උපාලි කොළඹගේ
කොළඹ LNW:පළා බබාලා යනු පළාත් සභා බව කාටත් මතක ඇතැයි සිතමි. අසූ ගණන්වල පළාත් සභා යෝජනාව කරලියට ආ අවස්ථාවේ ඊට දැඩිම විරෝධය එල්ල වූයේ ජනතා විමුක්ති පෙරමුණෙනි. එය කෙතරම් විශාල විරෝධතාවක් දැයි කිවහොත් රට තුළ මහත් විනාශකාරී ක්‍රියා රාශියක් ද සිදුවිය. මේ අතර ජවිපෙ එක් විරෝධතා දැක්වීමේ ක්‍රමවේදයක් වූයේ පාසල් ළමයින් පාරට බැස්සවීමය. එය බොහෝ දෙනකුගේ පිළිකුලට හේතු වුවද ජවිපෙ ඇතුළු පළාත් සභා විරෝධී අනෙකුත් කණ්ඩායම් සිය විරෝධතා ව්‍යාපාරය දිගටම කරගෙන ගියහ. මෙම විරෝධතා වලට කුඩා ළමයිද විශාල වශයෙන් සහභාගි වූහ. පළාත් සභා යන්න හරි හැටි කියා ගන්න බැරි තරමේ පොඩි වුන්ද මේ අතර සිටියහ. ඔවුන් පළාත් සභා උච්චාරණය කළේ පළා බබා යනු වෙනි.”පළා බබා අපිට එපා ” යන්න ජනතාව අතර ජනප්‍රිය වූයේ ඔන්න ඔය ආකාරයට .
දැනට පළාත් සභා නැත. මොකක්දෝ ජිල් මාට් එකක් දමා “පළා බබා” අතුරුදන් කර තිබේ. සුදු වෑන් කාරයන් හා එක්ව “එක ගෙයි රටකන” අවස්ථා වේ සිදු වූ මේ අබග්ගයෙන් වඩාත්ම පහර වැදුණේ ඉන්දු ලංකා ගිවිසුමේ අපේක්ෂාවන්ටය.
එය වඩාත්ම සාහසික වන්නේ පළාත් සභා වලට විකල්පයක් කා තුළවත් නොමැති වීමය.
මේ ආණ්ඩුව පළාත් සභා වලට යළි පණ දේයැයි සිතිය නොහැක. ඒ ඔවුන් පළාත් සභා ප්‍රසූතයට පෙර විනාශ කරදැමීමට සන්නද්ධව විරෝධය දැක්වූ ප්‍රබලම දේශපාලන කණ්ඩායම වන නිසා හා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සිදුවූ මදිපුංචිකම නිසාය. කෙසේ වුවත් ඉන්දු ලංකා ගිවිසුම නිසා ආණ්ඩුවට පළාත් සභා මගහැර යා නොහැක. එය දෙරටේ සුහදත්වයටද ගැටලුවකි.
කොහොම වුණත් මාලිමා ආණ්ඩුව කඩිමුඩියේ පළත් සභා ඡන්දය පවත්වාවියැයි සිතිය නොහැක. ඔවුන් බොහෝ විට කරනු ඇත්තේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ සිහිනයේ කොටසක් බවට පළාත් සභා පත්කර කල් ඇරීමය.
ඇත්ත වශයෙන් පළාත් සභා අත්‍යවශ්‍ය ද යන්න මටද ගැටලුවකි. අපේ කුඩා රටට පාර්ලිමේන්තුවක්, පළාත් සභා හා පළාත් පාලන යනුවෙන් පරිපාලන මණ්ඩල තුනක් අවශ්‍යද? ඉන්දියාව මැදිහත් නොවන්නට අපේ දේශපාලන සන්දර්භය තුළ පළාත් සභා මාතෘකාවක් වන්නේද නැත.
මගේ විරුද්ධත්වය උතුරු නැඟෙනහිර හා කඳුරටට පළාත් සභා පිහිටුවීම පිළිබඳව නොවේ. මුළු රටටම පළත් සභා පිහිටුවීමය නොකළ යුත්තකි. එවැනි අසමමිතික බලය බෙදා හැරීමක් කළ හැක්කේ කොන්ද ප ණ ඇති රාජ්‍ය නායකයකුට පමණි.
