Sunday, August 14, 2022
spot_img
spot_img

Latest Posts

ජාතිවාදයෙන් මිදී ජාතිකත්වය පාදා දුන් ඉසිවර නුවණ : මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

අධ්‍යතන සිංහල නාට්‍ය සම්ප්‍රදායේ ප්‍රගමනයට අද්විතීය සේවාවක් ඉටු කළ විදග්ධ නාට්‍ය කලාවේ පීතෘවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම දින සැමරුම අද (03) වන දිනට යෙදී තිබේ.

සඟ, වෙද, ගුරු ,ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කරගෙන බලයට පැමිණි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිංහල බස රජ කරවීමේ පරමාර්ථයෙන් 1956 වසරේ දී කරන ලද සිංහල පෙරළිය හෙවත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් කිරීමේ ක්‍රියාදාමය තුළ මිනිසුන් සම්පූර්ණයෙන් ජාතිවාදයට යටවී යාමට තිබු ඉඩ කඩ අහුරාලමින් ජාතිකත්වය වෙනුවෙන් ඔවුන් මෙහෙය වූ පුද්ගලයන් අතර කේන්ද්‍රීයතම සාධකය සරච්චන්ද්‍රයි. ඔහු සිය සමාජ කියවීම මඟින් අත්කර ගන්නා ලද ඥාණනයේ ප්‍රකාශ මාධ්‍ය වූයේ ඔහුගේ කෘතහස්ත නිර්මාණයි. සරච්චන්ද්‍රයන් සිය නිර්මාණ හරහා පාඨක, ශාවක පිරිස ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන්නට නිරන්තරව උත්සුක විය. ඒ අනුව ඔහු පරිවර්ථික සමාජයක යුග පුරුෂයෙකැයි පැවසීම අතිශයෝක්තියක් නොවෙනු ඇත.

1914 ජූනි මස 03 වන දින ගාල්ල රත්ගමදී උපත ලද වැදිතන්තිරිගේ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා හෙවත් එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය මූලික අධ්‍යාපනය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන්, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් නිම කළ අතර ඔහු පාසල් කාලයේදී විද්‍යා විෂයයන් හදාරණු ලැබිය. ඊට අමතරව ඉංග්‍රීසි, ලතින් හා ග්‍රීක භාෂා අධ්‍යනයේද ඔහුගේ විෂය පථයේ විය. 1933 දී කොළඹ යුනිවසිටි කොලීජියට බැඳුණු ඔහු පාලි, සංස්කෘත සහ සිංහල හදාරා, පළමු පෙළ ප්‍රථම පන්ති සාමාර්ථයක්ද සහිතව සිය උපාධිය නිම කරනු ලැබිය. ඉන් අනතුරුව ලංකා සිවිල් සේවා විභාගයට පෙනී ඉන්නට ඔහු දිවයිනේ ප්‍රථම සිථානය හිමිකර ගනු ලැබීය.

අධ්‍යාපනය නිමකළ සරච්චන්ද්‍ර ටික කලකින් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු අතර පසුව 1939 දී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ විය. ටික කලකින් ”සංගීතය හා භාරතීය දර්ශනය” හැදෑරීමේ නොතිත් ආශාව හේතුවෙන් ම ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ඇතුලත් විය. ඔහුගේ ශාස්ත්‍රීය හා පර්යේෂණ ජීවිතය ඇරඹෙන්නේ මේත් සමඟය. ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය නිම කර සිය රටට පැමිණි සරච්චන්ද්‍ර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරයෙකු වශයෙන් සේවයට එක් විය. අනතුරුව කලක් සිංහල ශබ්දකෝෂයේ උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු කෙටි කාලයකින් ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් හිමි විය. 1949 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත්, දර්ශනපති උපාධියත් නිම කළ සරච්චන්ද්‍රයන් 1952 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පත්වීමක් ලබා ගැනීමට සමත් විය.

භාෂාව, කලාව, සාහිත්‍යය අංශවලට වැඩි නැඹුරුතාවයක් දැක්වූ සරච්චන්ද්‍රයන්ගේ අධ්‍යාපනය සහ පර්යේෂණ කාර්යයන් ද ඒ මඟ යනු ලැබීය.‘Sinhalese Folk Play හෙවත් ‘සිංහල ගැමි නාටකය’ පර්යේෂණ කෘතිය, ඔහුගේ සුවිසල් වෙහෙස මහන්සියක, කැපවීමක ප්‍රතිඵලක් විය.

ඔහු පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් ලත් ආභාෂයත් සමඟ 1954 දී ”බහින කලාව” නමින් සිය ප්‍රථම ස්ව තන්ත්‍ර නාට්‍ය නිර්මාණය කරන්නට විය. ඊට අමතරව ”කපුවා කපෝති, මඟුල් ප්‍රස්ථාව, වළහැඩියා, මැනේජර්, පබාවතී, වෙද හටන, වඳින්න ගිය දේවාලෙ” වැනි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කර සිටි ඔහු රටින් රට යමින් නාට්‍ය කලාව හා බැඳුණු අත්දැකීම් ලැබීමට සමත් විය. ඒ හරහා නව අධ්‍යයන පර්යේෂණ කරන්නට විය.

ඔහු ලංකාවේ ගැමි නාට්‍ය නරඹමින්ද, අභිචාර විධි අධ්‍යනය කරමින්ද, තොවිල්-පවිල්, කංකාරි, ගම්මඩු, පුනාමඩු, දෙවොල්මඩු ආදියෙහි සැරිසරමින් ද නාට්‍ය කලාවක් බිහිකිරීමට සුවිශාල වෙහෙසක් දැරීය. ඔහු නාට්‍ය විචාරකයෙකු වශයෙන් නිරන්තරව සිය දැනුම සමාජගත කිරීමේලා උත්සුක විය. “සිංහල ගැමි නාටකය, නාට්‍ය ගවේෂණ, වෙස් මුහුණුද සැබෑ මුහුණුද”යන ග්‍රන්ථ නාට්‍ය කලාව හැදෑරීමට අතිශයින් වැදැගත් ශාස්ත්‍රීය කරුණු සංග්‍රහ කරනලද කෘතීන් බිහිවුනේ ඹහුගේ පර්යේෂණ කාර්යයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු එක් ශෛලියකට ගැති නොවී විවිධ සම්ප්‍රධායන් අධ්‍යනය කරමින් නව මාවත් දේශීය සම්ප්‍රදායන්ට විවර කළ නිර්මාණවේදියෙකු, පර්යේෂකයෙකු, ශාස්ත්‍රීය දැනුම් ගවේෂකයෙකු විය.

ලෝකධර්ම සහ නාට්‍යධර්ම යන උභය සම්ප්‍රදායටම අයත් නිර්මාණයන් සරච්චන්ද්‍රයන් අතින් නිම විය.

‘1950 දශකය වන විට සරච්චන්ද්‍රයන් සිංහල ගැමි නාට්‍ය සම්ප්‍රදාය ගැන ඉතා විචක්ෂණ අධ්‍යයනයක් කර තිබුණා පමණක් නොවෙයි එය භාරතයේත් ඈත පෙරදිග චීනයේ හා ජපානයේත් පැතිරී ඇති මහා සම්ප්‍රදායක අවශිෂ්ටයන් බවත් පසක් කර ගෙන සිටියා. මා දන්නා තරමින් එබඳු පුළුල් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සමස්ත දකුණු ආසියාවේම පළමු වරට සිදු කළේ සරච්චන්ද්‍රයි.’ – මහාචාර්ය කේ.එන්.ඔි. ධර්මදාස

1952 දී වේදිකා ගතවු “පබාවති”නම් නාට්‍ය දේශීය නාට්‍ය කලාවක් ගොඩනැගීමේ කාර්යයභාරයේ වැදගත් මංසලකුණ විය. ඒ අනුව යමින් නිර්මාණය කරන ලද ” මනමේ ”යනු සැබැවින්ම දේශීය නාට්‍යයේ අත්පොත විය. “ජනකතා, ජනශ්‍රැතිය, බෞද්ධ සාහිත්‍ය”මූලාශ්‍ර ඇසුරෙහි නර්ථනය, ගායනය, පෙරදිග නාට්‍ය කලාවේ සාධනීය අංග උකහාගෙන ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායක් එතුමන් විසින් නිර්මාණය කරන්නට ගත් උත්සහයේ ඵලය ”මනමේ” විය. එහි අග්‍ර ඵලය ”සිංහභාහු නාට්‍ය” බව අවිවාදිතය.

සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට කලා නිර්මාණ පිටුපස ඉතා රසවත් ගැඹුරු පර්යේෂණ ව්‍යායාමයක් දැකිය හැකියි. සැබැවින්ම ”මනමේ”තුළ ඉන්දීය අවශිෂ්ටව පැවති ගුජරාටි, මරාථි, පාර්සි, හින්දි ආදී වූ විවිධ ප්‍රාදේශීය භාෂාවලින් රඟ දැක්වූ නාට්‍යවල මුල් බීජත්, ජපානයේ නෝ කබුකි මෙන්ම චීනයේ බෙයිජිං ඔපෙරාහි උත්තේජනයත්, මෙරට ගැමි නාඩගම් සම්ප්‍රදායේ ද තත් ලක්ෂණයන්හි ආභාශයත්, දක්නට ලැබේ. එමෙන් ම නාඩගම් හෝ ජන නාට්‍ය සම්ප්‍රදායේ සිට නවීන වේදිකා නාට්‍ය ආකෘතිය වෙත මාරු වීම පෙන්වා දෙන ප්‍රථම සිංහල නාට්‍ය වශයෙන් ද හඳුනා ගත හැකිය.

මනමේ හා සිංහභාහු පිළිබඳ කියවීම පහසු නැත. එහි අර්ථයද ගුණයද දැනුම ද සුගුණය.

මනමේ නාට්‍ය නිර්මාණයෙන් ලත් ආභාෂයත් සමඟ 1961 වසරේ දී සිංහභාහු නාට්‍ය රචනා කිරීමත් සමඟ සරච්චන්ද්‍ර නාට්‍ය රචකයෙකු වශයෙන් සිය ගමන අරඹණු ලැබීය. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලේඛනයක් මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්‍රවාදය අනුව,ශ්‍රී ලාංකික අනන්‍යතාවකින් යුත් විදග්ධ හා ජනකාන්ත රංග සම්ප්‍රදායක් ප්‍රතිෂ්ඨාපනය කිරීම උදෙසා සරච්චන්ද්‍රයන් විසින් කරන ලද නිර්මාණාත්මක දුෂ්කර ක්‍රියාවෙහි අග්‍රඵලය වශයෙන් සිංහභාහු දෘෂ්‍යකාව්‍ය ජනගත වේ. දුක, ප්‍රහර්ෂය, උද්යෝගය, බිය සංකාව ආසක්ත බව යනාදී භාව මාත්‍ර සියුම් ව පළ කිරීමෙන් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ රමණියත්වය සෞන්දර්ය ඇසින් දුටු ඔහු භෞතික ලාලසාවන් දෙස උපේක්ෂාවෙන් බලමින් සිංහභාහු නිර්මාණය කිරීමේලා උත්සුකව ඇත.

1957 වසරේ නිෂ්පාදනය කරන ලද ”පේමතෝ ජායතී සෝකෝ ” නාට්‍යද සද්ධර්මාලංකාරයේ එන “ස්වර්ණතිලකා”කතා වස්තුව ඇසුරින් නිර්මිත රමනීය දෘෂ්‍ය කාව්‍යයකි. දේශීය නාට්‍ය සම්ප්‍රදායේ සුජාත ලක්ෂණ ගවේෂණය කරන නිර්මාණකරුවන්ට සරච්චන්ද්‍රයන්ගේ ජනකාන්ත නාට්‍ය සම්ප්‍රදාය විශ්ව කෝෂ බඳුය.

සරච්චන්ද්‍රයන් සිය දෘෂ්‍ය නාට්‍යගත ගීතාවලිය පිළිබඳ වෙනම කතිකාවතක් ඇතිකළ යුතුය. ඒවා එතරම්ම රසවත්ය, මනරම්ය, සාහිත්‍ය ගුණයෙන් සුපෝෂිතය. එතුමන්ගේ භාෂා භාවිතාව සිය ලිවීමේ, කියවීමේ හා අධ්‍යනයේ පරාසයන් පිළිබඳ යම් චිත්‍රයක් අප වෙත ගෙන ඒමට සමත්ය.

අනතුරුව ,1985 ලෝමහංස, 1989 බවකඩතුරාව, 1980 වෙස්සන්තර” ආදී නාට්‍යන්ද සුවිශේෂයෙන්ම වැදගත් නාට්‍ය මංසළකුණුය. සරච්චන්ද්‍රයන් විසිනි සිය දෘෂ්‍යමය නාට්‍යන්හි ආකර්ෂණ්‍ය වෙනුවෙන් නැටුම ගැයුම මෙන්ම සංගීතය යන සාධනීය අංග හරහා ප්‍රේක්ෂක රස භාව පෝෂණය කරමින් ප්‍රේක්ෂඛයා ආනන්දයේ සිට ප්‍රඥාව කරා ගෙන යාමට සමත් විය.

ඔහුගේ ගීත නාට්‍ය අතර 1954 නිර්මිත කදා වළලු 1960 වෙල්ලවැහුම් 1961 ඒකට මට හිනා 1968 මහාසාර ද වැදගත් නිර්මාණ වේ. මීට අමතරව තාත්වික නිර්මාණ අතර 1943 මුදලාලිගේ පෙරළිය 1945 කපුවා කපෝති 1949 හැංගි හොරා 1951 තරුණ ලේකඛයා,සත්ව කරුණාව,බහින කලාව,උත්තර රාම චරිතය 1953 වෙද හටන 1955 වඳින්න ගිය දේවාලේ,වල ඉහගෙන කෑම,නෑදෑයෝ,ගත්කරු පිස්සුව,වට පුලුවේ ගෙවල් බිඳලා, කිරි මුට්ටිය ගඟේ ගියා ආදියද මෙහිලා සඳහන් කළ යුතුය.

වේදිකා ගත දෘෂ්‍ය නාට්‍යට අමතරව එතුමන් විසින් රචිත නවකතා රැසකි. එනම් මළගිය ඇත්තෝ (1959), වල්මත් වී හසරක් නුදුටිමි(1962), මළවුන්ගේ අවුරුදු දා (1965), ලොකු පුතා නොහොත් බන්දුල‍ගේ පුරාවෘත්තය, හෙට එච්චර කලුවර නෑ (1975), විලාසිනී‍යකගේ ප්‍රේමය (1988), ඇඳිරිනීතිය සහ පුරහඳ (1978), පාත්තරය සමඟ (1986), දොළ මත පෙණ කැටි (1987)ශ්‍රී ලාංකීය නවකතා සාහිත්‍යයේ දායාදයන් ය.

මීට අමතරව සරච්චන්ද්‍රයන් අතින් නිම වන ලද කෙටිකතා ද මෙහිලා සඳහන් කරනු වටියි. කාලයාගේ ඇවෑමෙන් (1969), මායං රූපය (1974), රූප සුන්දරී (1984), මිඩිය, ගෘහණිය හා උපාසිකාව (1993),රැජිණක් සහ ගණිකාවක් පිළිබඳ (1970), මිතුරෙකුගේ මරණය (1981) එතුමන්ගේ නිර්මාණ අතර වේ.

මීට අමතරව ගවේෂණ හා සාහිත්‍ය කෘති අතර සාහිත්‍ය විද්‍යාව (1949), සිංහල නවකතා ඉතිහාසය හා විචාරය (1951), කල්පනා ‍ලෝකය (1958), නාට්‍ය ගවේෂණ (1967), සිංහල ගැමි නාටකය (1968), වෙස් මුහුණ ද සැබෑ මුහුණ ද? (1971), නූතන සිංහල ප්‍රබන්ධ (1943), සිංහල නවකතාව (1950), ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍ය (1952), සංජානනය පිළිබඳ බෞද්ධ මනෝ විද්‍යාව (1958) ආදියද මෙහි ලා සඳහන් කරනු වටියි. එමෙන් ම Buddhist Psychology of Perception The Sinhalese novel The sinhalese folk play එතුමන්ගේ ඉංග‍්‍රීසි ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථද ප‍්‍රධාන වේ. ”පිං ඇති සරසවි වරමක් දෙන්නේ” එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි.

එතුමන් විසින් ලාංකීය විශ්වවිද්‍යාල කිහිපයකින්ම ”සාහිත්‍ය සූරී” උපාධියෙන් පිදුම් ලද එතුමා භාරත දේශයෙන් පිරිනමන ”කුමාරන් අශාන්” සම්මානයෙන්ද පිලිපීනයේ ‘රාමෝන් මැග්සෙසේ’ ජාත්‍යන්තර සම්මානයෙන්ද සම්මානිතය.

සිය මළගිය ඇත්තෝ නවකතාවෙහි ”ආවොත් යා යුතුය. නොගොසින් එන්නට බැරිය. මෙලොව ඇත්තේ යාම් සහ ඒම් පමණකි.” යැයි ප්‍රකාශ කළ ශාස්ත්‍රවන්තයෙකු වශයෙන් දර්ශනය, නිර්මාණ සාහිත්‍ය, විචාරය, සංගීතය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි තම නැණ නුවණ මෙහෙයවූ සරච්චන්ද්‍රයන් 1996 අගෝස්තු 16 දින එනම් ඔහුගේ 82වන වියේදී අප අතරින් නික්මිණ. ඒ වන විට ඔහු ශ්‍රී ලාංකීය නාට්‍ය රචකයෙකු, නවකතාකරුවකු, කවියකු, සාහිත්‍ය විචාරකයෙකු, නිබන්ධකයෙකු මෙන්ම සමාජ විවේචකයෙකු වන සරච්චන්ද්‍රයන් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පීඨාධිපති තනතුරද ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති (1974-1977) වශයෙන්ද විවිධ ක්ෂේත්‍ර රැසක ප්‍රචලිතව හිඳිනු ලැබීය. භෞතික වශයෙන් නික්ම ගියද එතුමන් විසින් ශේෂ කරන ලද උත්කෘෂ්ඨ නිර්මාණ සමුදාය චිරාත් කාලයක් යන තෙක් පාඨක, ශ්‍රාවක සහෘදයන් අතර සම්භාවනාවට පාත්‍ර වනු ඇත.

“සරච්චන්ද්‍රයන්ගේ අභාවයත් සමඟ යුගයක් අවසන් විය. වඩාත් සරලව කියනවා නම් බුද්ධිමතුන්ගේ යුගයේ නිමාව විය.” – දයාසේන ගුණසිංහ

  • සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.