උපාලි කොළඹගේ
කොළඹ LNW:මේ මොහොතේ රටට ශක්තිමත් ආණ්ඩුවක් ලැබී තිබේ. වැඩ මදි කියන එක වෙනම කතාවක්. නමුත් ආණ්ඩුව ශක්තිමත්. සිටින් කියනකොට හිට ගන්න ඉඳින් කියන කොටවාඩිවෙන මන්ත්‍රී ළමයි 159 ක් ද ඔවුන් සතුය.
ඒක නොවෙයි කාරණාව. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් තියෙන රටක ශක්තිමත් විපක්ෂයක් තිබෙනවාද යන්නය ප්රශ්නය. කිසියම් දවසක මාලිමා ආණ්ඩුව වෙනුවට කැත නැතුව රට භාර දෙන්න පුළුවන් ශක්තිමත් පක්ෂයක් හෝ කණ්ඩායමක් විපක්ෂය තුළ සිටිත්ද යන්නය රට මුහුුණ සිටින බරපතළම අභියෝගය. මෙය අද හෙට හෝ අනිද්දා අවශ්‍ය වන්නේ නැත. සමහර විටක තව වසර පහකින් වියහැක. නැත්නම් ඊටත් එහා කාල වකවානුවක විය හැක.
නමුත් කෙනකු තර්ක කළ හැකියි මේ අය හොඳට වෙන කණ්ඩායමක් මොකටද කියා. එය තර්කයක් හැටියට සාර්ථක විය හැකියි. නමුත් යථාර්ථය ඊට වෙනස්ය. මොන තරම් හොඳින් ආණ්ඩු කළත් එසේ නොකළත් කිසියම් කාල පරාසයකදී අලුත් ආණ්ඩුවක් පිළිබඳ නැවුම් බලාපොරොත්තු ජනතා සිත් සතන් තුළ මෝදුවන බවය යථාර්ථය. මෙය නියතයක් නූනත් බොහෝ සෙයින් සිදුවය හැක්කකි.
විශේෂයෙන් ඇතැම් ඇමතිවරුන්ගේ මොළේ ඇති කතා හා වැඩ කිඩ නිසාවෙන් මෙම තත්ත්වය අනාගතයේ තවත් උග්‍රවිය හැකි රෝග ලක්ෂණ දැනටමත් පහළ වී තිබේ. එක බාග ඇමතියකු පසුගියදා කීවේ රේල්ලු සති දෙකක් නවතා හෝ දුම්රිය දෙපාර්තමේන්තුව හදන බවය. වැඩේ හොඳය. අහං ඉන්ඩ නම් හරි ආසික් කතාවකි. ඒත් කොරන්ඩ පුළුවන් ද?
දුම්රිය රියැදුරන් හාරසිය ගණනක් සිටිය යුතු තැන ඉන්නේ දෙසිය ගණනක් නම් තව මොන කතාද? මෙවැනි කතා දුසිම් ගණනකි.
කොහොම වුණත් විපක්ෂයේ තත්ත්වය ආණ්ඩුව ට සාපේක්ෂව ඉතා දුබලය. ඇත්තටම සුන්බුන් ගොඩකි. හරියට පංචිකාවත්තේ පරණ බඩු කඩයක් වගේය. විපක්ෂ නායකවරයා ගේ හැසිරීම් රටාව නිරීක්ෂණයේදී මට හිතන නැගෙනුයේ දහනායක ඒක නායක වූ කතාවය.
එය සැකවින් මෙසේය.
බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූ අවස්ථාවේ අගමැතිකමට පත්වූයේ එවකට සිටි ජේෂ්ඨතම ඇමතිවරයකු වූ ගාල්ලේ විජයානන්ද දහනායක මහතාය. ජනප්‍රිය දේශපාලනඥයකුව සිටි දහනායක මහතා අගමැති වූ පසු සම්පූර්ණයෙන් වෙනස්විය. මහජනතාව අතර ජන අප්‍රිය වූවා පමණක් නොව අගමැතිකමද අනා ගත්තේය. ප්‍රතිථලය වූයේ දවසට එකා දෙන්නා බැගින් ඇමතිවරු අස්කිරීමය.
මෙය ඒ කාලයේ පුවත්පත් වාර්තා කළේ “දහනායක ඒකනායක වේ” යනුවෙනි.
වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම් රටාව සෘජුව මීට සමාන කළ නොහැකි වුණත් ඊට කිසියම් සමානත්වයක් දක්වන බව නම් කිවහැක.
