ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:2019 දී ඉලක්කගත කතෝලික දේවස්ථාන හා කොළඹ ප්රධාන පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන සිදුවූ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන තවදුරටත් ක්රියාත්මකව පවතින අතරතුර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ පරීක්ෂණ පවත්වමින් පවතින තත්ත්වයක ඔහුට වද හිංසා පමුණුවන බවට පවසමින් ඔහුගේ නිදහස පතා විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඇරඹි අඛණ්ඩ සත්යග්රය ඊයේ අවසන් කළේය.
සුරේෂ් සලේ වෙත සහය දක්වමින් විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් විසින් ඇරඹි එම පාස්කු විමර්ශන සම්බන්ධයෙන් කළ විරෝධතාව හමුවේ අපරාධ යුක්තිය පසිඳලීම මෙන්ම ආසන්නතම වශයෙන් පාස්කු වින්දිතයින්ට සිදුකර තිබෙන බලපෑම පිළිබඳ සමාජ සංවාදයක් ගොඩනැගුණි.
ඒ අනුව හිටපු මැති ඇමතිවරුන්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇරඹි එම සත්යග්රහයට පාස්කු වින්දිතයින් අද දින පැමිණීම නියමිතව තිබුණද අදාළ සත්යග්රහය ඊයේ දිනෙන් අවසන් විය.
එහෙත් සංකේතාත්මකව පාස්කු වින්දිතයින් සහ සිවිල් ක්රියාකාරිකයින් කණ්ඩායමක් අද දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණ පාස්කු ප්රහාරයට එරෙහිව ඉටු විය යුතු යුක්තිය පිළිබඳව සිහිකැඳවීමක් කරන ලදී.
පාස්කු ප්රහාරය දේශපාලන කුමන්ත්රණයක් බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අනුව පැහැදිලි හෙයින් පාස්කු ඝාතකයින්ට එරෙහිව වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බව ඔවුන් අවධාරණය කළේය.
පාස්කු ප්රහාරයෙන් පුද්ගලයින් 278කට දිවි අහිමි වූ අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය. ඒ අතරතුර සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ පිරිසක්ද වෙයි.


