ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා ගැන පැය 4ක සාකච්ඡාවක්. කමිටුවකුත් පත්කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ය.

අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත්වී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළගා කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ අනුව මුල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ආයතනයක් ලෙස ගොඩනැංවීමට එහි සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා කැපවීම ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

සාමූහික මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟිය නොහැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන හිමි නොවන පසුබිමක, ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

දේශපාලන අධිකාරිය ලෙස මෙරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කළයුතු සියලු කැපකිරීම් සිදු කරන බවත්, එලෙසම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟීම එහි සියලු කාර්‍යමණ්ඩලයේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවර අයවැයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රු. බි. 20ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙය මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බැවින් එම සියලු මුදල් ඵලදායීව යෙදවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රජයේ හිමිකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරමේ රජයේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිතිවල පූර්ණ සහාය ලබා දෙන බවත්, එය තමන්ගේද මූලික අභිප්‍රාය බවත් මෙයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපතිවරයා ඉදිරියේ සහතික වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකන් ගුවන් නියමු සංසදය, ගුවන් සේවක සංගමය, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකන් ගුවන් සේවා ගුවන්යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය, ගුවන්යානා ඉංජිනේරු සංසදය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා විධායක සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...