වම්මුන් – දක්ෂිණාංශිකයන් එක්කළ, උග්‍ර සෙප්සිස් තත්ත්වයකින් පසු යළි පාර්ලිමේන්තු පැමිණි මැකින්ලේ!

Date:

ඉසුරු පරාක්‍රම

මැයි 25, ලෝකය (LNW): ගෝලීය දේශපාලනය තුළ දක්ෂිණාංශික – වාමාංශික ගැටුම අනාදිමත් කලක පටන් පැවති දෙයකි. වම රැඩිකල්වන විට, දකුණ ගතානුගතිකවන බව කියවෙයි.

එහෙත් මේ වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික – වාමාංශික දේශපාලඥයන් එක්කළ අවස්ථාවක් පිළිබඳවයි.

ඒ උග්‍ර සෙප්සිස් (sepsis) තත්ත්වයකින් පසු වී යළි පාර්ලිමේන්තු පැමිණි බ්‍රිතාන්‍ය ටෝරි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙග් මැකින්ලේ ගැනයි.

සෙප්සිස් යනු පුද්ගලයකු මරණයට පවා පත්කළ හැකි දරුණු රෝගී තත්ත්වයක්වන අතර, මැකින්ලේ එම රෝගී තත්ත්වයෙන් පසු වූ සමයේ ඔහුට ජීවත් වීමට අවස්ථාවක් ඇත්තේ සියයට පහක පමණ ප්‍රතිශතයක් බවට වෛද්‍ය මතය වී තිබිණි.

එහෙත් සෙප්සිස් රෝගී තත්ත්වයෙන් පසුවූ මැකින්ලේ තම ගාත්‍රා අඩපණ වී සිටිමින් ම යළි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස සේවය කිරීමට පැමිණ තිබේ.

මැකින්ලේ ගේ ආගමනය හමුවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රැස්ව සිටි සියළු පිරිස නැඟිට අත්පොළසන්වාරයක් (standing ovation) ලබා දී ඔහුව සාදරයෙන් පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෙප්සිස් රෝගී තත්ත්වය මත මැකින්ලේ ගේ අත් හා පතුල් ක්‍රියා විරහිත වී ඇති නමුත්, තමා නැවත ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තුවට පැමිණි බවත්, තමාට ප්‍රතිකාරකළ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) කාර්ය මණ්ඩලයට, තම පවුලේ සාමාජිකයන්ට හා නන් අයුරින් සහාය දැක්වූ සැමට ස්තූතිවන්ත වන බවත් හෙතෙම පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මැකින්ලේ ගේ ආගමනය සැමට ආදර්ශයක් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිලි පමණක් නොව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් මෙන්ම විපක්ෂ නායක, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් ද පැවසූහ.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ දමමින් අත්පොළසන්වාරයක් ලැබීම හමුවේ උපහාසාත්මක ලෙස සභා ගර්භයෙන් සමාව අයැද සිටි මැකින්ලේ, තම අත් පා අක්‍රිය වී තිබීම මත “කෘතීම මන්ත්‍රී” (bionic MP) යැයි අන් අය විසින් හඳුන්වන්නේ නම් තමා කැමති බව ද පවසා සිටියේ ය.

එමෙන්ම සෙප්සිස් රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම් පුළුල් කොට සෙප්සිස් තත්ත්වය හට ගැනීමේ ලක්ෂණ හඳුනා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගෙන් තමා ඉල්ලා සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

මැකින්ලේ හට බරපතල සෙප්සිස් රෝගී තත්ත්වය වැළඳී ඇති බවට හඳුනා ගනු ලැබුවේ ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් මසවන අතර, දින 16 ක කෝමා තත්ත්වයකින් ද ඔහු පසුවිය.

ගාත්‍රා අඩපණ වී සිටින ක්‍රෙග් මැකින්ලේ දැන් කටයුතු කරනු ලබන්නේ කෘතිම ආධාරක හෙවත් ප්‍රොස්තෙටික්ස්වල ආධාරයෙන් වන අතර, තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සේවය කිරීමට පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් හිමිවන සහාය සඳහා ද ඔහු සිය ස්තූතිය පළ කළේය.

එමෙන්ම, සෙප්සිස් රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම් ඉහළ දැමීමට රජය කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පොරොන්දු වූ අතර, ඒ සඳහා බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ (NHS) ප්‍රතිචාරය ඉහළ දැමීමට ද ඔහු පොරොන්දු වූයේය.

මැකින්ලේ ගේ ආගමනය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පැසසුමට ද ලක් වූ බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සෙප්සිස් යනු බරපතල හා මාරාන්තික විය හැකි රෝගී තත්ත්වයක්වන අතර, එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් ආසාදනයකට අධික ලෙස ප්‍රතිචාරයක් දක්වන විට පැනනඟින තත්ත්වයකි. මෙමඟින් ශරීරයේ පටක සහ අවයවවලට දැඩි හානි සිදුකළ හැකි අතර, එමඟින් ඒවායේ ක්‍රියාකාරීත්වය අඩපණකළ හැකිය. සෙප්සිස් තත්ත්වයේ ලක්ෂණ මුල් අවධියේ දී ම හඳුනා ගෙන ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීමට අසමත් වූවහොත් එය සිරුරේ රුධිර පීඩනය දැවැන්ත ලෙස පහත දමා මාරාන්තික තත්ත්වයක් උදා කිරීමට පවා ඉඩ තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

සෙප්සිස් රෝගී තත්ත්වයේ මුල් ලක්ෂණ බොහෝ විට උණ, ටැකිකාඩියා (tachycardia) හෙවත් හෘද ස්පන්දන වේගය ඉහළ යාම, ටැකිනියා (tachypnoea) හෙවත් හුස්ම ගැනීම වේගවත් වීම, සහ මානසික ව්‍යාකූලත්වය වැනි මානසික තත්ත්වයන් පෙන්නුම් කරයි.

ඒ අනුව, මුල් අවධියේ දී ම ආසාදනය පාලනය කිරීම සඳහා ඵලදායී වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ.  

මූලාශ්‍ර:

https://www.who.int/news-room/fact-sheets/detail/sepsis
https://www.bbc.com/news/articles/cq55werre08o

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...