සිංගප්පූරු හමුවට පෙර විශ්වාසය ගොඩනැඟෙන ජයක්

0
260

ශ්‍රී ලංකාව 2023 යොවුන් ආසියාතික නෙට්බෝල් තරගාවලියේ සහභාගි වූ දෙවන තරගය ද පහසුවෙන් ජය ගැනීමට සමත් විය.ඒ ලකුණු 86 ට ලකුණු 16 ක් ලෙස විශාල පරතරයක් තබා ගනිමින්ය.එතරම් පීඩනයකින් තොරව තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය පුරා ක්‍රීඩිකාවන් 11 දෙනෙකුම අත් හදා බලමින් තරග වැදිණ.
නමුත් තරගය පුරාවට කණ්ඩායම් නායිකා සජිනි රත්නායක දිගටම ගෝල් ඇටෑක් ස්ථානයේ ක්‍රීඩා කරනු දකින්නට ලැබිණ.ඒ ආකාරයටම ඉදූෂා පෙරේරා ද සෙන්ටර් ස්ථානයේ තරග වැදිණ.කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රිඩිකාවන් දෙදෙනා ඒ ආකාරයට තරගයට යොදා ගනිමින් සෙසු ක්‍රීඩිකාවන් ඒ වටා ගොනු කර ගැනීමට යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඊ ළඟට ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩිකාව වන කණ්ඩායම් උප නායිකා නෙත්මි විජේනායක ද අවසාන කාර්තුවේ සුළු වේලාවක් හැරෙන්නට තරගය පුරාම සිය කාර්යය වින්ග් ඇටෑක් ස්ථානයේ ඉටු කරනු ලැබුවාය.ශ්‍රී ලංකාවට දැල අසළ ලකුණු ගලා ඒමේදී වැඩි කාර්යභාරයක් ඉටු කරන්නට සමත් වූවේ කාර්තු දෙක හමාරක් පමණ කාලයක් පිටියේ ගෝල් ෂූටර් ගේ භූමිකාව ඉටු කළ ඩිල්මි විජේනායක සහ තරගය පුරාම රැදී සිටි නායිකා සජිනි රත්නායකය.ඩිල්මි උත්සාහයන් 36 න් 30 ක් සාර්ථක කර ගත්තාය. සජිනි උත්සාහයන් 41 න් 33 ක් සාර්ථක කර ගැනිමට සමත් වූවාය.ප්‍රමාණාත්මකව තව දුරටත් මේ සාර්ථක වීමේ ප්‍රතිශතය ඉහළ දමා ගැනීමට ඔවුන්ගේ අවධානය යොමු විය යුතු අතර විශේෂයෙන් හෙට සිය දරුණුම ප්‍රතිවාදියෙක් වන සිංගප්පුරුව හමුවේ දී එය ඉතාමත් වැදගත් වනු ඇත.

භාෂි උඩගෙදර අවස්ථාවන් 17 දී 16 ක් සාර්ථක කර ගත්තාය.කණ්ඩායමේ උසම ක්‍රිඩිකාව හැටියට සැළකෙන මිනාගි ට තරග කිරීමට ලැබුණ සුළු වේලාව තුළ අවස්ථා 7 ක් ලබා දුන්නත් ඇ සාර්ථක කර ගත්තේ 3 ක් පමණය.
ඒ නිසා අද දවස ගෙවී හෙට උදාවන විට ශ්‍රී ලංකාව පන්දුව විදීමේදී දක්වන කුසලතාවය තව දුරටත් සාර්ථක කර ගැනීම වෙනුවෙන් තරගයේ රිද්මයට සමපාතව සිය මානසික ඒකාග්‍රතාවය සාර්ථකව කළමණාකරනය කර ගැනීම ගැන කල්පනාවට ගත යුතුය.මන්ද සිංගප්පූරු ක්‍රීඩිකාවන් දැල වෙත රැගෙන එන පන්දුවක් ලකුණක් නොවී ආපසු රැඟෙන යාම මඟ හැරෙනු ඇතැයි සිතිය නොහැකි බැවිනි.

නමුත් මේ තරගයේදී කණ්ඩායමේ ආක්‍රමණික කලාපය මෙන්ම ආරක්ෂක කලාපය ද ශක්තිමත්ව සහ වේගවත්ව සැකසී ඇති ආකාරයක් දකින්නට ලැබීම යහපත්ය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ඔවුන්ගේ උස හොඳින් ප්‍රයෝජනයට ගත් බවක් දකින්නට තිබිණ.තරගය බෘනායි කණ්ඩායමට අභියෝගයක් විය හැකි වේගයකට ද,තවත් අවස්ථාවක ඉතා දුර සාර්ථක පන්දු යොමු කිරීම්වලට ද ගෙන යමින් ශ්‍රී ලංකාව තරගයේ රිද්මය සිය පාලනයට ගත් ආකාරය අපූරුය.ඒ මුසුව සහ ඒ අනුව කණ්ඩායමක් හැටියට වෙනස් වී පරිවර්ථනය වීමට දක්වන හැකියාව ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ඉතා හොඳ ධන ලකුණක් විය හැකි නමුත්,නිශ්චිතම මොහොතේ හරිම රිද්මය සොයා ගැනීම හරියටම කිරීමෙන් බොහෝ දේ ජය ගැනීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව පළමු අදියරේ දී ලකුණු 19 – 6 ක් ලෙස බෘනායි වැනි රටකින් අනපේක්ෂිත අභියෝගයකට ලක් විය.නමුත් දෙවන කාර්තුවේදී ලකුණු 22 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව බෘනායි කණ්ඩායම ලකුණු 3 සීමා කළේය. තෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 20 ක් ලබා ගනිද්දී බෘනායි කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 3 ක් පමණි.සිව්වන කාර්තවේදී බෘනායි කණ්ඩායම ලකුණු 4 ක් රැස් කරන විට ශ්‍රී ලංකාවට ලකුණු 21 ක් රැස් කරන්නට හැකි විය.
හෙට තරගයට ශ්‍රී ලංකාව වඩාත් සැළසුම් සහගතව මුහුණ දී ජයග්‍රහණය ලැබීම, අවසාන පූර්ව වටයේ තරගය පහසුවෙන් හමාර කර අවසාන තරගයට පියවර තැබීමට ගන්නා වැදගත්ම පියවර වනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ