සටහන – රුවන් නෙළුගොල්ල
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.
මෙම පෙත්සම ඊයේ (10) අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන ශෂී මහේන්ද්රන් සහ ආදීත්ය පටබැඳීගේ යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණු අතර වරුණ ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා අත් අඩංගුවට ගැනීමට අත්යාසන්න තත්වයක් උද්ගතවී ඇති බැවින් මෙම පෙත්සම ගොනුකළ බවත් මෙහි කරුණු තහවුරු කිරීම සඳහා මේ සතිය තුළම දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ය.
එහෙත් රජයේ නීතීඥවරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්ය බවත් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වනදා යළි කැඳවීමට නියම කළේය.


