ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පනත් කෙටුම්පත ජනපතිට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 15 , කොළඹ (LNW):අද (15) ජනාධිපති කාර්යාලයේ දී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබිණි.

කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටි බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023.11.06 දින විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලදී. එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2024.01.08 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි.

එම නිර්දේශ මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත්, ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, 19න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිදභාවය, වෘත්තීයභාවය වගවීම ආදී යහපාලනයන් හා යහ භාවිතයන් ප්‍රවර්ධනය පි‍ළිබඳවත්, කුසලතාවය, සමානාත්මතාවය හා සාධාරණත්වය වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පෝෂණ ව්‍යූහය එනම් පාසල්, දිස්ත්‍රික්,පළාත් හා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ සහිත වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් 2024 පෙබරවාරි 13 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති නීතී‍‍‍‍‍‍ඥ හර්ෂ අමරසේකර, නීතිඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ අධිකරණ අමාත්‍යවරයා විසින් නාම යෝජිත පරිදි නිතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර නීති කෙටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ති මහත්මිය යන පිරිසගෙන් සමන්විතව විද්වත් කමිටුවක් පත් කළ බව පැවසේ.

ජනාධිපති ලේකම් විසින් එම කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් මහත්මිය පත්කළ බව පැවසේ.

පනත් කෙටුම්පත භාරදීමේ අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති සහකාර ලේකම් (අමාත්‍ය මණ්ඩල කටයුතු) සමිත් තලකිරියාව යන මහත්වරුන් ද එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...