අර හයිවේ එකේ වෙදආරච්චිගේ ලේලි පොඩ්ඩ ගැන අහන්න ලැබුණේ ජොනී ඩෙප් ගැන ලියල අත ගන්නත් කළින්.
හැබැයි මෙහෙමයි… මේ ඉන්නේ අපි දන්නා ‘ආසියාතික ගැහැණිය’ නම් නෙවෙයි කියල හිතෙනවා. දකුණේ කෙල්ලක් වෙන්න ඇති. සමහරු කියනවා වැල්ලේ කෙල්ලක් කියලත්. ඒක දන්නේ නැහැ.
වන මේ ආරන්ණේ…මං බිය වන්නේ…කිය කිය මනමේ රජින්ඳා ද – වැදි රජින්ඳා ද – වෙන රජින්දෙක් ද, කඩුවද – කොපුව ද, මූණ ද – පොල්ල ද කියල තීරණයක් ගන්න බැරුව එහාට මෙහාට තාවර වේවි විශ්වීය නර්තනයක යෙදෙන මනමේ කුමාරිට වඩා නම් මේ ලේලි පොඩ්ඩ ගින්දරක්.
අපි දන්නා ආසියාතික ගැහැණිය අතීරණාත්මකයි. හැබැයි මේ කෙල්ලට එහෙම අවුල් නැහැ.
තමන් කරන දේ ගැන කුකුසක් නැහැ (doubt). එතකොට ඒ කරන දේ මොකක් උණත් කෙළින් කරන්න පුළුවන්.
නීතිය නැමුනද, පොලිසිය හරිද වැරදිද, උන් ලොකුද පොඩිද, ගෑණු කුණුහරප කියන එක හරිද වැරදිද කියන එක ගැන මෙතන වැළලෙන්න එපා. මම කියන්නේ ඒ දේවල් ගැන නෙවෙයි එතන ඒ ගෑනි කරපු පෙනී සිටීම ගැන (representation). ඒ පුද්ගලික තැන දේශපාලනිකයි.
‘මගේ මිනිහට අත තියන්න එපා’ කියන තැනින් තමයි එයා දේශපාලනය පටන් ගන්නේ. විශ්වීය නැහැ. කේවලයි. පුද්ගලිකයි.
මිනිහ වැරදි ඇති. හැබැයි එතැනදී මේ කෙල්ල වැදි රජු එක්ක හිටගත්තේ නැහැ. මිනිහගේ බෙල්ලට අත තිබ්බ එකාගේ බෙල්ල කන්න යක්ෂණියක් වගේ පැන්න. ඒ මොහොත සුරතාන්ත නිමේෂයක් පිරිමියෙක්ගේ පැත්තෙන්. දේශපාලනය පැත්තෙන් ඇන්ටිගනි කෙනෙක්.
පුද්ගලික තැනින් දේශපාලනය පටන් ගන්න. එතකොට දේශපාලනය ගැන ඔයාලට තියන ගොඩක් ගැටළු විසඳෙයි.
රාජ කුමාරියෝ කඩුවේ මිට හොයන කොට වැල්ලේ කෙල්ල වැද්දාගේ බෙල්ලට පැනලත් ඉවරයි. පස්සේ හිරේ යන එක වෙනම දෙයක්. හිරේ යන්නේ එයා එයාගේ දේශපාලනය හිතට එකඟව කරලා.
ජොනී ඩෙප්ල දන්නවා නම් සල්ලි ටික හූරගෙන කන්න හදන ගෑණු වගේම මේ වගේ බුලටුත් ඉන්නවා කියල උන් ජීවිතේ ආපහු හොයා ගනී.
- මහේෂ් හපුගොඩ