Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

සිමෙන්ති මිල ඉහළ යාමත් සමඟ ගොඩනැඟිලි සඳහා කැළෑ පාළුවෝ වන සම්පත කෙළෙසති

ශ්‍රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන මූල ද්‍රව්‍යයක් වන සිමෙන්ති මිල අසාමාන්‍ය අයුරින් ඉහළ නැඟීම මත ඇතැම් ඉදිකිරීම් සඳහා සිමෙන්ති සඳහා වන ආදේශකයක් ලෙස දැව යොදා ගැනීමේ නැඹුරුවක් පිළිබඳව වාර්තා වෙයි. විශේෂයෙන් මේ වන විටත් දැව සම්පත මේ තරමකින් හෝ රැකී තිබෙන පළාත් සහ දිස්ත්‍රික්කවල සංරක්ෂිත, රක්ෂිත,ගම්බද සහ වෙනත් යන වනාන්තර මුල් කොට සිදුවන වන සංහාරයන් සැළකිය යුතු ලෙසින් ඉහළ නැංවී ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ.

විශේෂයෙන් නාගරික කලාප වලින් බැහැර කලින් සිමෙන්ති භාවිතයෙන් තැනුණු විවිධ අවශ්‍යතා සඳහා යොදා ගැනුණු ගොඩනැගිලි ඒ ආශ්‍රිත වන පෙත් වලින් ලබා ගන්නා දැව පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් භාවිතා කරමින් තැනීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. ඒ ප්‍රදේශවල නීති විරෝධී ක්‍රම මගින් දැව සපයා ගැනීමේ පහසුව මත සිමෙන්ති සඳහා වැය වන මුදලින් හරි අඩක් වැය කරමින් දැව මගින් එම ඉදිකිරීම් සිදු කළ හැකි බව එම ප්‍රදේශවාසීහු කියති.

wana

එබැවින් ජංගම ඉරුම් පට්ටල මඟින් ඒ සඳහා වන දැව සපයා ඒවා අලෙවි කිරීමේ යාන්ත්‍රණයක් දැන් බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙයි.එම නව නැඹුරුව ඔස්සේ තම පුරුදු ජීවිකාව අහිමි වූ පෙදරේරු වෘත්තිකයන් ද කෙමෙන් මෙම නව ඉදිකිරීම් ක්‍රමෝපායන් හි යෙදෙමින් සිටින බව වාර්තා වෙයි.මෙය අප රටේ තුරුලිය ගහණයට දැඩි අනර්ථකාරී බලපෑමක් එක්ක කරන්නකි.

ගොඩනැගිලි ඉදිකිරීම් ප්‍රභවයක් ලෙස දැව සම්පත භාවිතා කිරීම ලොව බොහෝ රටවල සිදු වන්නකි. තායිලන්තයේ පතායා හි පිහිටි මීටර් 105 (අඩි 344) උස පන්සලක් වන Sanctuary of truth මුළුමනින්ම දැවමය නිර්මාණයකි. මීට අමතරව ෆෝගොං විහාරයේ මීටර් 67 (අඩි 220) උස චෛත්‍යය මීට වසර 900 කට පෙර දැවයෙන් නිමවන ලද්දකි.

එමෙන්ම ලක් ඉතිහාසයේ ද මුළුමනින්ම පාහේ දැවයෙන් නිම කරන ලද ගොඩනැගිලි කොතෙකුත් තිබූ බවට සාක්ෂි එමට ය. දුටු ගැමුණු රජතුමන් විසින් කරනව ලද බව සඳහන් අනුරාධපුර මහා විහාරයේ ප්‍රධාන උපෝසථාගාරය හෙවත් “පොහොය ගෙය” වන ලෝවා මහා පාය ද ගල් කනු පාදමක් ඉදි කෙරුණු සම්පූර්ණ දැවමය නිර්මාණයක් සේ සැලකෙයි.ඊට පෙර හා ඉන් පසු එවන් දැවමය ගොඩනැඟිලි අති විශාල සංඛ්‍යාවක් අප රටේ තිබූ බව පැහැදිලි ය. නමුත්,ඒ එම ඉදිකිරීම් පිණිස වන මූල්‍ය ද්‍රව්‍ය ප්‍රභවයක් ලෙස දැව සම්පත භාවිතා කිරීමේ විධිමත් ක්‍රමවේදයන් තිබූ පසුබිමක් තුළ ය.

විශේෂයෙන් අප රටේ රාජ්‍ය බලය නිරිත දිගට සංක්‍රමණය වීමත් සමඟ රාජකීය ගොඩනැඟිලි පවා දැවයෙන් සකස් කළ බව සනාථ කෙරෙන සාධක බොහෝ ය. එහෙත්, නූත සමාජයේ ජන විඥානය අනුව දැව භාවිතයෙන් නිවාස ඇතුළු ලී ගොඩනැගිලි තැනීම් හුදෙක් අඩු ආදායම් ලාභීන් ගේ කටයුත්තකි. එය ජන වහරේ “ලෑලි ගැසීම” නමින් හැඳින්වෙන අතර කපරාරු කළ බිත්තියකට ඇති සමාජමය අගැයුමක් එවැනි දැවමය බිත්තියකට නැත.විශේෂයෙන් මීට සිය වසකට ආසන්න සමයක සිට නාගරික පැල්පත් ඉදි කිරීමේ දී නාගරික ලී මඩු වලින් ඉවත ලන “පිට ලෑලි” යොදා ගැනීම මත මෙම දැවමය ඉදිකිරීම් සම්බන්ධ සමාජමය අගය අවප්‍රමාණ වී තිබේ.

වර්තමානයේ පෞද්ගලික සන්තක ඉඩමක වුව දැව ප්‍රභවයන් ඉලක්ක කොට රුක් රෝපණය කිරීම කෙරෙහි බොහෝ දෙනෙකුන් යොමු නොවන අතර හුදෙක් දැව ප්‍රභවයන් පිණිසම වගා කෙරෙන තේක්ක ප්‍රවාහනය කිරීම පිණිස පවා බලපත්‍ර ලබා ගැනීමේ අසීරු ක්‍රියාවලියක යෙදීමට සිදුවීම මත අප රටේ පෞද්ගලික වන වගාව තුළ කිසිදු ප්‍රවර්ධනයක් සිදුව ඇති බවක් නොපෙනෙයි. මෙය රජයේ වන සම්පත රැක ගැනීම පිණිස අතීත යටත් විජිත පාලකයන් ක්‍රියාත්මක කළ නීති, රෙගුලාසි තව දුරටත් ඉදිරියට ගෙන යාමකි. එමගින් පෞද්ගලික වන වගාවන් කේන්ද්‍ර කර ගත් දැව ප්‍රභවයන් භාවිතයට ගැනීමට ඇති බාධා ඉවත් කිරීමත් රජය සතු වන සම්පත ආරක්ෂා කරගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් සැකසීමත් ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවයක් ව පවතී.

එමෙන්ම ඉදිරියේ එළැඹෙන ආහාර අර්බුදයට විසදුම් වශයෙන් රජය සතු වගා නොකළ ඉඩම් විවිධ පාර්ශවයන්ට බදු දීමේ ක්‍රියාවලිය තුළින් ද මෙරට තුරුලිය ගහණයට බරපතල හානි පැමිණෙන බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.

දැනට කෘෂිකර්මය සඳහා යොදාගෙන ඇති සහ යොදා ගත හැකි මුඩු ඉඩම් ප්‍රමාණය අප රටට අවශ්‍ය කෘෂි නිෂ්පාදන උත්පාදන කිරීම සඳහා හොඳටම ප්‍රමාණවත් ය. එනිසා කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය කෘෂි තාක්ෂණික ක්‍රම සහ මෙවලම් හඳුන්වා දීමත් වගාවන්ට අවශ්‍ය බීජ, පොහොර සහ පළිබෝධ නාශක ගොවීන් අතට පත් කිරීමත් ය.

නමුදු වර්තමානයේ අප රට තුළ සිමෙන්ති මිල ඉහළ නැංවීමට සාපේක්‍ෂව ඉදිකිරීම් කටයුතු සඳහා අවිචාරවත්ව දැව සම්පත පරිභෝජනයට ගැනීම දිනෙන් දින ඉහළ යාම තුළ දැව ප්‍රභවයන් මුල් කොටගත් විධිමත් ඉදිකිරීම් ඉංජිනේරු තාක්ෂණයක් බිහිවීම් ද අපේක්‍ෂා කළ නොහැක. ඒ තුළින් දැකිය හැක්කේ අතනින් මෙතනින් සොරා කෑ දැව මගින් සිදු කළ නොවිධිමත් ‘ඇටවීම්’ පමණි.

එමෙන්ම වර්තමානයේ අප රට මුහුණ පා ඇති ආහාර අර්බුදය පසෙක තිබිය දී රටපුරා මෙවන් වන සංහාර ජාලයක් ව්‍යාප්ත වුවහොත් එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ජනතාවට ආහාර පමණක් නොව බීමට ඇති දිය බිඳ ද අහිමිව යාමය.

විනිවිද

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.