සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW)
:
ටික් ටොක් විඩියෝ නිර්මාණය කරන තරුණයන් දෙදෙනකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැ ටුමකදී, එක් තරුණයකුගේ මිතුරන් පිරිසක් අනෙක් තරුණයා රැගෙන ගොස් දරුණු ලෙස පහර දීමේ පුවතක් වාර්තා වේ.
එහිදී අදාල තරුණයා බිම දණ ගස්වා අමානුෂික අයුරින් පහර දී ඇති අතර, පහර කෑමෙන් තරුණයාගේ දතක් ද කැඩී ඇති අතර, ඔහු රෝහල්ගත කර තිබෙන බව පැවසේ.
මිතුරන් පිරිස වටවී එම තරුණයාට පහර දෙන අයුරු තවත් මිතුරකු වීඩියෝ කර ඇති අතර, එම වීඩියෝව මිතුරන් අතරේ වට්ස්ඇප් මඟින් හුවමාරු කරගෙන තිබුණු අතර, එක් අයෙකුගේ ටික් ටොක් වීඩියෝවක් නැරඹුම් වාර ලක්ෂයද ඉක්මවා යාම හේතු කොටගෙන මෙම ආරවුල උද්ගතව ඇති බව පොලිසිය පැවසීය.
පහර කෑ තරුණයාගේ අයියා මේ පිළිබඳව වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික මහතා විමර්ශන ආරම්භ කරනු ලැබූ බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් තරුණයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, වෙන්නවත්ත ප්රදේශයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. දෙදෙනෙකු ප්රදේශයෙන් පලා ගොස් ඇති බවද වාර්තා වේ.
පොලිසිය සඳහන් කරන්නේ, සිද්ධියට සම්බන්ධ තරුණයින් සියලු දෙනා වයස 17-19 අතර පුද්ගලයන් බවයි .තරුණයාට පහර දෙන වීඩියෝවේ ඇතැම් දර්ශන මකා එය මිතුරන් අතරේ සංසරණය කර ඇති අතර, එහි මුල් දර්ශන ලබා ගැනීම සඳහා පොලිසිය රස පරීක්ෂකවරයාගේ අවසර ලබාගෙන තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.