පැටලෙමින් පටලවා ගනිමින් ඉදිරියට යන බව නම් කිව හැකියි.
මූලාශ්‍ර: AL Jazeera / CNN / BBC
ආශිකා බ්‍රාහ්මණ