නින්දා අපහාස මැද කාන්තාවන් වෙනුවෙන් 2019 මා ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තියට අද වටිනාකමක් ලැබෙමින් පවතිනවා – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2019 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයකු ලෙස තමා පමණක් රටේ 52%ක් වූ කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ කොමිෂන් සභාවක් පිහිටුවීමේ යෝජනාව වසර 5කට පසු මහපොළොවේ හා නීතිපොතේ යථාර්ථයක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එහි දී කාන්තා කේන්ද්‍රීයව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර පෙරපාසල් අධ්‍යාපනයේ සිට තෘතීය අධ්‍යාපනය දක්වා සියලුම පහසුකම් ලබා දී කාන්තාවන් වෙනුවෙන් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් අවශ්‍ය බවත් එම ජනාධිපති කාර්ය සාධන බලකාය හරහා කාන්තාවන් මුහුණ දෙන සකලවිධ අභියෝග රැසකට විසඳුම් ලැබෙන බැවින් ප්‍රමාද නොවී කාන්තාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ද ස්ථාපිත කර කාන්තාවට ලබා දෙන නිසි වැදගත්කම හා වටිනාකම ඒ තුළින් ඉටු විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2019 ජනාධිපතිවරණයේ දී කාන්තා අයිතිය සුරක්ෂා කිරීම උදෙසා කාන්තාව වෙනුවෙන් ප්‍රඥප්තියක් හා සමාජ සම්මුතියක් සමගි ජන බලවේගය නිර්මාණය කළ බවත් ඒ සමාජ සම්මුතිය හරහා ඉදිරියේ දී සමගි ජන බලවේග රජයක් තුළ කාන්තාවන්ට මුහුණ දෙන්න සිදුවන ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, සෞඛ්‍ය හා අධ්‍යාපනික ක්ෂේත්‍රවල ගැටලුවලට විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමාජයේ කාන්තාව, මාතෘත්වය, කාන්තාව සතු ගුණාංග සමාජයක දියුණුවට ප්‍රගතියට බොහෝ සේ ඉවහල් වන බවත් ඵලදායිතාව ඉහළ නැංවීම, දුප්පත්කම තුරන් කිරිමට, ශ්‍රම බලකායේ විවිධත්වය ක්‍රියාත්මක කිරීම ආදී රටේ සමස්ත සෞභාග්‍යයට උරදෙන වැදගත්ම කොට්ඨාසයක් ලෙස ජන සමාජයේ කාන්තාව හැඳින්විය හැකි අතර මේ පනත හරහා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරිමට ප්‍රගතිශීලි උත්සාහයක් ගත්තත් ජන සමාජයේ කාන්තාව මුහුණ දෙන බරපතල අභියෝග රැසකට පිළියම් යෙදිය යුතු බවත් එහි දී කාන්තා අයිතිය, අභිවෘද්ධිය හා ප්‍රගතිය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වකරුවන් සමග පුළුල් සාකච්ඡාවකට සංවාදයකට එළඹීමෙන් අනතුරුව ඉදිරි පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආර්ථව දරිද්‍රතාව අදටත් බරපතල ගැටලුවක්

අදටත් ආර්ථව දරිද්‍රතාව යන ගැටලුව බරපතල ගැටලුවක් වී ඇති බවත් මෙරට කාන්තාවන්ගෙන් 50%කට මේ ගැටලුව ඇති බව සමීක්ෂණ මඟින් හෙළිදරව් වී ඇති බවත් 2019 ජනාධිපතිවරණයේ දී මේ කරුණු ඉදිරිපත් කරන විට ගල්මුල් ප්‍රහාර, නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිදු වුවත් මේ ගැන කතිකාවත නැවැත්වූයේ නැති බවත් ස්කොට්ලන්තයට, නවසීලන්තයට, අප්‍රිකානු රටවලට මෙය ක්‍රියාත්මක කළ හැකි නම් අපිට බැරි ඇයි කියා දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ නිසා ආණ්ඩුවේ ඇස් ඇරී ඇති බවත් මේ සමාජීය ගැටලුවලට විසඳුමක් ලෙස නොමිලේ සනීපාරක්ෂක පහසුකම් ලබා දීම හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

හිංසනයට ලක්වන කාන්තාවට පිළිසරණක් අවශ්‍යයි

කාන්තාව බොහෝ අවස්ථාවල නිවසේත්, වැඩබිමේත්, මහමගදීත් බොහෝ ස්ථානවලත් විවිධ හිරිහැරවලට මුහුණ දෙන බවත් එය එසේ සිදු නොවිය යුතු බවත් ජන සමාජයේ 52%ක් වූ කාන්තාව මීට වඩා ඉහළ මට්ටමක තැබිය යුතු බවත් රුවන්ඩාව වැනි රටක කැබිනට් මණ්ඩලයේ පවා උසස් අධ්‍යාපනය ලැබූ කාන්තාවන් සිටින බවත් ඔවුන් රාජ්‍ය පාලනයේ බහුතර කාර්යභාරයක් ඉටු කරන නිසා අප රටේ ද එවැනි අවස්ථා ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවට පාර්ලිමේන්තුව තුළත් මීට වඩා ඉඩක් අවශ්‍යයි

වත්මන් ජනාධිපතිවරයා ගැන තමාට විවිධ මත තිබුණත් පළාත් පාලන ආයතනවල 25% අනිවාර්ය මන්ත්‍රිවරියන්ගේ වෙන් කිරීමක් යහපාලන රජය ක්‍රියාත්මක කළ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශංසාව ලබා දෙන බවත් පළාත් සභාවේ හා පාර්ලිමේන්තුවේ ඒ ප්‍රගතිය ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

කාන්තා කේන්ද්‍රීය වැඩසටහන් අවශ්‍යයි

අප රටේ ආහාර අනාරක්ෂිතභාවය නිර්මාණය වී බහුවිධ දරිද්‍රතාව ජන සමාජයේ ගැටලුවක් ඇති ව ඇති මොහොතක එයට විසඳුම් ලෙස කාන්තා කේන්ද්‍රීය වැඩසටහන් අවශ්‍ය බවත් එයට උදාහරණයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ජන සවිය තුළින් නිර්මාණය වූ ජන ශක්ති කාන්තා ව්‍යාපාරය දැක්විය හැකි බවත් එය තුළින් විශිෂ්ඨ සේවාවක් ඉටු වූ බවත් පැවසීය.

කාන්තා ශ්‍රම බලකාය වැඩිකළ යුතුයි

මෙරට ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32-35% අතර ප්‍රමාණයක් බැවින් එය ප්‍රමාණවත් නොවන නිසා එය 45% දක්වා වැඩි කළ යුතු බවත් කාන්තා මූලික පවුල් අප රටේ 1638000ක් සිටින බවට පාර්ලිමේන්තුවේදීම අනාවරණය වූ බවත් මේ පවුල් වෙනුවෙන් වෙනමම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

බංකොලොත්භාවය නිසා අගතියට පත් කාන්තා ව්‍යවසායකයන් ගැන අවධානය යොමු විය යුතුයි

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව බංකොලොත්භාවය නිසා කාන්තා කේන්ද්‍රීය ව්‍යාපාර 11700ක් පසුගිය කාලයේ තාවකාලිකව වැසී ගොස් ඇති බවත් ස්ථිරවම ව්‍යාපාර 27600ක් වැසී ඇති බවත් කාන්තා අයිතිය ගැන කතා කරන මේ මොහොතේ මේ කාන්තා කේන්ද්‍රීය ව්‍යවසායකයන් වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් සේම කාන්තා කේන්ද්‍රීය ව්‍යවසාය සඳහා ද වෙනම ම වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කාන්තා අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වූ පනත් කෙටුම්පත් විවාදයේදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...