Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

ජනතාව ජීවමාන බුදුන්ටත් මල් පහන් පිදුවාද ?

බුදුන් උදෙසා මල්, පහන් සුවඳ දුම් පූජා කිරීම වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ වැදගත්ම අංගයකි.බුදුන් උදෙසා මෙලෙස මල්, පහන්, සුවඳ දුම් පිදීම් වලට බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමය තෙක් දිව යන අතීතයක් ඇති බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි. ධම්ම පදට්ඨ කතාවේ එන ආනන්ද බෝධි රෝපණය පිළිබඳ කතා ප්‍රවෘත්තිය ඒ සඳහා වන හොඳම නිදසුනකි. “පච්ඡාහත්නං ගන්ධමාලාදිහත්ථා වත්ථහෙසජ්ජ පානකාදිනං ගාහපෙත්වා ධම්මස්වණත්ථාය ගච්ඡන්ති” යනුවෙන් පැවසෙන අන්දමට සැදැහැවතුන් මල්, සුවඳ දුම්,වස්ත්‍ර,ඖෂධ,පාන වර්ග ආදිය ද රැගෙන සැන්දෑ සමයේ බුදුන් බැහැ දැකීමට දෙව්වරම් වෙහෙරට ගොස් තිබේ. එහෙත්, ඇතැම් දිනවල බුදු හිමියන් දෙව්රම් වෙහෙරෙහි වැඩ නොසිටීම මත එහි පැමිණි සැදැහැවතුන්ට තමන් ගෙනා පූජා භාණ්ඩ ආපසු රැගෙන යාමට සිදුවීම මුල් කොට බුදු හිමියන් ගේ උපස්ථායක ආනන්ද හිමියන් විසින් ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ගයක් විමසා ඇත.

එහි දී බුදු හිමියන් අනුදැන වදාරා ඇත්තේ එසේ නම් තමන් වහන්සේ සංකේතනය වීම පිණිස තමන් වහන්සේට බුද්ධත්වය ලැබීමට පිටදුන් බෝධි වෘක්ෂයේ අංකුරයක් දෙව්රම් වෙහෙර සමීපයේ සිටුවීමට ය.එම බෝධි ශාඛාව ගයා නදී තීරයේ සිට අගසව් මුගලන් හිමියන් සෘද්ධි බලයෙන් වැඩම කළ අන්දමත් ඒ සඳහා කොසොල් රජතුමන් හා අනේ පිඬු සිටුතුමන් අනුග්‍රහය දැක්වූ අන්දමත් පැවසෙන පූර්ණ විස්තරයක් පන්සිය පනස් ජාතක මාලාවේ 465 වන කාලිංග බෝධි ජාතක කතාවේ එයි.

සමස්ත ශ්‍රී ලාංකේ බෞද්ධ සමාජයම පිළිගන්නා අන්දමට බෞද්ධයන්ගේ බෝධි වන්දනාව පිළිබඳ සමාරම්භක සංසිද්ධිය එයයි.එහෙත්,ඒ සම්බන්ධ ධර්ම ශාස්ත්‍රීය පසුබිම ඊට ඉඳුරාම වෙනස් ය.,

බුදු දහම ලොවට ඉදිරිපත් වූයේ ගුප්ත විශ්වාස පිරී ඉතිරී ගිය වෛදික ආගමික සංස්කෘතික මහා සම්ප්‍රදායක් අතුරින් එය අතික්‍රමණය කරමිනි. එම සංස්කෘතිය තුළ මිනිසාගේ ලෞකික යහපත සහ දැක්ම විමුක්තිය උදෙසා වන යාග හෝම පුද පූජා, ආදී අනේක විධ අභිචාර විධි (Rituals ) දස දහස් ගණනක් තිබිණ. ජලය, ගින්න සේම පුෂ්ප ඵල වැනි ශාක කොටස් යොදා ගනිමින් සිදු කරනු ලැබූ ඒ සාම්ප්‍රදායික ආගමික චාරිත්‍ර දාමය බුදුන් විසින් සෘජුවම ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව මුල් බුදු සමයේ පූජා සම්ප්‍රදාය ගොඩනැගෙන්නට වූයේ සදාචාරය පදනම් කර ගත් යථාර්ථවාදී ප්‍රායෝගික මානව චර්යා රටාවක් වශයෙනි. එහි දී “පූජා’ යනු හුදෙක් ආචාර ධර්මීය පදනමක් යටතේ වන පුද්ගලයන් උදෙසා වන ගරු බුහුමන් කිරීම පමණක් දැක්වුණු අතර යම් යම් භුතිකමය හෝ වෘක්ෂලතා වැනි ජෛවමය වස්තුන්ට වැදුම් පිදුම් කිරීම පූජා ලෙසින් මූලික බුදු සමයේ කිසිදු තැනක විස්තර නොවේ.

පාලි ඉංග්‍රීසි ශබ්ද කෝෂය අනුව වුව ‘පූජා’ යන්න අර්ථ ගැන්වීමේ දී එහි බෞද්ධ නිර්වචනය ලෙසින් ආචාර කිරීම, ගෞරව කිරීම ආදිය දක්වා තිබේ. වර්තමානයේ කුඩා දරුවන් පවා දන්නා මංගල සූත්‍රයේ එන “පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං” යන ගාථා පාඨය මේ සඳහා නිදුසුන් ලෙස දැක්විය හැක.එහි පූජා යනු අභිචාර විධි නොවන බව අතිශයින් පැහැදිලි ය. බුදුන් වහන්සේ ශ්‍රාවක සංඝයා අතර ගිහි සමාජය අතර පැවැති සහ සම්බන්ධතා පිළිබඳ විස්තර කෙරෙන සූත්‍ර දහස් ගණනක් තිබේ.

ඒ සෑම සුත්‍රයකම පාහේ බුදුන් ගේ අනුශාසනා පිළිගත් ගිහි සමාජය බුදුන් වහන්සේට උතුම් මනුෂ්‍යයකුට සේ සළකනු ලැබූ බවක් විනා බුදුන්ට දේව රූපයකට මෙන් මල් පහන් සුවඳ දුම් පිදූ බවක් සඳහන් ව නැත.එම පිරිස පොදු සමාජය විසින් “ගෝතම සාවක” ලෙස හඳුන්වන ලද අතර ඔවුන් බුදු සසුන තුළ හැඳින්වෙන ලද්දේ “උපාසක” යන නමිනි.ඒ හැරුණු කොට නූතනයේ චිර සම්මත “බෞද්ධ”:යන වදන කිසිදු බුද්ධ දේශනාවක සඳහන් නොවේ..එමෙන්ම ගිහි පැවිදි කිසිවකු විසින් හෝ තමන් වහන්සේට පෞද්ගලිකවම අභිනන්දනය කිරීම අනුමත නොකළ උන්වහන්සේ තමන් දෙසූ දර්ශනය පිළිපැදීම තමන් වහන්සේ වෙත කරනු ලබන උතුම් ම පූජාව බව සඳහන් කොට ඇත. මජ්ජිම නිකායේ මුල පන්නාසයේ එන ධම්ම දායාද සූත්‍රය ඒ සඳහා වන කදිම නිදසුනකි. එහිදී උන්වහන්සේ විශේෂයෙන් අවධාරණය කරනුයේ ආමිසයට වඩා ධර්මය දායාද කර ගැනීම උතුම් බව ය.

අපගේ වර්තමාන බෞද්ධ සංස්කෘතිය තුළ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා යනුවෙන් කොටස් දෙකක් බෙදා ඇති අන්දම ද මූලික ධර්ම කරුණුවලට පටහැනි ය. ආමිස පූජා යනු වර්තමානයේ බහුලව සිදු කෙරෙන කිසිදු යථාර්ථවාදී හෝ ප්‍රායෝගික වටිනාකමක් නොමැති පූජා චාරිත්‍ර නොවේ. ආමිස පූජා යනු ලෞකික සැප සම්පත් අපේක්‍ෂාවෙන් කරනු ලබන ආචාර ධර්මීය පිළිවෙත් අනුව සැකසුණු ඒවා බව මූලික සූත්‍ර දේශනා පිරික්සීමේදී මැනවින් පසක් වේ. නිදසුනක් ලෙස දාන, මාන පින්කම් ඇතුළු අනේක විධ ආගමික චර්යාවන් ආමිස පූජා බව මූලික බෞද්ධ ඉගැන්වීම ය.

අපගේ බෞද්ධ සමාජයේ ප්‍රාථමික ජන වන්දනා ගණයට අයත් මල්,පහන් පිදීම හැරුණු කොට ආචාර ධර්මීය පදනමක් නොමැති හුදු ශාන්ති කර්ම ගණයට අයත් බෝධි පූජා,සූවිසි අට විසි බුද්ධ පූජා,අනේක විධ ද්‍රව්‍ය ලක්ෂ ගණන් දාගැබ් වලට පිදීම, දාගැබ් වලට වස්ත්‍ර ඇන්දවීම මුල් කොට ගත් කප් රුක් පූජා ආශීර්වාද පූජා අධිෂ්ඨාන පූජා ආදී අනේක විධ පූජා චාරිත්‍ර ද ආමිස පූජා නමින් හැදින්වීමට නූතන විද්වත්හු කටයුතු කරති. එය ධර්ම විරෝධී ය.ආමිස යන්නෙහි ප්‍රති විරුද්ධ සංකල්පය නිරාමිස යන්න ය.එහි අදහස කිසිදු ලෞකික හෝ සාංසාරික ප්‍රතිලාභයකින් තොර යන්න ය. නො එසේනම් හුදු නිවන් පිණිසම කැප වූ යන්න ය. හුදෙක් ශීල භාවනාදී ප්‍රතිපත්තිමය පූජා ඒකාන්තයෙන්ම නිරාමිස ගණයට ඇතුලත් වෙයි.

පින සහ කුසලය අතර ඇති සම්බන්ධය ද මීට බෙහෙවින් සමාන ය. ලෝභ, දෝෂ, මෝහ යන කෙලෙස් මූලයන් ගෙන් අත්මිදුණු චිත්ත දමනය මුල් කොට ගත් ආචාර විද්‍යාත්මක ශික්ෂා මාර්ගයන් මෙම කුසල ගණයට අයත් වෙයි.

බුදු සමය පිළිබඳ ගැඹුරු පර්යේෂණාත්මක දැනුම් සම්භාරයකින් යුතු පැවිදි පඬිවරුනක වූ මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ “සත්‍යෝදය” නම් ලිපි කළඹ මඟින් යථාර්ථයෙන් බැහැර බෞද්ධ පූජා සම්ප්‍රදායන් දැඩි විවේචනයකට ලක් කොට තිබේ.එහෙත් එබඳුම පඬි රුවණක වූ පූජ්‍ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් නූතන සමාජය හා පුද පූජා යන මැයෙන් සකස් කොට ඇති ශාස්ත්‍රීය නිබන්ධනය මෙබඳු සඳහනක් කරන්නා හ.

“සරල උපමාවකින් දක්වන කල බෞද්ධ සමාජයේ ආමිස සහ ප්‍රතිපත්ති පූජා ජලය සහ ආහාර ලෙස නම් කළ හැක. බෞද්ධ සමාජ සන්දර්භය සහ සමාජ සංස්ථාව ස්ථාපිත වීම පිණිස ආමිස පූජා අපට ජීවත් වීමට ජලය මෙන් අවශ්‍යතම සාධකයයි. බෞද්ධයාට පාරලෞකික විමුක්තිය හෙවත් නිර්වාණය පිණිස ප්‍රතිපත්ති පූජා අවශ්‍ය වන්නේ අපගේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය වන්නාක් මෙනි”.එහෙත් උන් වහන්සේ මෙහි ආමිස පූජා යනුවෙන් සඳහන් කරනුයේ නූතන ජනප්‍රිය බුද්ධාගම තුළ රජයන නිසරු වත් පිළිවෙත් නොවන බව ද ඉඳුරාම කිව යුතු ය.

බෞද්ධ ශික්ෂා මාර්ගයේ පරමාදර්ශයන් වන සීල, සමාධි, ප්‍රඥා සඳහා ඉවහල් වනුයේ ද හුදෙක් ප්‍රතිපත්ති මස ආමිසය නොවේ. එවන් පසුබිමක් තුළ පසුකාලීන බුදු සමය තුළට ඉවක් බවක් නොමැති ආමිස පූජා ප්‍රවර්ධනය වී ඇත්තේ අප ජන ව්‍යවහාරයේ ‘බුදු සසුන’ ලෙස හැඳින්වෙන සමාජ සංස්ථා ව්‍යුහය ස්ථාපිත වීම පිණිස බව ඒකාන්ත වශයෙන් ම කිව යුතු ය.මේ සඳහා තත් කාලීන භික්ෂු සමාජයන්හි උපායශීලී දායකත්වය ලැබී ඇති අතර අද ද එම තත්වය නොවෙනස් ව පවතී.

ජීවමාන බුදුන්ට ජනතාව මල් පහන් පූජා කළාය වැනි ධර්ම විරෝධී සේම ප්‍රායෝගික වශයෙන් හර සුන් පසුකාලීනව රචනා වූ කථා ප්‍රවෘත්තීන් දරුවන් ගේ අධ්‍යාපන පොත පතට පවා ඇතුලත් වී ඇත්තේ එබැවිනි. වත්මන් බුදු සසුනට පිවිසී ඇති ප්‍රඥාවන්ත හා සදාචාරාත්මක සේම ප්‍රායෝගික වැදගත්කමක් නොමැති සියලු පූජා චාරිත්‍ර හින්දු වෛදික ආගමික ආභාෂයෙන් යුතු ඒවා බව අතිශයින් පැහැදිලි ය.

එහෙත්, බුදු සමය තුළට පිවිසි එම අන්‍යාගමික පුද සිරිත් අද වන විට බුදු සසුන නම් වන සඳුන් රුක වෙලා ගත් දැවැන්ත පිළිලයක් බවට පත් ව ඇති බව ධර්ම විනය නොදත් අපගේ බෞද්ධ සමාජයෙන් සැඟව ගත් ශෝචනීය රහසක් ව තිබේ.

කදුරුපොකුණේ සුමංගල හිමි – විනිවිද

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.