*
Monday, May 6, 2024
spot_img

Latest Posts

භාෂාවෙහි වහලකු නොවී භාෂාව වහල් කරගත් ප්‍රේමකීර්ති ද අල්විස් …

ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍ය වංශයේත් විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේත් කුසතලාවන්ගෙන් මහප්‍රාණික වූ ප්‍රේම කීර්තිද අල්විස් නම් නිර්මාණ වේදියාගේ ජන්ම දින සැමරුම අද (03) දිනට යෙදී තිබේ.

1947 ජුනි මස 03 වන දින උපත ලද සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් සිය ප්‍රාථමින අධ්‍යාපනය මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් හා ද්විතීක අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් නිම කරණු ලැබීය. ඔහු පාසලේ සඟරා කිහිපයක සම සංස්කාරක හා සංස්කාරක ධූර ද හොබවා තිබුණි.

ප්‍රේමකීර්ති ද අල්විස් ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ වයස අවුරුදු 10 දී පමණය. ඒ ළමා වැඩසටහන් හරහාය. කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ සරස්වතී මණ්ඩපයේ ගායනයට පැමිණි ඔහු අවසානයේ පිටපත් කියන්නකු වශයෙන් සම්බන්ධ විය. ඔහු 1967 දී සහන නිවේදකයෙකු ලෙස රේඩියෝ සිලෝන් ආයතනයට සම්බන්ධ විය. 1971 දී පමණ ස්ථීර නිවේදක‍යෙකු ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වන ඔහු 1974 දී ස්ථීර වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් ද , 1975 දී ස්ථීර වැඩසටහන් නිෂ්පාදකවරයෙකු බවට ද පත්විය. ඉන්පසු ඔහු “ශනිදා සාදය, සොදුරු සෙවණ, සැරිසර පුවත්’’ ආදී විවිධ වැඩසටහන් මෙහෙයවමින්, “සැරිසර පුවත්’’ ඔස්සේ ශ්‍රාවකයාට වඩාත් සමීප වන්නේ වැඩසටහනකට අසන්නන් සජීවීව සම්බන්ධ කරගැනීම හඳුන්වාදෙමිනි. නව්‍ය අත්දැකීමක් වූ එය බොහෝ පිරිසක් ප්‍රේම් වටා එක්රොක්වීමට ප්‍රමුඛ සාධකයක් වූ බව කිව හැකි ය.

ඔහු ගුවන් විදුලියේ සිය සේවා කාලය තුළ අවස්ථා ගණනාවකදී වැඩ තහනමට ලක් වූවෙකු විය. ඔහුගේ ඉදිරිපත් කිරීමේ හැකියාව මෙන් ම නිර්මාණ කෞෂල්‍ය හේතුවෙන් ජනාදරයට පත් වීම බොහෝ දෙනෙකුට දරාගත නොහැකි කරුණක් විය. 969 සිට 1977 දක්‌වා කාලසීමාව ඇතුළත ගුවන්විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්‌ථා ගණන 12 කි. 1977 සිට 1987 දක්‌වා විවිධ දේශපාලන පළිගැනීම්වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකට ද ලක්‌විණි. වසර දෙකක අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු කිසිදු දඬුවමකින් තොර ව නැවත සේවයට කැඳවූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ රජරටට මාරු කරන ලදී. රජරට දොරෙන් දොර ඇසෙන එක ම ගුවන්විදුලිය බවට රජරට සේවය පත් කරන්නේ ඒ අවධියේ ය . ඔහු සැබැවින් ම ගුවන් විදුලියෙහි සදාතනික මුද්‍රාවකි.

ප්‍රේම කීර්ති ගී පද රචනා කලාවට අවතීර්ණ වන්නේ 1969 වසරේදී ය. ඒ රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි ගයන ‘හද පුද අසුනේ සෙනෙහස මැවුණා’ යන ගීතය රචනා කිරීමත් සමඟය. එම වසරේදීම කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ ‘පරණ කෝට්’ ගීතය ද අතිශයින්ම ජනාදරයට පත් විය. ඉන් ඇරඹෙන ප්‍රේම කීර්ති ගී ගඟුල සුවහසක් රසික සිත් ඔහු වෙත ඇද බැඳ තබැ ගැනීමට සමත් විය.

”මිනිසකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරදී
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී…..”

ආදරය, අනුරාගය, මානවවාදය, හා විවිධ සමාජ කාරණා ඔස්සේ ද හාස්‍ය හා උපහාසය දනවනු පිණිසද ඔහු අතින් ගී ලියවිණ. ඔහු සිය ගීත වෙනුවෙන් අත්දැකීම් එකතු කරණු ලැබුවේ තමා අවට සමාජයෙනි. ඔහුට මහා මානව දයාවකින් යුත් හදවතක් විය. එබැවින ම ඔහුට ආදරය ප්‍රේමය හට ගන්නේ සහේතුකවය. ඔහුගේ සෑම ගී වැලකම ආදරය තැවරී තිබේ.

”දෙ ඇසේ කැවී කැවුණු
ඔබ දැක ගැනීමේ අරමුණ පිළිබඳ ඔහු ලියන්නේ මෙසේය….

“ආදර ගඟුලෙහි, ආදරණීය නේරංජනා, ආදරයේ උල්පත වූ අම්මා, අකුරු සතරකින්, අඳුර බිඳින්නට, අපි හැඟුම්වලට, අවසර නැත මට, බංගලි වළලු, චාරු දේහේ නුරා, දෑවැදි දෙන්නට, දෙව්රම් වෙහෙරේ, දිනෙක රන්සළු පළඳා, දියළුම දිය ඇලි, එදා රෑ, එක මොහොතක්, එක යායේ කකා වැටී, එකම මඟක, ඈත දිලිසෙන, හෙට දවසේ අප දෙදෙනා, හිමින් සැරේ පා නගනා, හිසේ ගිනි ඇවිලෙතේ, කන්ද කෙන්ද, කතරක තනිවී, කවුද ඔබ කවුරුන්දෝ, කෙදිනද කූඩු හදන්නට එන්නේ, ලොව නිසසල වී, මා එක්කලා, මා නිසා ඔබ, මඟ තොටදී, මල් වැහි සීතල මල් වැස්සේ, මේ නගරය, මී කැකුණ කැලේ, මීදුම් වළාවන්, මිහිරැති වසන්ත කාලේ, මිනිසෙකු පිට නැගි අසරුවෙකි, මියුරු කල්පනා, නෙල්ලි කැලේ, රැලකින් තනි වී, රන් මීවිත පුරවා, රන් සමනළයෝ, රටකින් එහා, රතු ගුරු පාරේ, රැයක් උපද්දා, සාගරය පරදා, සමනල රෑනක්, සමනලයා මල හා ළමයා සේ, සඳ කැන් වැසිලා, සඳ මිදුලට එනවා, සැන්දෑ යාමේ, සඳට අහස, සන්තෝෂ වෙන්න, සරතැස නිවා, සිතින් මා නොසැලී, සිතුම් පැතුම් සඳ ආදරේ, තනි තරුවේ, තරු අත් අකුරින්, තැටිය මැද්දෙ, විශාඛාව ඔබ’’ ආදී ගීත 1700කට ආසන්න සංඛ්‍යාවක් ඔහු අතින් ලියවී ඇත.

”පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා.
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා
පුංචි දුවෙක් ඉස්කෝලෙට එක්කං එනවා
හිත ඇතුළේ මමත් දුවෙක් එක්කං එනවා”

රූපවාහිනියේ “ශනිදා සාදය” හා “අඳුන” වැඩසටහන්වලින් ද ඔහු ඇමතුවේ බොහෝවිට දරුවන්ට ය. සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේ ය. කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ, පුංචි පන්තිවල, රූම් පෙත්ත කැරකෙනවා, සුරංගීට දුක හිතුනා, සමනළයා මල හා ළමයා, මා එක්‌කලා අමනාපව වී දබර වැනි ගීත ද, ටයිටස්‌ තොටවත්තයන් හඬගැන්වූ දොස්‌තර හොඳහිත වෙනුවෙන් රචිත ”බෑ කියලා බැරිය මලේ” ආදී වූ ගීත සමුච්ඡය අද ද දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය ය.

ගුවන් විදුලි නිවේදකයෙකු, වැඩසටහන් සම්පාදකවරයෙකු ,චිත්‍රපට හා රූපවාහිනි ගීත රචකයෙකු ලෙසත් විසිතුර පත්‍රයේ විශේෂාංග කතුවරයෙකු ලෙස මෙන්ම සිළුමිණ, දිනමිණ, ලංකාදීප ආදී පුවත්පත් වලට නිබඳවම කවි ලිපි සැපයු ලේබයෙකු වශයෙන්ද නොමැකෙන සිහිවටන ශේෂ කිරීමට ප්‍රේම කීර්ති සමත් විය. ඒමෙන් ම ඔහු අතින් ”නොසැලෙන් ඉන්ද්‍රකීලය සේ” ”අන්තිමය” හා ”සිහින සතක් ” නිර්මාණ ග්‍රන්ථයන්ද රචනා විය.

ඔහු සිය මරණයට වසර 10කට පෙර සිය මරණය මනසින් දුටු අපූර්ව මිනිසකු විය. ඔහු විසින් සම්පාදිත ”නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ ” යන කෘතියේ ඔහු මෙසේ ලියා ඇත.

”මිදුලේ වැවී තිබිණු දාස්පෙති මල් පඳුරෙන් ඇට මිටක් කඩා දියණිය ඔහු අත තැබුවාය.
එදා අඳුරු රාත්‍රියකි. ඔහු ගුරු පාරට ආවේය.
කළුවරේ පිය මැන්නේය.
හිටි අඩියේ පාරට පැන ගත් සොරුන් පිරිසක් ඔහු වට කරගත්හ.
ඔහුගේ මුදල් පැහැරගන්නට තැත් කළහ.
බැරිම තැන ඔහු කෑ මොර දෙත්ම එක් සොරෙක් ඔහුගේ ළය පසා කරගෙන යන්නට පිහි පාරක් ඇන්නේය.
ඔහු මැරී වැටිණි. ‍
බියපත් සොරුන් ඔහුගේ මළ කඳ දෙපයින් බිම දිගේ ඇදගෙන ගොස් අසල වූ පාළු කුඹුරක මඩෙහි යටකර දැමීය.
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මග බලමින් සිටියා ය.
එහෙත් ඔහු ආයේ නැත.
ඔහුට කුමක් වී දැයි කිසිවෙකු නොදත්හ.
පාළු කුඹුරක දාස්පෙති මල් දාහක් පිපී තිබිණි. ”

ප්‍රේම කීර්ති සිය මරණය පවා සංයමයෙන් දුටු අයෙකු විය.

”හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා……” ඔහුට ඔහු පැතූ ශාන්තිය ලැබේවා!

“රුදුරු වෙඩි හඬින් අහසේ පෑයූ අඩ සඳ කැබලි වී ගිය එක් දුක්මුසු රාත්‍රියක ප්‍රේමකීර්තිගේ හද ගැස්ම නතර විණි. එහෙත් අපට තවමත් ඔහුගේ හද ගැස්ම ඇසෙයි…නාඩි වැටෙන හඬ තවම අප සිතට දැනෙයි…ඒ කවියකුගේ ගී පොත කිසිදා මළගමකදී දැවිය නොහැකි බැවිනි” – ධර්මසිරි ගමගේ

ප්‍රේමයද, කීර්තියද, ඉතිරිකර අලිවිස් නික්ම ගොස් දැනට වසර 33කි. ඒ නමුත් ඔහු වපුරා ගිය අස්වැන්නේ අපි තවමත් ඵල ලබමින් සිටින්නෙමු. ඒ නිර්මාණාවලෝකයෙන් තව සියවසක් ගිය ද අපට ආලෝකය ලැබෙන බව නිසැක ය. සැබැවින් ම සොඳුරු මිනිසුන් මිය යන්නේ නැත. ඔහුනට හදවතේ ඇති ඉඩ සදාතනික වූවකි.

“පැසුණු උන් අකලට නැසුණු කල – අකලට පැසුණු වුන් කට මැද දොඩනු ඇත.”

  • සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan