Wednesday, June 29, 2022
spot_img
spot_img

Latest Posts

එංගලන්තෙට එන සරණාගතයන් රුවන්ඩාවට යැවීමෙන් ලෝකයේ මානව සම්පත ගැන දිගහැරෙන තිත්ත ඇත්ත!

ඊයේ පෙරේදා එංගලන්තෙන් අපූරු පුවතක් වාර්තා වෙනවා. සරණාගත සහාය පතා පැමිණෙන්නන් – නැත්තම් අපි ඔය කියන ඇසයිලම් සීකර්ස් ලා – එංගලන්තයෙන් රුවන්ඩාවට යැවීමට එරට අධිකරණ සහාය හිමිවනවා.

මෙතන සිද්ධ වුනේ මොකද්ද? මිනිස් ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරික ආකෘතිය බිඳදැමීම සහ අනතුරුදායක ක්‍රම හරහා සංක්‍රමණිකයන් රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙම ක්‍රමවේදය යටතේ එංගලන්තේ සංක්‍රමණිකයන් රුවන්ඩාවට පිටත් කර හැරීමට ගුවන්යානයක් සූදානම් කර තිබුණා. රජය ඉකුත් අප්‍රේල් 14 වන දින නිවේදනය කළ පරිදි සැලැස්ම වී තිබුණේ, එක්සත් රාජධානියට පැමිණෙන සරණාගතයන් නැවත දුප්පත් රටවලට පිටත්කර හැරීමයි. ඒ අනුව, ආගමන රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින සරණාගතයන් 30 දෙනෙකු පමණ හෙළි නොකළ ගුවන් සමාගමක් විසින් එක්සත් රාජධානියේ රහසිගත ස්ථානයක සිට රුවන්ඩාවට පිටත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත්, මෙම ක්‍රියාවලිය අනීතික බවත් එමඟින් සංක්‍රමණික ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත් තර්ක කරමින් එම සංක්‍රමණික ජනතාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹ තිබුණා. අදාළ ගුවන්යානය රුවන්ඩාවට පිටත්කර යැවීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

කෙසේවෙතත්, එංගලන්ත මහාධිකරණ විනිසුරු ස්විෆ්ට් මහතා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අදාළ ගුවන්යානය රුවන්ඩාවට පිටත්කර හරින ලෙස නියෝග කරනු ලැබුවා. සංක්‍රමණික ප්‍රතිපත්ති හඳුන්වා දී ආගමනය පාලනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ‘මහජන උනන්දුව’ මත ඇතිවූවක් බවත්, මෙම අධිකරණ ක්‍රියාමාර්ගය තුළ පැමිණිලිකාර පාර්ශවය විසින් මතුකර ඇති ඇතැම් කරුණු ‘ඉතා දුර්වල’ සහ ‘හුදෙක් හිතළු මත පදනම් වූ ඒවා’ බවත් ස්විෆ්ට් විනිසුරුවරයා පවසනු ලැබුවා. ඒ අනුව අදාළ සරණාගතයන් රැගත් ගුවන් යානය මෙම සතිය තුළ රුවන්ඩාවට පිටත්කර හැරිය යුතු බවට ඔහු නිගමනය කරනු ලැබුවා.

මේ පුවත ඇසූ සැනින් ඔබට හිතෙන්නේ කුමක්ද? නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීමට බ්‍රිතාන්‍ය රජය විසින් ගත් විශිෂ්ට ක්‍රියාමාර්ගයක්, නියමයි කියලා ද?

සංක්‍රමණ අයිතීන් වෙනුවෙන් ලන්ඩනයේ රාජකීය අධිකරණය ඉදිරිපිට විරෝධතා | ඡායාරූප: ඒපී

මිනිසුන් සරණාගත පදනම මත යුරෝපීය හෝ ඇමරිකානු රටවලට පලායන්නේ ඇයි? ඒ අන් කවරක් නිසාවත් නොවෙයි – ජීවත් වීමට, තම මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තම මව්රටේ ඉඩකඩක් නොලැබෙන කොට; ජීවිත තර්ජනයක් එල්ල වෙනකොට; ආර්ථික, සමාජීය, සංස්කෘතික හෝ දේශපාලනික වශයෙන් තම පැවැත්ම ප්‍රතික්ෂේප වෙනකොට. තමාට, තම පවුලට හා දරුපැටවුන්ට සුරක්ෂිත අනාගතයක් තැනීමේ බලාපොරොත්තුවෙන් මිස ලොකු ලොකු මාලිගා තැනීමේ සිහිනයෙන් නොවෙයි ඔවුන් තම මව්රට හැර යන්නේ. අපි වගේ පුංචි රටකට මේක තදින්ම දැනෙන්න ඕනේ. සිවිල් යුද්ධය නිසා රටින් පලාගිය ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව අදටත් බ්‍රිතාන්‍යයේ ජීවත් වනවා.

ඇත්ත. මිනිස් ජාවාරම් වැනි නීතිවිරෝධී ක්‍රියා කිසිවක් අපට අනුමත කරන්න බැහැ. එහෙත්, සංක්‍රමණික ගැටළුව මේ තරම් බරපතල අර්බුදයක් බවට පත්ව තිබෙන්නේ ඇයි? බ්‍රිතාන්‍යයට පලා එන සංක්‍රමණිකයන් සියල්ල ත්‍රස්තවාදීන් ද? මිනිස් ජාවාරම්වල ගොදුරු ද? පුද්ගලයකුගේ අතීතය, පවුල් පසුබිම හා සංක්‍රමණික තත්ත්වය මත පදනම්ව ජීවිතය ජයගැනීමට එරෙහිව බඳින වැටකඩුලු වලට මෙසේ රාජ්‍ය අනුග්‍රහය ලබාදීම බරපතල ගැටළුවක් කියලායි මට නම් හිතෙන්නේ. බ්‍රිතාන්‍යයේ සහාය පතා එන සංක්‍රමණිකයන්ට යළි මව්රට බලා පිටත් වීමට රාජ්‍ය මට්ටමින්ම ප්‍රතිපත්ති සම්පාදනය වෙනකොට ඇතිවන හැඟීම කොහොම ඇති ද? සංක්‍රමණිකයන් ලෙස එංගලන්තෙට පලාවිත් ඉතාම කුඩා තැනකින් ජීවිතය ආරම්භ කර අද වන විට ඉහළම පුටුවල ඉන්න පුද්ගලයන් ඇත්තේම නැද්ද? ඔවුන්ට ජීවිතය ජයගැනීමට හැකිවූවා නම් මොවුන්ට නොහැකි වන්නේ කොහොමද?

සංක්‍රමණිකයන්ට කෙළවන්න පිඹුරුපත් සකස් කළ සංක්‍රමණික ගැහැණිය ප්‍රීති පටෙල්!

මිනිස් ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරික ආකෘතිය බිඳදැමීම සහ අනතුරුදායක ක්‍රම හරහා සංක්‍රමණිකයන් රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා රජයට අවශ්‍ය ප්‍රතිපාදන හඳුන්වා දී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් මහත්මිය විසින්. සංක්‍රමණ ප්‍රතිපත්තිය අධිකරණ ක්‍රියාමාර්ගය තුළින් අහෝසි වනු ඇතිද කියා කණස්සල්ලෙන් පසුවූ ප්‍රීති අධිකරණ තීන්දුව ලැබූ සැනින් කියා සිටියේ මෙය සැලකිය යුතු ජයග්‍රහණයක් බවයි!

සංක්‍රමණිකයන්ට එංගලන්තේ ජීවිතයක් ආරම්භ කිරීමට ඇති හැකියාව අවහිර කරන අධිකරණ තීන්දුවෙන් ප්‍රීති ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වී ඇති සැටියකි. ප්‍රීති පටෙල් යනු කවුද?

ඉන්දියානු-උගන්ඩානු සම්භවයක් තිබෙන ප්‍රීති උගන්ඩාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි සංක්‍රමණික පවුලකට දාව උපන් තැනැත්තියක්. උගන්ඩාව වැනි අති දුෂ්කර රටක ඉඳලා එංගලන්තෙට ඇවිල්ලා අද වන විට රජයේ ඉහළම තනතුරක් දරන්න ප්‍රීතිට පුළුවන් වීමත්, එම බලාපොරොත්තුවම දල්වාගෙන එංගලන්තෙට පැමිණි පිරිසක් යළි රුවන්ඩාවට පිටමං කිරීමට පිඹුරුපත් සකස් කරන්නෙත් එම ප්‍රීති ම වීමත් නිකම් දෛවෝපගත සිදුවීමක් වගේ නේද? ඒ කරුණට හිනාවෙන්න ද අඬන්න ද කියලා හිතාගන්න බෑ වගේ නේද?

ප්‍රීති පටෙල් විසින් හඳුන්වා දුන් මෙම සංක්‍රමණ ප්‍රතිපත්තිය ආරම්භයේ පටන්ම විවිධ විවේචන වලට ලක්වුනා. මෙම ප්‍රතිපත්තියේ ඇති මානව විරෝධී ස්වභාවය මුලින්ම අනාවරණය කළේ එරට විපක්ෂය වන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය. ඔවුන් තරයේ කියා තිබුණේ මෙම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට නුසුදුසු, මිල අධික මෙන්ම සදාචාර විරෝධී හා අතිශයින් බ්‍රිතාන්‍යභාවයට පටහැනි කරුණු වලින් සමන්විත වන බවයි. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙම ප්‍රතිපත්තියේ ඇති මානව විරෝධී කරුණු තරයේ විවේචනය කළා පමණක් නොවෙයි, මෙම ප්‍රතිපත්තියට එක්සත් ජාතීන්ගේ සහාය හිමිවන බව පවසමින් ජනතාව නොමඟ හැරීමට ප්‍රීති කටයුතු කර ඇති බව ද චෝදනා කළා.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් | ඡායාරූප: ඉන්ඩිපෙන්ඩන්ට්

හැබැයි අර අර්බුදයක් හමුවේ ඇඟ හිරිවට්ටාගෙන කිසිවක් සිදුනොවුනා මෙන් හැසිරෙන සහ ප්‍රශ්නය මඟහරිමින් අවධානය වෙනතකට යොමුකරන තක්කඩි දක්ෂිණාංශික ගතිලක්ෂණයම එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට කඹුරන ප්‍රීති පටෙල් මනාව ප්‍රගුණ කරමින් ඉන්න පාටයි. ප්‍රීති දිගින් දිගටම තර්ක කරන්නේ මාරාන්තික මිනිස් ජාවාරම් වෙළඳාම බිඳ දමා අවසානයේ ‘ජීවිත බේරා ගැනීමට’ මෙම ප්‍රතිපත්ති හඳුන්වා දෙන බවයි. ජීවිතේ හොයාගෙන එංගලන්තෙට ආපු අසරණයන්ව නැවත ආපු රටටම පිටමං කිරීමෙන් ඔවුන්ගේ ජීවිත බේරෙන්නේ කෙසේද කියා ඒ විදියටම ජීවිතේ හොයාගෙන ආපු අම්මා-තාත්තා කෙනෙකුට දාව උපන් ප්‍රීති ජනතාවට පැහැදිලි කළ යුතුයි!

බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීමේ සහ දරුවන් වැඩිහිටියන් මෙන් සලකා ඔවුන් විවිධ චෝදනාවලට වරදකරුවන් කිරීමේ පරිසරයක් රුවන්ඩාව වැනි රටවල ඇති බවත්, එවන් රටවල ජීවත් වීමට නොහැකිව අසරණ වී ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පැමිණෙන සංක්‍රමණික ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මෙම සංක්‍රමණික ප්‍රතිපත්ති වෙනස් කිරීමට ස්වදේශ කටයුතු ලේකම්වරිය වහා කටයුතු කළ යුතු බවත්, ඒ ඔස්සේ සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් රජයෙන් වඩාත් ඵලදායී පද්ධතියක් නිර්මාණය විය යුතු බවත් ෆ්‍රීඩම් ෆ්‍රොම් ටෝචර්, රිෆියුජි කවුන්සිල් වැනි සංක්‍රමණ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන සහ එරට දැවැන්ත වෘත්තීය සමිතියක් වන රාජ්‍ය හා වාණිජ සේවා සංගමය මෙම අධිකරණ තීන්දුව පිළිබඳ සිය දැඩි කණස්සල්ල සහ දොම්නස පළකරමින් පෙන්වා දෙනවා.

ඔටුනු පැළඳුවත් පීඩිතයාගේ දුක දැනුනු චාර්ල්ස්!

ප්‍රීති පටෙල් ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ තවත් සුවිශේෂී චරිතයක් වන්නේ වේල්සයේ කුමරු. ඔව්! චාර්ල්ස් කුමරු විසින් මෙය ‘භයානක’ ප්‍රතිපත්තියක් බවට හඳුන්වා තිබෙනවා. මෙවන් තීරණයක් සමඟ මෙම මස අග දී රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීමේදී එක්සත් රාජධානිය නියෝජනය කිරීමට පවා තමාට ලැජ්ජා බව ඔහු පවසා තිබෙනවා. රජ පවුලේ හිටියත්, පීඩිතයාගේ දුක චාර්ල්ස් කුමරුට මෙසේ දැනීම අගය කළ යුතු කරුණක්.

වේල්සයේ කුමරු චාර්ල්ස් | ඡායාරූප: හෙලෝ මැගසින්

ප්‍රීති පටෙල්ලාට, නදිම් සහවිලාට, නජාත් වලාඩ්-බෙල්කසෙම්ලාට, උගුර් සහින්ලා ට කැප අනෙකුත් ප්‍රජාවන්ට අකැප සංක්‍රමණය සහ අමනෝඥ විදේශ ප්‍රතිපත්ති!

ප්‍රීති පටෙල් උගන්ඩාවෙන් සංක්‍රමණය වූ දෙපළකට දාව උපන් කාන්තාවක්. ඇය මේ වන විට බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන කාර්යාලයක ලේකම්වරියක්. මීට අමතරව, යම්තම් අවුරුදු 09 දී එංගලන්තෙට බඩගා ආ එවකට ඉංග්‍රීසි බස වත් කතාකර ගැනීමට නොහැකි වූ ඉරාක සරණාගත කොලුවෙකු වූ නදිම් සහවි අද එරට අධ්‍යාපන ලේකම්. ඇල්ජීරියාවේ එඬේර පවුලක ඉපිද අනේකවිධ දුක්කම්කටොලු මැද ගොවිපල කටයුතු වලට උදව් කරමින් ජීවිකාව ගැටගහගත් කුඩා දැරියක වූ නජාත් වලාඩ්-බෙල්කසෙම් අද වන විට ප්‍රංශයේ ජාතික අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරිය. තුර්කියේ ඉපිද විදෙස් ශ්‍රමිකයන් සේ සේවය කළ තමා දෙමාපියන් සමඟ ජර්මනියට පැමිණි උගුර් සහින් නම් දරුවා අද වන විට අන් කවරකු නොව ලොවක් පීඩාවිඳි කොවිඩ් වසංගතය මැඬලීමට බයෝඑන්ටෙක් එන්නත හඳුන්වා දුන් අද්විතීය විද්‍යාඥයා. ප්‍රීතිලා ට, නදිම්ලා ට, නජාත්ලා ට, උගුර්ලා ට එහෙම හරියන කොට ඔවුන් වගේම තවත් සංක්‍රමණික පිරිසකට කෙළවුනේ කොහොමද?

කොවිඩ් වෛරසයට එරෙහි බයෝඑන්ටෙක් එන්නත සොයාගත් විද්‍යාඥයා උගුර් සහින් තුර්කි සංක්‍රමණික පවුලක දරුවෙකි | ඡායාරූප: ෆයිනෑන්ෂල් ටයිම්ස්

මෙලොව වටිනාම සම්පත මානව සම්පතයි. මානව සම්පත කළමනාකරණය කර ගැනීම අප හැමෝගේම වගකීමක්. ආහාර දාමයේ උඩම ඉන්න මිනිසා, ජීවීන් අතර දියුණුම ජීවියා යැයි කියන මිනිසා මේ කළමනාකරණය අසමත් වන්නේ නම් එතන ඇතිවන්නේ සුවිසල් විනාශයක්. අතීතයේ පටන් මේ වනතුරු හටගත් යුද්ධ, ජන සංහාර, පරිසර සංහාර, දේශගුණික අර්බුද, සහ සංස්කෘතික, සමාජීය හා දේශපාලනික ගැටුම් සියල්ලක්ම පාහේ ආරම්භ වී තිබෙන්නේ මේ දුර්වල මානව සම්පත් කළමනාකරණයේ අනිසි ප්‍රතිවිපාක නිසා යැයි මා සිතනවා.

ප්‍රංශයේ ජාතික අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා පර්යේෂණ ඇමතිනී නජාත් වලාඩ්-බෙල්කසෙම් ඇල්ජීරියානු සංක්‍රමණික දැරියකි | ඡායාරූප: ක්ලෝසර්
බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් නදිම් සහවි ඉරාක සංක්‍රමණික දරුවෙකි | ඡායාරූප: ෆුනෑන්සියල් නිව්ස්

සංක්‍රමණික ජනතාවගෙන් එක් පිරිසක් මෙසේ ජීවිතය ජයගන්නා විට තවත් පිරිසකට රාජ්‍ය අනුග්‍රහය ඇතුවම පිටවීමට සිදුවීම දුර්වල විදේශ ප්‍රතිපත්තියක ලක්ෂණයක් කියායි මට සිතෙන්නේ. එක්සත් රාජධානිය අනෙකුත් යුරෝපා රටවල් මෙන්ම දියුණු හා සම්පත්වලින් පිරුණු රටක්. ආරක්ෂාව පතා ඔවුන් සොයා එන ජනතාව මතභේදාත්මක ලෙස තාවකාලික සංක්‍රමණ ස්ථාන වල රඳවා තබා ගෙන, කිසිඳු පුනරුත්ථාපනයක් හෝ අවශ්‍යතා තුලනීක්ෂණයක් සිදුනොකර ත්‍රස්තවාදී හා මිනිස් ජාවාරම් ලේබලය ගසා යළි පිටමං කර හැරීම මා ඉහත කී දුර්වල මානව සම්පත් කළමනාකරණය මත හටගන්නා අර්බුද නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවක් විය හැකියි. පුද්ගලයකුගේ අතීතය, පවුල් පසුබිම හා සංක්‍රමණික තත්ත්වය ඔවුනට ජීවිතය ජයගැනීමට බාධාවක් නොවිය යුතුයි. දියුණු යැයි කියන සමාජ තුළ පවා තිබෙන මෙම විෂමතාවය ඒ ඒ රටවල විශාල අර්බුද නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා. ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සමඟ මතුවූ නොසන්සුන්තාවය, වොෂිංටනයේ කැපිටල් හිල් කෝලාහලය, සෝවියට් බිඳ වැටීම අභියස පුටින් යුක්රේනය සමඟ ඇතිකරගත් වෛරය මීට කදිම නිදසුන්. අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රථම තම අඩුපාඩු අවබෝධ කරගත්තා නම්, නම්‍යශීලී වූවා නම්, විකල්ප මතයට සවන් දුන්නා නම් එම අර්බුදය මුලදීම නිරාකරණය කරගත හැකිව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. නැතිනම් මතුදිනක එය දේශපාලන පෙරළියක් දක්වා වර්ධනය විය හැකියි.

සමහර විට එංගලන්තේ වෙස්ට්මින්ස්ටර්, වොන්ඩ්ස්වර්ත් සහ බාර්නට් සභා වල මැතිවරණ ප්‍රතිඵල වලින් විද්‍යමාන වෙන්නේත් ඒ පෙරළියම වෙන්න පුළුවන්…

ප්‍රමෝද් චින්තක පීරිස් – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.