සටහන – රුවන් නෙළුගොල්ල
විදුලි ගාස්තු 15% කින් වැඩිකිරීමට වත්මන් රජය කටයුතු කිරීම යනු ඔවුන්ට මෑතකදී ලැබුණු අතිවිශාල ජනවරම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“විදුලි ගාස්තුව 15% කින් ඉහළ දමන්නට කටයුතු කරලා තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම මේ තීන්දුව ගත්තේ රජයත් විදුලිබල මණ්ඩලයත් කරපු යෝජනාවකට. අපි දකිනවා මේ විදුලි ගාස්තු වැඩිකිරීම ජනවරම පාගා දැමීමක්, ජනතාවගේ හඬට ඇහුම්කන් නොදීමක්, මේ රටේ ජනතාව රැවටීමක් හැටියට. මම මතක් කරන්න කැමතියි ජනාධිපතිවරණයේදී මැතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක මහතා රුපියල් 9000 බිල 6000 කරනවා කිව්වා, 3000 බිල 2000 කරනවා කිව්වා. 33% කින් විදුලි ගාස්තු අඩුකරනවා කිව්වා. ඉන්පසුව මහමැතිවරණයේදී මන්ත්‍රීවරු 159ක් ලබාගෙන රජය කළ යුතුව තිබුණේ 33% කින් විදුලි ගාස්තු අඩුකිරීමයි. නමුත් මේ මොහොත වනවිට මේ රජය රටේ ජනතාවට කරපු ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝනය කරලා ජනාධිපතිවරයාම කරපු ප්‍රකාශ බොරු බවට පත්කරලා 15% කින් විදුලි ගාස්තු වැඩිකිරීමට මේ ගත්තු ක්‍රියාමාර්ගය මේ රටේ විදුලි පාරිභෝගිකයින්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකිනවා. ඔය විදුලි ගාස්තු වැඩි කරන්නේ IMF වාරිකය ලබාගැනීම සඳහා. විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීමේදී IMF කොන්දේසියක් බවට පත්කරලා තිබෙනවා විදුලි ගාස්තු වැඩිකිරීම. අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ, මාලිමාව තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මොකක්ද කිව්වෙ ? IMF එක්ක අලුත් ගිවිසුමකට ප්‍රවේශ වෙනවායි කියලා. නමුත් කළේ මොකක්ද ? බලය ලැබුණු විගසම පෙර රජය එළඹුණු IMF ගිවිසුම අකුරක් නෑර ඉදිරියට ක්‍රියාත්මක කරන්නට ජනවරම පාවාදෙමින් කටයුතු කළා. ඒ ගිවිසුම සංශෝධනය නොකිරීමේ ඵලවිපාකය තමයි අද IMF කොන්දේසිවලට රටත් ජනතාවත් යටත් වීම. අපිත් ප්‍රකාශ කළා IMF රාමුව තුළ අපි වැඩ කරනවා කියලා. නමුත් අපි පැහැදිලිවම කිව්වා සියලුම IMF නියෝජිතයින්ට අපි IMF එකත් එක්ක අලුත් අවබෝධතාවයක් ගිවිසුමක් එක්කයි කටයුතු කරන්නෙ කියලා. අදටත් ඒ ස්ථාවරයේ අපි ඉන්නවා. නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජනතාවට ඉදිරිපත් කළ කරුණු සියල්ලක්ම බොරු බවට පත්කරමින් ජනතාව අතරමං කරලා මේ 15% විදුලි ගාස්තු වැඩිකිරීම තුළින් බඩට ගහන්නේ රටේ සාමාන්‍ය ජනතාවට, කර්මාන්ත ක්ෂේත්‍රයට, සංචාරක ක්ෂේත්‍රයට. වර්තමාන රජයට අපි කියන්න කැමතියි කරුණාකරලා දුන්නු ජනවරම මේ ආකාරයෙන් පාවාදෙන්නේ නැතිව ජනතාවට දුන්නු පොරොන්දු වහා ඉෂ්ට කරන්න. ඔබ කියූ ආකාරයට විදුලි ගාස්තු 33% කින් අඩුකරන්න. ඒ දක්වා අපි රටේ ජනතාවත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ නිරත වෙනවා”
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (ජුනි 11) විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
