යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

Date:

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය පර්සියාවටත් ජුදා දේශයටත් වැදගත් වර්ශයක්. ඒ වෙනකොට විජය රජතුමා ලංකාවට ගොඩබැහැලා නැහැ. ඉතිහාසයේ සඳහන් ආකාරයට විජය රජුගේ ලංකා ගමනය සිදුවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 543 පමණ කාලයේදී.

ජුදා දේශය බොහොම බලසම්පන්න හා සශ්‍රීක රාජ්‍යයක් බවට පත්කරන්නෙ ඩේවිඩ් හා සොලමන් වැනි ප්‍රසිද්ධ බලවත් රජවරුන් විසින්. සෑම රාජ්‍යයක්ම බලවත්වෙනවා වගේම දුර්වලවෙන කාලපරිච්ඡේදයන් සටහන්වෙනවා ඉතිහාසය පුරාම. අසල්වැසි සිරියානු ආක්‍රමණවලට නිරන්තරවම ලක්වෙන ජුදා දේශයට සිද්ධවෙනවා නිරතුරුවම සටන් කරන්න.

ජුදා දේශයේ අසල්වැසියා වූ බැබිලෝනියානු රාජ්‍ය බොහෝම බලවත් රාජධානියක් බවට පත්වෙන්නෙ දෙවන නෙබුශාද්නෙසාර් රජතුමාගේ කාලයේදී. ( Nebuchadnezzar II ) ක්‍රිස්තු පූර්ව 605 -562.

ඉතිහාසයට අනුව ලොව පැරණිම ශිෂ්ඨාචාරයක් වූ මෙසොපොටාමියා ශිෂ්ඨාචාරය වසර දහස් ගණනකට පෙර බිහිවුනෙත් අපි මේ කතා කරන බැබිලෝනියානු භූමියේ.

ක්‍රිස්තු පූර්ව 586 දී නෙබුශාද්නෙසාර් රජුගේ හමුදාව ජුදා දේශය ආක්‍රමනය කරන්නෙ අධික හමුදා බලයක් සමග. ජුදා දේශය හෙවත් යුදෙව්වන්ගේ බිම බැබිලෝනියානු රාජ්‍ය යටතේ පාලනය වෙද්දි තවත් රාජ්‍යයක් බොහොම වේගයෙන් බලවත්වෙනවා මේ ප්‍රදේශයේම. ඒ තමයි පර්සියාව මුල්කරගත් ආචමෙනිඩ් රාජධානිය. (Achaemenid Empire). ඇෆ්ඝනිස්ථාන ඉතිහාසය ගැන කතා කරද්දි අපි සාකච්ඡා කලා ඇෆ්ඝනිස්ථානය ආචමෙනිඩ් රාජ්‍යයේ කොටසක් බවට පත්වුනු ආකාරය. පර්සියානු ආචමෙනිඩ් හා බැබිලෝනියානු රාජ්‍යයන් මැදපෙරදිග ප්‍රදේශයේ බලය සඳහා එකිනෙකා හා ගැටෙනවා බොහොම දරුණු විදිහට.

ශ්‍රේෂ්ඨ සයිරස් හෙවත් දෙවන සයිරස් රජුගේ නායකත්වය යටතේ ආර්චමෙනිඩ් රාජ්‍ය විසින් බැබිලෝනියාව ආක්‍රමණය කරලා පරාජයට පත්කරනවා. ( Cyrus II of Persia 600–530 BC). ක්‍රිස්තුපූර්ව 593 වර්ශයේදී සම්පූර්ණවෙන මෙම ආක්‍රමණයත් එක්ක බැබිලෝනියාව යටතේ පාලනය වූ ජුදා දේශයත් ඉබේටම ආචමෙනිඩ් රාජ්‍යයේ කොටසක් බවට පත්වෙද්දි ඒ කාලය තුල ජුදා දේශය හැඳින්වෙන්නෙ යේහුඩ් විදිහට.
පර්සියානුවන් බොහොම ආඩම්භර වෙනවා ජුදා දේශයත් තමන් යටතේ පාලනයවීම ගැන.

ක්‍රිස්තු පූර්ව 330 දක්වා දිවෙන බලවත් ආචමෙනිඩ් රාජ්‍යයේ අවසානය සටහන්වෙන්නෙ තවත් ඉතිහාසගත ආක්‍රමණයක් එක්ක. ඒ තමයි මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය. අපි දන්නවා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය ඉන්දියාව දක්වා පැමිණි බවත් ග්‍රීක ඉන්දු දේශපාලන හා සංස්කෘතික මිශ්‍රණය මේ කාලයේදී සිදුවූ බවත්.

කවුද මේ බැබිලෝනියානුවන්.? ඒ තමයි වර්ථමාන ඉරාකය හා ඉරාක ජාතිකයන්. ආචමේනිඩ් රාජ්‍යයේ පර්සියානුවන් වර්ථමානයේ හඳුන්වන්නෙ ඉරාන ජාතිකයන් විදිහට.

ජුදා දේශය හෙවත් යේහුඩ් වර්ථමාන ඊශ්‍රායලය.

අද මැදපෙරදි සිතියම බැලුවොත් අපිට පේනවා ඊශ්‍රායලය හා ඉරානය තියෙන්නෙ එකිනෙකට දුරස්ව බව. නමුත් අපි කතාකරපු ඓතිහාසික සාධක මතයි ඉරාන පාලකයන්ගෙන් සමහරෙක් පවසන්නෙ ඊශ්‍රායලය යනු පර්සියාවේ ප්‍රාන්ථයක් බව.

කාලය ගතවෙනවා බොහොම ඉක්මනට. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ශ බවට පරිවර්තනය වෙද්දි ක්‍රිස්තු වර්ශ එකේදී බෙත්ලෙහෙමේ උපත ලබන ජේසුස් නම් යුදෙව් ශාස්තෲවරයා මුල්කරගෙන ක්‍රිස්තියානි ආගම බිහිවෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ නම් ඒ භාතිකාභය රජුගේ කාලය.

එතනින් වසර 570 ක් ගතවුනාම … ඒ කියන්නෙ ක්‍රිස්තු වර්ශ 570 දී සෞදි අරාබියේ මෙක්කාහි උපත ලබන මුහම්මඩ් නම් ශාස්තෲවරයා මුල්කරගෙන ඉස්ලාම් ආගම නිර්මාණයවෙනවා. ( අපි මීට පෙර කතා කලා යුදෙව් පැරනි ලේඛන ක්‍රිස්තියානි ආගමේ වගේම ඉස්ලාම් ආගමේත් පදනමට හේතුවූ ආකාරය)

මුහම්මඩ්ගේ ඉගැන්වීම් හා සංස්කෘතික රටාව අරාබි සංස්කෘතිය ..ජීවන රටාව .. ගතිපැවතුම් හා බද්ධවූවක්. මුහම්මඩ්ගේ හමුදාව මැදපෙරදිග ආක්‍රමණය කරන්නෙ අරාබි සංස්කෘතිය වගේම මුහම්මඩ්ගේ ඉගැන්වීමුත් මේ ප්‍රදේශවල ව්‍යාප්ත කරමින්. පර්සියාව හෙවත් ඉරානය… බැබිලෝනියාව හෙවත් ඉරාකය… යුදා දේශය හෙවත් ඊශ්‍රායලය .. සිරියාව මේ අරාබි ඉස්ලාම් රාජධානියේ කොටස් බවට පත්වෙනවා බොහොම ඉක්මනින්. මේ ප්‍රදේශවල භහුතරය ඉස්ලාම් ආගම වැලඳගනිද්දි යුදෙව්වන් තමන්ගේ ආගමත් සංස්කෘතියත් රැකගන්න උත්සාහ කරනවා. ඒ අතරෙ ක්‍රිස්තියානි ආගම අදහන ජනකොටස්වලින් කොටසක් තවදුරටත් තමන්ගෙ ආගම ඇදහීමේ සටනක නිරතවෙන බව අපිට නිරීක්ශණය කරන්න පුළුවන්.

සොරෝස්ට්‍රියානිස්ම්.. මැන්දෙයිස්ම්.. ක්‍රිස්තියානි ඕතඩොක්ස්.. ආරාබි පෙගනිස්ම් වැනි විවිධාකාර ආගම් අදහන කොටස් ඉස්ලාම් ආගම වැලඳගැනීම සිදුවෙන්නෙ මෙන්න මේ ආක්‍රමණත් සමගයි.

ක්‍රිස්තුවර්ශ 632 දී මෙදීනා නගරයෙන් මුහම්මද්ගේ අවසානය සටහන් වෙද්දි ඔහුගෙන් පසුව නායකත්වයට පත්වෙන්නෙ කවුද කියන ගැටළුව මතුවෙන්නෙ සටන් හා දරුණු ගැටුම් රාශියක් නිර්මාණය කරමින්.
මෙන්න මේ ගැටුමේ ප්‍රථිඵලයක් විදිහට ඉස්ලාම් ආගම කොටස් දෙකකට කැඩෙනවා සුන්නි හා ශියා යනුවෙන්. මොහොමඩ් ශාස්තෲවරයාගේ පරපුරේ කෙනෙක් එහෙමත් නැතිනම් මුහම්මඩ්ට ලේ නෑකම් ඇති පුද්ගලයෙක් ඉස්ලාම් ආගමේ නායකයා හෝ මගපෙන්වන්නා බවට පත්විය යුතුයි කියන කොටස ශියා ඉස්ලාම් කන්ඩායම බවට පත්වෙනවා. පර්සියාව හෙවත් ඉරානය ශියා ඉස්ලාම් රටක් බවට පත්වෙන්නේ මෙන්න මේ ආකාරයටයි.

මොහොම්මඩ්ගෙන් පසු නායකත්වයට පත්විය යුත්තේ ඥාතියෙකු නොව වඩාත්ම සුදුසු දක්ශ පුද්ගලයා බව කියන කොටස සුන්නි මුස්ලිම්වරුන් බවට පත්වෙනවා. පරිසියානුවන් හෙවත් ඉරාන ජාතිකයන් කිසිම විටෙක කැමති නෑ තමන්ව අරාබි ජාතිකයන් විදිහට හඳුන්වනවාට. ඔවුන්ගේ මතය අනුව ඉස්ලාම් ආගමේ මගපෙන්වන්නා හා නායකයා විය යුත්තේ ශියා මුස්ලිම් ජනකොටසයි.

1979 සිදුවෙන ඉරාන ආගමික විප්ලවයත් එක්ක ඉරානය පාලනය කිරීම ආධ්‍යාත්මික නායකයෙකු වෙත පැවරෙනවා. කවුද මේ ආධ්‍යාත්මික නායකයා..? ශියා මුස්ලිම්වරුන් විශ්වාස කරන පරිදි ඉරාන ආධ්‍යාත්මික නායකයා මුහම්මඩ්ගේ පරපුරෙන් පැවත එන… මුහම්මඩ්ට ලේ නෑකම් ඇති පුද්ගලයෙකු විය යුතුයි.

ප්‍රොෆට් මොහොමඩ්ගේ දියණිය වූ ෆාතිමා සහ ඔහුගේ බෑණනුවන් වූ ඉමාම් අලීගෙන් ( Ali ibn Abi Talib )පැවත එන කෙනෙක් පමණයි ඉරානයේ ආධ්‍යාත්මික නායකයා විය යුත්තේ. ඒ අනුව ඉස්ලාම් ලෝකයේ නායකයා හා මග පෙනවන්නා විය යුත්තේ වර්ථමාන ඉරාන නායකයා වූ අලි කුමෙයිනි. තවත් විදිහකට කීවොත් වර්ථමාන ඉරාන නායකයා මොහොමඩ් නම් ශාස්තෲවරයාගේ ලේ ඥාතියෙක්. ( path – Seventh Imam of Shi”ah, namely Musa al-Khazim.)

මේ කතාව සුන්නි මුස්ලිම් රටවල් විසින් තදින්ම ප්‍රථික්ශේප කරනු ලබනවා. ඉරානය ශියා මුස්ලිම් රටක් බවට පත්වෙද්දි ඉරාකය… සෞදි අරාබිය.. ඊජිප්තුව.. බහරේන්… ඕමාන්.. සිරියාව.. ජෝර්දානය ආදී සියළු රටවල භහුතරය බවට පත්වෙන්නෙ සුන්නි මුස්ලිම්වරුන්.

මෙන්න මේ ආකාරයට මැදපෙරදිග සුන්නි මුස්ලිම් රාජ්‍යයන් අතරේ ඉරානය හුදෙකලා ශියා ඉස්ලාම් රාජ්‍යක් බවට පත්වෙනවා. යුදෙව් අරාබි මතගැටුම තරමටම සුන්නි ශියා මත ගැටුම දරුණුයි. පලස්තීන ජාතිකයන් භහුතරය සුන්නි මුස්ලිම් ජාතිකයන්. ලෙබනනයේ 1950 වසර දක්වා ජීවත් වූ භහුතරය ක්‍රිස්තියානි මරොනිට් වරුන්. ඉරානය හැරුනුකොට ශියා මුස්ලිම්වරුන් මේ ප්‍රදේශයේ දකින්න ලැබෙන්නෙ සංසන්දනාත්මකව ඉතාම සුළු පිරිසක්.

මෙන්න මේ තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවය මතයි ඉරානය විසින් හිස්බුලා හා හමාස් වැනි සංවිධාන පාවිච්චි කරනු ලබන්නේ. 1979 දක්වා පර්සියාව හා ඊශ්‍රායලය එකිනෙකා හා දේශපාලන වෙළඳ සම්භන්ධතා පැවැත්වූ රාජ්‍යයන්. නමුත් ඉරාන විප්ලවයෙන් පස්සෙ මේ රාජ්‍ය දෙක සදාකාලික සතුරන් බවට පත්වෙනවා.

මෙයින් කිසිම විටක පලස්තීන ජාතිකයන්ගේ අනන්‍යතාවය හෝ අයිතිය බැහැර කෙරෙන්නෙ නැහැ. නමුත් සුන්නි මුස්ලිම් ආගම අදහන භහුතර පලස්තීන ජාතික‍යන්ගේ නියෝජිතයා වීමට ඉරානය හෙවත් පර්සියාව උත්සාහ දරන්නේ කුමන හේතුවක් නිසාද යන්න තේරුම් ගැනීමයි අපේ අවශ්‍යතාවය.

බෙන්ජමින් නෙතනියාහු කියන්නෙ ඊශ්‍රායලය නෙවෙයි. ඒ වගේම අලි කුමෙයිනි කියන්නෙත් පර්සියාව නෙවෙයි.

ඉරානයේ ආගමික පාලනය තරුණ ප්‍රජාව විසින් ප්‍රථික්ශේප කරමින් තිබීම අද අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මාශා අමිනී ඝාතනයත් එක්ක පැනනැගුනු මහජන විරෝධය හා අරගලය මර්ධනය කෙරුනේ අවිබලයෙන්. ඉරාන කාන්තාවන් හා තරුණ පරපුර තවමත් පසුවන්නේ සටනකට අවස්ථාවක් සොයමින්. ඒ සමගම අලි කුමෙයිනිගෙන් පසු අධ්‍යාත්මික නායකයා විය යුත්තේ කවුද කියන ගැටළුවටත් ඉරානය අද මුහුනදෙනවා.

ඉරානය හා ඊශ්‍රායලය යුද්ධයකට යාවිද ..? මේ බොහෝදෙනෙක් අහන ප්‍රශ්ණය.

අපි බලමු සංසන්ධනය කරලා මේ රටවල් දෙක.

ජනගහනය – ඉරානය මිලියන 92
ඊශ්‍රායලය මිලියන 9.4
ඉරාන හමුදාව ( පැරා මිලිටරි සහිතව ) – 1,180,000.
ඊශ්‍රායලය. 670,000

මේ සංඛ්‍යාවන් එක්ක බලද්දි ඉරාන හමුදාව අති විශාලයි. යුධ හමුදා හා නාවික හමුදා බල ඇනි වගේම.. යුධ ටැංකි හා යුධ නෞකා ප්‍රමාණයන් සැසඳුවත් ඉරානය පසුවෙන්නෙ ඊශ්‍රායලයට වඩා බොහෝම ඉදිරියෙන්. නමුත් ඉරානය හා ඊශ්‍රායලය අතර දේශ සීමාවන් නැහැ.

ඉරානය තීරණය කලහොත් ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න ඔවුන්ට සිදුවෙනවා ඉරාකය හරහා පලමුවත්.. ජෝර්දානය හෝ සිරියාව හරහා දෙවනුවත් ඊශ්‍රායලය දක්වා ගමන් කරන්න. ඒ අනුව යුධ හමුදා හෝ නාවික හමුදා ශක්තිය මෙතැනදී ඒ තරම් වැදගත් නැහැ. එහෙමනම් වඩා වැදගත් වන්නේ සාධකය වන්නේ මොකක්ද.?

මෙහිදී වඩා වැදගත් සාධකය වන්නේ ගුවන් හමුදාව හා මිසයිල ශක්තිය. ප්‍රහාරක යානා ප්‍රමාණය…. නවීන තාක්ශණය සහිත ගුවන් හමුදාව … පුහුණු ගුවන් නියමුවන්ගේ ප්‍රමාණය සැලකුවහොත් වඩාත්ම බලවත් වන්නේ ඊශ්‍රායල් ගුවන් හමුදාව.

මෙන්න මේ සාධක මතයි ඊශ්‍රායල වඩාත් ආක්‍රමණකාරී පියවරකට පසුබට නොවන්නෙ.

ඊශ්‍රායලය විසින් ඉරාන තෙල් නිෂ්පාදන බිම්වලට හෝ ගෑස් නිෂ්පාදන පද්දතියට ප්‍රහාර එල්ල කලහොත් ඉරාන ආර්ථිකය බිඳවැටෙනවා. ඒත් එක්කම ඉරානය පසුවන්නෙ න්‍යශ්ඨික අවි නිපදවීමේ දොරකඩ. මෙම න්‍යශ්ඨික පර්‍යේශණ කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම බොහොම අණතුරුදායකයි.

ඒත් එක්කම ඉරාන ජනයා එලිපිටම ප්‍රකාශ කරන්න පෙළඹෙනවා තමන්ට යුද්ධයක් අනවශ්‍ය බවත් තමන්ගේ බදු මුදලින් හුතී.. හිස්බුලා වැනි සටන් කන්ඩායම් හෝ කුලී හමුදා නඩත්තු කිරීම අසාධාරණ බවත්. අපි හොඳින් දන්නවා ගාසා තීරයේ හමාස් සංවිධානයත්… ලෙබනනයේ හිස්බුලා සංවිධානයත්… යේමනයේ හුති සංවිධානයත් මෙහෙයවන්නේ ඉරානය විසින් බව. ඉරානය රජයට මේ සංවිධාන අත්‍යාවශ්‍යයි තමන්ගේ ශියා ඉස්ලාම් රාජ්‍ය ගොඩනැගීම සඳහා.

ඊශ්‍රායලය මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සීමා .. නීති රීති උල්ලංඝනය කරමින් ලෙබනනයේ හිස්බුලා බලකඳවුරුවලට පහර දෙන අතරෙම හමාස් හා හිබුල්ලා නායකයන් එකිනෙකා ඝාතනය කරන්නෙ කිසිදු අනුකම්පාවකින් තොරවයි. අද වනවිට හිස්බුලා .. හුතී සංවිධාන මෙන්ම බෙන්ජමින් නෙතනියාහු පසුවන්නේත් යුධමය මානසිකත්වයන් තුල පමණයි.

මේ සියළුම සාධකයන් සලකා බලනවිට තවත් විශාල යුද්ධයකට යාම ඉරානයට වාසිදායක නැහැ.

මේ කතාංදරයේ වඩාත් අවාසනාවන්ත තත්වය නම් ඉරාන බලය.. හමාස් හා හිස්බුලා ක්‍රියාකාරකම්… ඊශ්‍රායල යුධ බලය මැද පලස්තීන ජනයා අමතක කිරීම.

ඉරාන ඊශ්‍රායල් ගැටුමේ සංක්ශිප්තය මේ විදිහට සටහන් කරන්න පුළුවන්.

මෙතැනදී නැවත වරක් මතක් කල යුත්තේ ඉරානය වඩා හොඳයි… මම ඊශ්‍රායලය පැත්තේ… ඉරානය අපේ මිතුරෙක්… මම සහාය දෙන්නේ ඉශ්‍රායලයට … ඉරානය ජයගත යුතුයි වැනි බෙදීම් තව දුරත් වැදගත් නොවන බවත් වඩා වැදගත් වන්නේ මේ කරුණු කාරණා තේරුම් ගැනීම බවත්.

~ Malcolm Sang
(2024.10.13)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...