සටහන – රුවන් නෙළුගොල්ල
මැතිවරණ වේදිකාවලදී පැවසූ ආකාරයටම තමන්ගේ මිත්රයින් සිව්දෙනෙක් ඇමරිකානු ඩොලර් මිලියන එකක් නොව 23ක මුදලක් ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලබාදීමට සූදානම් වූ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ඒ මුදල් ශ්‍රී ලංකාවට ලබාගැනීමට නොහැකි වූ බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට ඉහළම දායකත්වයක් සැපයූ කලාකරුවකු වන සංගීත් විජේසූරිය මහතා පවසයි.
ප්රශ්නය – මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ විවේචන එනකොට ඔබේ අර වොයිස්කට් එකක් එනවා, රට ඉන්න ඔබේ මිත්‍රයා ගැන. ඩොලර් මිලියනයක් දෙනවා කියපු මිත්‍රයා ගැන. ගොඩක් වෙලාවට අහන දෙයක් තමයි ඩොලර් මිලියනයක් දුන්න සංගීත්ගෙ යාළුවා කෝ ?
“ඒ ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු අහන දෙයක් නෙවෙයිනෙ … “
ප්රශ්නය – මොකක්ද ඇත්තටම ඒ වුණේ ? ඩොලර් මිලියනය දුන්නාද ? ආණ්ඩුව ආවාට පස්සෙ ඒක දෙන්න උත්සාහ කළාද ?
“මේක හැමතැනම මං කියලා තියෙන දෙයක්, ඔයාටත් කියන්නම්. ඒ මගේ යාළුවා, එයාත් ඇවිල්ලා ඕක කිව්වා තැන් තැන්වල, මට අර ගහන්න ඕනෙ හින්දා ගහනවා මිසක්. මෙන්න මේකයි ඇත්ත කතාව. මගේ යාළුවාගෙ නම නිශාන්ත. එයා ඉංග්ලන්ඩ් ඉන්නෙ. එයා UK වලටයි USA වලටයි ඩොක්ටර්ස්ලාගෙ ඔය ඇඳුම, ඒ ටික මහන්නෙ එයා. එයා කියන්නෙ එයාගෙ ඉන්නවා සේවකයො ගොඩක්. සිංගප්පූරුවෙ ෆැක්ට්‍රි එක් තියෙනවා මං හිතන්නෙ මෙහෙත් තියෙනවා. එයා කිව්වා සංගීත්, මේ රටම කාලා තියෙන්නෙ. මේක වෙනස් කරගන්න මේ අනුරලාට තමයි පුළුවන්. අපි ඒ මිනිස්සුන්ට උදව් කරමුකො, මං සල්ලිවලින් උදව් කරන්නම් කියලා. මං කිව්වා නියමයිනෙ. ඇත්තටම දැන් මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරන්නෙ මේ පක්ෂයට. මේක ගේන්න. මිනිස්සු හරි ආදරෙයිනෙ මේ මනුස්සයාට, අනුරට. දැන් ජනාධිපති. ඒ කාලෙ මිනිස්සු ආදරෙයිනෙ එයාට. අපිත් ආදරෙයිනෙ. විශ්වාසයක්නෙ ඕක තියෙන්නෙ. සහ එයාගෙ චර්යාව අනුව අපි හිතනවා මේ මිනිහා හොරෙක් නෙවෙයි, හොරකම් කරන්නෙ නැතිවෙයි, ඒ හින්දා අපි මේ මිනිහාව තමයි ගේන්න ඕනෙ කියලා එහෙමනෙ අපි එන්නෙ. එතකොට අරයා මට කතා කරපුවාම මං සහෝදරයා, මෙහෙමයි කියලා, හා එන්න කියලා එයා අවස්ථාවක් දෙනවානෙ, ඒ ගියාම එතකොට එයා ජනාධිපති වෙලා නැහැනෙ, ඒ ගියාම මං විස්තරේ කියනවා. මෙහෙමයි, මේක දිනන්න ඕනෙ, මේ අපිට වියදම් කරන්න මෙයා – ඩොලර් මිලියනයක් කියන්නෙ කීයක්ද ? ඒ කාලෙ කෝටි 30යි. අරයා හොඳට අහන් ඉඳලා කිව්වෙ සංගීත් ගොඩක් ස්තූතියි, මට එහෙම සල්ලි ගන්නෙ නෑ මම. අපේ පක්ෂයට ඕනෙත් නෑ. දැන් ඒවාට අපි ප්ලෑන් කරලා ඉවරයි. අපි දිනපුවාම – එතකොට දිනලා නෑ හොඳේ – අපිට වැඩපිළිවෙලක් තියෙනවා පිටරට සල්ලි, ඒ කියන්නෙ පිටරට ආයෝජකයෝ ගෙනල්ලා ඒ සල්ලි ගේන්න, ඒ වෙලාවට ඔයා භාණ්ඩාගාරයට ගේන්න ඔය සල්ලි කියලා කිව්වා.
අපිත් බැලුවා, ඇත්තටම මගේ ඇස්වලට කඳුළුත් ආවා. මොකද මම අහලා තියෙනවා කලින් ජනාධිපතිවරු ඔය වගේ එද්දී සල්ලි ගත්තු විදිහ, කොමිෂන් ගත්ත විදිහ, පිටරටවල්වලින් සල්ලි ගත්ත විදිහ. ඕවා සේරම මම අහලා තියෙද්දී මේ මනුස්සයා අරහෙම කිව්වෙ. එතෙන්දීත් මම හිතාගත්තා මං මේ මනුස්සයාට උදව් කරනවාමයි කියලා. ඔය වෙච්චි සිද්ධිය මම වේදිකාවෙ කිව්වා. එයාව ළඟ තියන් කිව්වෙ, මේ මනුස්සයා ඒ සල්ලි ටික ගත්තෙත් නැති හොඳ මනුස්සයෙක් කියලානෙ මං කිව්වෙ. ඉතින් මං බොරුවක් නෙවෙයිනෙ කිව්වෙ. මිනිස්සුන්ව මං ඇන්දෙව්වෙ නෑනෙ ? ඒක අල්ලං තමයි මට ගහන්නෙ”
ප්රශ්නය – ආණ්ඩුව දිනුවාට පස්සෙ සල්ලි ආවාද ?
“හොඳ ප්‍රශ්නයක්. ආණ්ඩුව දිනුවාට පස්සෙ එයා ඩොලර් මිලියන් එකක් විතරක් නෙවෙයි, ඩොලර් මිලියන 23ක්, තව තුන් හතර දෙනෙකුත් ලෑස්ති කරගෙන, ආවා ඒක ගැන කතා කරන්න”
ප්රශ්නය – එතකොට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ?
“ඔව්. එයා බාරදුන්නා කවුද මුදල් ඇමති … නම මතක නෑ මට … එයා එක්ක කතා කරන්න කියලා. ඔව්, දුන්නා … එතකොට එයා ගාවට ගිහින් ඒ හතර දෙනාම – ඕස්ට්‍රේලියාවෙන් දෙන්නයි, මගේ යාළුවා UK එක්කෙනායි, එයාගෙ යාළුවායි – ඔහොම ඇවිල්ලා ඩොලර් මිලියන 23ක්. එතකොට මොකක්ද නීතිය, IMF එකෙන් බෑ එහෙම ගෙනල්ලා ඩොලර් මෙහෙට දාන්න. ඒක තමයි නීතිය. IMF එකට යටත්නෙ අපි”
ප්රශ්නය – ඒ කියන්නෙ ඒගොල්ලො එන්නෙ ආයෝජනයක් හැටියට නෙවෙයි ආධාරයක් හැටියට දෙන්න ?
“ඔව්. ඒගොල්ලන්ට ආයෝජන මෙහ කරන්න අවශ්‍ය නෑනෙ ….”
ප්රශ්නය – මේ සපෝට් එකට ? රටට උදව්වට ?
“ඔව්. මොකද එහෙම දේවල් කරන්න බෑ. එහෙනම් ඇත්තටම එහෙම කරනවා නම් අපේ මිනිස්සු … අපේ පිටරට ඉන්න මිනිස්සු මාර ආදරෙයිනෙ අපේ රටට, ඒ මිනිස්සු ඩොලර් ටික එවයි පුළු පුළුවන් විදියට, එහෙම බැලුවොත්, එහෙම ක්‍රමයක් තියෙනවා නම්. මේ රටේ ඩොලර් සංචිත ටික උස්සලා ගන්න. IMF එකට අනුව එහෙම කරන්න බෑ කියලා තමයි කිව්වෙ. ඒක තමයි වුණේ. ඉතින් ඕකට මට ගහනවා. වන් මිලියන් ඩොලර් කෝ කියලා … මට එහෙම ගැහුවාට ඒක ගාණක් නෑ”
සංගීත් විජේසූරිය මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවල් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
කෙසේවෙතත් කිසියම් රටකදී නීත්‍යානුකූලව උපයන ලද ඕනෑම මුදලක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට එවන් කිසිදු බාධාවක් නොමැති අතර වත්මන් රජය ආධාර ලබාගැනීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “රීබිල්ඩින් ශ්‍රී ලංකා” යනුවෙන් අරමුදල් දෙකක් ද පිහිටුවා තිබේ.


