*
Sunday, December 8, 2024
spot_img

Latest Posts

මොළයට චිප් එකක් !

ඊලොන් මස්ක්ගේ නියුරෝලින්ක් සමාගම විසින් පෙරේදා (මැයි 25) ට්විටර් හරහා දැනුම් දී ඇති පරිදි ඔවුන්ට මිනිසුන් යොදාගෙන පර්යේෂණ කිරීම සඳහා ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ (FDA) අනුමැතිය ලැබී තිබෙනවා. මුල් ට්විටර් පණිවිඩයෙහි මේ පිළිබඳ මීට වඩා වැඩිමනත් විස්තරයක් සඳහන්ව නැතත්, ලෝකයේ ප්‍රධාන ජනමාධ්‍ය ගණනාවක් විසින් ප්‍රමුඛ ප්‍රවෘත්තියක් සේ වාර්තා කරමින් විස්තර ඇති පරිදි මෙම අනුමැතිය ලැබී තිබෙන්නේ මිනිස් මොළයට විද්‍යුත් පරිපථයක් සම්බන්ධ කර ඒ හරහා පරිගණයකයක් මගින් මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමේ සහ මිනිස් මොළය ජාලගත කිරීමේ ක්‍රියාවලියක මුල් අදියරකටයි. මේ ක්‍රමයෙන් අන්ධයන්ට පෙනීම ලබා දීම, කොරුන් ඇවිදවීම මෙන්ම දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම වැනි දේ කිරීමේ ශක්‍යතාවයක් තිබෙනවා.

ජනමාධ්‍ය වලින් මෙවැනි පුවත් වලට මුල් තැනක් දෙන්නේ මෙතෙක් මිනිස් මොළයේ උදවුවෙන් පමණක් කළ හැකි වූ ක්‍රියාකාරකම් ගණනාවක් ස්වයංකරණය කිරීමේ හැකියාව වේගයෙන් වැඩිදියුණු වෙමින් තිබෙන හා ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති වෙමින් තිබෙන පසුබිමකයි. මෙම “විප්ලවය” සාමාන්‍ය මිනිසුන්ට එකවර ඇඟට දැනෙන්න පටන් ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිදි චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟයි.

අධ්‍යාපන ආයතන වලට චැට්ජීපීටී දැනටමත් විශාල අභියෝගයක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපන ආයතනයක් විසින් (හැම රටකම නොවේ!) රචනා චෞරත්වයට (plagiarism) එරෙහිව දැඩි ස්ථාවරයක සිටිනවා. මෙය කොයි තරම් බරපතල වරදක්ද යන්න පිළිබඳව ඇමරිකානු සිසුවෙකුටනම් කුඩා කාලයේ සිටම පුහුණුවක් ලැබෙනවා. ඒ නිසා, ඔවුන් සාමාන්‍යයෙන් මෙම වරදට පෙළඹෙන්නේ නැහැ. එහෙත් එම පුහුණුව නොමැති, වෙනත් රටවලින් ඇමරිකාවට අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණෙන සිසුන් විසින් බොහෝ විට රචනා චෞරත්වය සිදු කරන්නේ මෙම වරදෙහි බරපතලකම තබා අඩු වශයෙන් තමන් මෙවැනි වරදක් කරන බව හෝ නොදැනයි. එක්තරා දුරකට මෙය සංස්කෘතික ප්‍රශ්නයක්.

චැට්ජීපීටී යුගයට කලින්ම අන්තර්ජාලය තොරතුරු වලින් පිරී ගියා. ගූගල් සෙවුමක දුරින් ඕනෑ තරම් දේ තිබුණු නිසා රචනා චෞරත්වයටද විශාල අවකාශයක් විවර වුනත් එවැනි ක්‍රියාකාරකම් පහසුවෙන්ම හඳුනාගත හැකි මෘදුකාංගද සමාන්තරව දියුණු වීම නිසා යම් අයෙකුට තමන් නොදැන හෝ මේ බරපතල වරද කර ඇත්නම් ඒ බව කලින් හඳුනා ගැනීමේ මාර්ග විවෘත වුනා. එමෙන්ම අවශ්‍ය අයෙකුට මේ වරද කරන්නන් අපහසුවකින් තොරව හඳුනාගත හැකි වුනා.

චැට්ජීපීටී ප්‍රචලිත වීමත් සමඟ මේ තත්ත්වයෙහි වෙනසක් වී තිබෙනවා. එකම ප්‍රශ්නයට වුවත් එයින් දෙවරකදී එකම පිළිතුර නොලැබෙන නිසා මේ හරහා සිදු විය හැකි රචනා චෞරත්වය හඳුනා ගැනීම පහසු නැහැ. පැහැදිලි සැකයක් ඇති වුවත් ඒ බව තහවුරු කර ගැනීමේ හැකියාවක් නැහැ. මෙය අධ්‍යාපන ආයතන වලට අභියෝගයක්.

කෙසේ වුවත්, ඇමරිකාවේ අධ්‍යාපන ආයතන මෙම අලුත් තත්ත්වය හඳුනා ගනිමින් අනුවර්තය වෙමින් සිටිනවා. තාක්ෂනය වැඩි දියුණුවීම හා ප්‍රචලිත වීම නොවැලැක්විය හැකි අතර එසේ කළ යුතුද නැහැ. සිදුවිය යුත්තේ පවත්නා ආයතන හැකි ඉක්මණින් අලුත් තාක්ෂනය වැළඳගෙන අවශ්‍ය පරිදි අනුවර්තනය වීමයි. එසේ නොකරන ආයතනයකට වෙළඳපොළ තුළ පැවැත්මක් නැහැ. බොහෝ අධ්‍යාපන ආයතන වල ප්‍රවේශය වී තිබෙන්නේ සිසුන් මෙවැනි අලුත් මෙවලම් භාවිතයට ගැනීම දිරිමත් කරමින් හා ප්‍රවර්ධනය කරමින් එවැනි මෙවලම් පුද්ගල සංවර්ධනය පිණිස වඩා ඵලදායී ලෙස යොදා ගත හැකි ආකාරය පිලිබඳව මාර්ගෝපදේශනය කිරීමයි.

චැට්ජීපීටී යනු වේගයෙන් සිදුවෙමින් තිබෙන ස්වයංකරණ විප්ලවයක එක් කුඩා කොටසක් පමණයි. මීට පෙර මිනිසුන්ගේ කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය යොදා ගෙන ඉටු කළ බොහෝ දේ මේ වන විට යන්ත්‍ර විසින් සිදු කරමින් සිටිනවා. බොහෝ දේවල් තවමත් මිනිසුන් අතින් සිදු වන්නේ තාක්ෂනය නැතිකමට වඩා ශ්‍රමය තව දුරටත් ලාබදායී නිසයි. යාන්ත්‍රික ශ්‍රමයේ පිරිවැය මිනිස් ශ්‍රමයේ (කායික මෙන්ම මානසික) පිරිවැය ඉක්මවා ගිය වහාම තත්ත්වය වෙනස් වෙනවා. මෙය නොවැලැක්විය හැකි පරිවර්තනයක්.

මේ තාක්ෂනික පරිවර්තනය එකවර වේගවත් වීම සඳහා බලපා තිබෙන දේශපාලනික සාධකයක්ද තිබෙනවා. ඒ ලෝකය පුරා හමා ගිය ජාතිකවාදී රැල්ලයි. මෙයම වෙනත් අයුරකින් කිවහොත් මේ පරිවර්තනය මෙතෙක් ප්‍රමාද කරනු ලැබූයේ කාලයක් තිස්සේ ලෝකය පුරා හමා ගිය ජාත්‍යන්තරවාදී රැල්ලයි.

යම් හෙයකින් ඇමරිකාව වැනි දියුණු, විශාල රටක්, එහෙමත් නැත්නම් සියලුම බටහිර සංවර්ධිත රටවල් ඇතුළත් “සංවර්ධිත කලාපය” සෙසු ලෝකයෙන් වෙන් වී තමන්ගේ ආර්ථිකයන් සංවෘතව පවත්නා ගත්තේනම් මීට බොහෝ කලකට පෙර ශ්‍රමයේ පිරිවැය අවශ්‍ය තීරණාත්මක සීමාව පසු කර ගොස් මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර ආදේශ වෙනවා. එහෙත්, මෙම සංවර්ධිත කලාපයට බාහිරව වූ ලෝකයෙන් දිගින් දිගටම සෘජුව හෝ වක්‍රව ලාබ ශ්‍රමය පොම්ප වූ නිසා, ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට සාපේක්ෂව, ස්වයංකරණය වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජන සිදුවුනේ අඩු වේගයකින්.

උදාහරණයක් විදිහට ලංකාව වැනි රටවල ඇඟලුම් කම්හල් හරහා ඇඳුම් නිපදවා ගැනීමේ විකල්පය ඇමරිකාව සතු නොවූයේනම් ඇමරිකානුවන් ඇඳුම් නොඇඳ ඉන්නේ නැහැ. එසේනම් ඒ ඇඳුම් ඇමරිකාව තුළම නිපදවෙනවා. නමුත් මෙහිදී ලංකාව වැනි රටකින් ලබා ගන්නා තරම් අඩුවට ශ්‍රමය මිල දී ගැනීමට හැකි නොවන නිසා පිරිවැය ඉහළ යනවා. එයින් සිදුවන්නේ ස්වයංකරණය දිරිගැන්වීමයි. අවසාන වශයෙන් ඇමරිකන් ශ්‍රමිකයා මේ කර්මාන්තයෙන් ඉවත් වන නමුත් එවැනි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයකදී ඇමරිකන් ශ්‍රමිකයා වෙනුවට වෙනත් රටක ශ්‍රමිකයෙකු ආදේශ වන්නේ නැහැ. ඒ තැන ගන්නේ යන්ත්‍රයක් විසින්.

ජාත්‍යන්තරකරණය තුළ ඉහත ස්වයංකරණ ක්‍රියාවලියේ වේගය සීමා වුනත්, තවත් තීරණාත්මක සීමාවකින් පසුව ස්වයංකරණයට ජාත්‍යන්තරකරණ අභියෝගය නොසලකා හැරිය හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙය සංස්කෘතීන් අතර ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන සීමාවක්.

වත්මන් ලෝකයේ සංවර්ධනය සේ හඳුනාගන්නා දේවල් බොහොමයක තිඹිරිගෙය බටහිර සංස්කෘතියයි. මෙය බටහිර සංස්කෘතික ආධිපත්‍යයක් සේ යම් අයෙකුට විස්තර කළ හැකි වුවත්, එවැනි ආධිපත්‍යයක් ඇත්නම් එය ඇති වී තිබෙන්නේ පරිණාමික තරඟය ජයගැනීම තුළයි. මෙම ප්‍රමුඛ සංස්කෘතිය නියෝජනය කරන රටවලට මෙහි නිසග වාසිය ලැබෙන අතර එම සංස්කෘතිය හා අනුගත වන තරමට වෙනත් රටවලටද එම වාසිය වඩා වැඩියෙන් ලැබෙනවා.

මෙයම වෙනත් විදිහකින් කිවුවොත්, සංවර්ධනය හඹා යද්දී තමන්ගේ සංස්කෘතියේ තිබෙන එයට උපකාරී නොවන අංග අතහැර දමන්නට බටහිර නොවන රටකට සිදු වෙනවා. එසේ නැත්නම්, පරිණාමික වාසියක් නොමැති එවැනි අංග තවදුරටත් පවත්වා ගැනීම වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. වේගයෙන් ස්වයංකරණය සිදුවන වත්මන් යුගයේදී මෙසේ ගෙවන්නට සිදුවන මිල විශාල මිලක්.

ජාත්‍යන්තරකරණ රැල්ල ආපසු හැරවුණේ ඔය පරිවර්තනය ඔය ආකාරයෙන් සිදු නොවූ නිසයි. බොහෝ දෙනෙක් තමන්ගේ සංස්කෘතියේ අංග වෙනස් වනු දැකීමට දක්වන ප්‍රතිරෝධය විසින් අවසාන වශයෙන් සිදුවන්නේ ප්‍රමුඛ සංස්කෘතිය හා අනෙකුත් සංස්කෘතීන් අතර ආදායම් පරතරය පුළුල් කිරීමයි. ස්වයංකරණ පෙරහැර එද්දී යම් අවස්ථාවක මේ පරතරය වේගයෙන් ඉහළ ගොස් සංවර්ධිත රටවල් හා අනෙකුත් රටවල් අතර කවදාවත් නොතිබුණු ආකාරයේ උස තාප්පයක් හැදෙන්න පුළුවන්.

එක උදාහරණයක් විදිහට ඇමරිකාවේ කෘෂිකර්මය ගත්තොත් මහා පරිමාණ වගාබිම් කලකට පෙර සිටම මුළුමනින්ම මෙන් කාර්මීකරණය වී ඇතත් වෙනත් ඇතැම් කෘෂිකාර්මික කටයුතු සඳහා තව දුරටත් මිනිස් ශ්‍රමය අවශ්‍ය වුනා. මෙම ශ්‍රමයෙන් සැලකිය යුතු කොටසක් සංක්‍රමණිකයින් විසින් සැපයූවා. ලංකාවේ සන්දර්භයෙන් උදාහරණයක් ගත්තොත්, තේ දළු කැඩීම සඳහා යොදවන මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ කිරීම අපහසු නැහැ. නමුත්, යාන්ත්‍රික ශ්‍රමය යොදාගෙන ගහක අඹ කඩන එක ඒ තරම් පහසු නැහැ. අමු අඹ ඉතිරි කර ඉදුණු අඹ පමණක් කඩන එක යන්ත්‍රයකට පහසුවෙන් කළ නොහැකි දෙයක්. එහෙත් දැන් මේ වගේ සංකීර්ණ කටයුතු පවා තාක්ෂනය යොදාගෙන කළ හැකියි. කැමරා මගින් ගහේ ඇපල් ගෙඩියෙන් ගෙඩිය නිරීක්ෂණය කර අවශ්‍ය පමණ පැසුණු ඇපල් ගෙඩි පමණක් කඩා එකතු කර ගැනීම සඳහා ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගත හැකියි.

අනෙක් අතින් මෙතෙක් වෘත්තිකයින් විසින් කළ කටයුතු බොහොමයක් ඉතා ඉක්මණින් කෘතීම බුද්ධි යන්ත්‍ර විසින් අත්පත් කර ගැනීමට නියමිතයි. එහිදී පහළ යන ශ්‍රම අවශ්‍යතාවය හේතුවෙන් මුලින්ම සිදු වනු ඇත්තේ සංවර්ධිත ලෝකය හා බාහිර ලෝකය අතර තාප්පය තවත් උස් වී සංක්‍රමණයට තිබෙන ඉඩප්‍රස්තා සීමා වීමයි.

ස්වයංකරණය නිසා මිනිස්සුන්ට රස්සා නැති වෙයිද?

රස්සා නැති වෙනවානම් එහි බලපෑම වැඩියෙන්ම දැනෙනු ඇත්තේ සංවර්ධිත ලෝකයට පිටත රටවලටයි. මොකද වැඩි වැඩියෙන් ස්වයංකරණය වෙනවා කියන්නේ රට ඇතුළේ තිබෙන ශ්‍රමය ප්‍රමාණවත් වෙනවා කියන එක. ඒ නිසා රටක් ස්වයංකරණය වී ගෙන යද්දී වැඩි වශයෙන් ප්‍රතිස්ථාපනය වෙන්නේ රටට පිටින් ලබා ගන්නා ශ්‍රමය වීමටයි වැඩි ඉඩක් තිබෙන්නේ.

හැබැයි ඔය විදිහට රටට පිටින් ලබා ගන්නා ශ්‍රමය ප්‍රතිස්ථාපනය කළත් යම් වෙලාවට රට ඇතුළේ තිබෙන ශ්‍රමය වුනත් අවශ්‍ය නැති වෙලා ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නයට රටකට මුහුණ දෙන්න වෙනවා නේද?

අනිවාර්යයෙන්ම ප්‍රශ්නය මතු වෙනවා. නමුත්, ප්‍රශ්නය මතු වෙන්නේ ප්‍රශ්නයට විසඳුම්ද එක්ක. විසඳුම ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබෙනවා. අවසාන වශයෙන් කොයි පැත්තට යනවද කියන එක තීරණය කරන්නේ දේශපාලනය.

සරල පැහැදිලි කිරීමක් විදිහට ස්වයංකරණයේ අනාගතය කියා කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලම මෙන් යන්ත්‍ර මගින් හදන තත්ත්වයක්. ඒ නිසා, මිනිස් ශ්‍රමය අවශ්‍ය නැතුව යනවා. හැබැයි යන්ත්‍ර විසින් භාණ්ඩ හා සේවා කොයි තරම් හැදුවත් ඒ භාණ්ඩ හා සේවා වලට වටිනාකම් දෙන්නේ මිනිස්සු. වටිනාකම ලැබෙන්නේ එම භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේදී. මිනිස්සු භාණ්ඩ හා සේවා මිල දී ගන්නනම් මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕනෑ. මිනිස්සු අතේ සල්ලි නැත්නම් භාණ්ඩ හා සේවා වල වටිනාකමක් නැතිව යනවා. වටිනාකමක් නැත්නම් හදන එකේ තේරුමක් නැහැ.

දැන් ප්‍රශ්නය යන්ත්‍ර මගින් හදන භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද කියන එක. එක ක්‍රමයක්නම් හැමෝම වගේ ප්‍රාග්ධනයේ අයිතිකරුවන් වීම. යන විදිහට එහෙම දෙයක් වෙන්න ඉඩකඩ අඩුයි. හැමෝම ප්‍රාග්ධනයේ අයිතිකරුවන් විය හැකි වුවත් ප්‍රාග්ධනය සමානව බෙදී යාමේ ඉඩක් නැහැ. ඒ නිසා, වැඩි ප්‍රාග්ධනයක් තිබෙන පිරිස “ලොක්කෝ” වෙන එක වලක්වන්න බැහැ. හැබැයි ඒ වගේ ක්‍රමයක් පවතින්නනම් ඔය “ලොක්කෝ” ටික තමන්ගේ ආදායමෙන් කොටසක් අනෙක් අයටත් බෙදලා දෙන්න වෙනවා. විශ්වීය මූලික ආදායම් සංකල්පය (UPI) වගේ දේවල් වලින් වෙන්නේ ඔය වගේ දෙයක්. ඔය ක්‍රමයට ගියොත්නම් යම් පිරිසක් වහල්ලු තමයි.

ඕක වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයකුත් තිබෙනවා. භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ කාලය ඉතිරි වෙනවා කියන එක. මේ ඉතිරි වන කාලය යොදවන්නේ මොන වගේ දේවල් වලටද?

කාලය ඉතුරු වන තරමට මිනිස්සු තමන් සතුටු වන දේවල් වෙනුවෙන් ඒ කාලය යොදවනවා. ක්‍රීඩා කරන්න, චිත්‍රපට නාට්‍ය බලන්න, සිංදු අහන්න වගේ දේවල්. තව අවන්හලකට ගිහින් කාලා බීලා සතුටු වෙන්න. වැඩි වැඩියෙන් කාලය ඉතුරු වෙනවා කියන්නේ ඔය වගේ දේවල් වලට ඉල්ලුම විශාල ලෙස වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ අනෙක් මිනිසුන් සතුටු වන දේවල් කරලා සල්ලි හොයන්න ඕනෑ තරම් අවස්ථා තිබෙනවා කියන එකයි. “ලොක්කෝ” ටිකක් එකතු වෙලා “පොඩ්ඩන්ට” නිකම් සල්ලි බෙදුවොත් නොවිය හැකි වුනත්, එහෙම සල්ලි නිකම් ලැබෙන්නේ නැත්නම් මිනිස්සුන්ට සල්ලි හොයන්න මොනවා හෝ කරන්න වෙනවා. යන්ත්‍ර වලින් හැදුවත් භාණ්ඩ හා සේවා වලට වටිනාකමක් දෙන්නේ මිනිසුන්ම නිසා අවසාන වශයෙන් වෙන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මිනිස් ශ්‍රමයේ මිල ඉහළ යන එක.

විනෝදාස්වාද කටයුතු හා අදාළ නිෂ්පාදන වගේ දේවල් වුනත් මිනිස් ශ්‍රමය නැතුව යන්ත්‍ර වලින්ම කරන්න පුළුවන් වෙයි. නමුත් මිනිස් ශ්‍රමය යොදාගෙන කරන දේවල් වලට වෙනම ප්‍රීමියම් මාකට් එකක් හැදෙයි. නිකම් බිත්තර වලට වඩා ඕගනික් බිත්තර මිල වැඩියි වගේ. උදාහරණයක් විදිහට මිනිස් වේටර්ලා ඉන්න අවන්හලකින් කෑම ගන්න එක මිල අධික, සුඛෝපභෝගී දෙයක් වෙන්න පුළුවන්. එතකොට කවුරු හෝ කියන්න පුළුවන් “අපේ දහවෙනි විවාහ සංවත්සරයට අපි මිනිස් වේටර්ලා ඉන්න අවන්හලකට ගිහිං මිනිස් කෝකියෝ හදපු කෑම වේලක් කමු!” වගේ කතාවක්.

ඔය විදිහට ශ්‍රම වෙළඳපොළ නැවත සකස් විය හැකි නිසා ශ්‍රමය පමණක් තිබෙන කෙනෙකුට වුවත් මහන්සි වෙලා උඩට ගිහින් ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමේ අවස්ථාව තවදුරටත් ඉතිරි වෙයි. නමුත්, විශ්වීය මූලික ආදායම් ක්‍රමය වගේ දේවල් පුළුල් වන තරමට ඕකේ අනෙක් පැත්ත වීමේ අවදානම ඉහළ යනවා. ප්‍රායෝගිකව සිදු විය හැක්කේ, දැන් වගේම, ඔය අන්ත දෙකේ අතරමැදි තත්ත්වයක්.

පසුගිය සතියේ (මැයි 16) ඇමරිකාවේ සිදු වුනු තවත් වැදගත් දෙයක්නම් සෙනෙට් කමිටුවක් විසින් කෘතීම බුද්ධි ක්‍රියාකාරකම් නියාමනය කිරීම පිළිබඳව මෙහි නියැලෙන ප්‍රධාන සමාගම් වලින් අදහස් විමසීමයි. මේ හා අදාළ නීති මාලාවක් මේ වෙද්දීත් හැදෙමින් තිබෙනවා. මෙම අවස්ථාවේදී චැට්ජීපීටී හඳුවාදුන් ඕපන්ඒඅයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් පළ කළ අදහස තරමක් අනපේක්ෂිත එකක්. ඔහු විසින් ඉල්ලා සිටියේ සිදුවිය හැකි වැරදි වලක්වා ගැනීම සඳහා රජය විසින් කෘතීම බුද්ධි ක්‍රියාකාරකම් නියාමනය කළ යුතු බවයි. කෘතීම බුද්ධිය භාවිතය වර්ධනය වීම මෙන්ම ඒ හරහා රාජ්‍ය මැදිහත්වීම් ඉහළ යාමද පැහැදිලිව පෙනෙන්නට තිබෙන ප්‍රවණතාවක්.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan