සටහන – රුවන් නෙළුගොල්ල
සහල් හිඟයක් ඇතිවීමට හෝ සහල් මිල වැඩිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
ප්‍රශ්නය – මහ කන්නයේ සහල් නිෂ්පාදනයේ අඩුවක් තිබෙන බව විද්වතුන් ප්‍රකාශ කරලා තිබුණා පසුගිය දිනවල. ඒ නිසා සහල් ආනයනය කරන්න වෙන තත්වයක් ඇතිවෙයිද ?
“විද්වතුන් කියන කතාව ඇත්ත. ගිය මාස් කන්නයේ බලාපොරොත්තු වෙච්ච අස්වැන්නට ළඟාවෙන්න පුළුවන් වුණේ නැහැ. මොකද, කාලගුණ තත්වය ගොඩක් හරස්වෙලා නිෂ්පාදනය බිඳවැටීමක් වුණා. ඒකෙන් ඉතින් අපි ජනතාවට අර්බුදයක් ඇතිවෙන්න ඉඩදෙන්නේ නැහැ. අපි මාස් කන්නයේ ගොවි ජනතාවගේ ප්‍රශ්නය විසඳුවා. ඒ කියන්නෙ ඒගොල්ලන්ට හොඳ මිලක් හම්බවුණා. නමුත් පාරිභෝගිකයාගෙ පැත්තෙන් බලද්දී ඉදිරියේදී අභියෝගයක් තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන සහල් ප්‍රමාණය විධිමත් ක්‍රමවේදයක් තුළ විදේශ රටවල්වලින් ගෙන්වා ගන්නවා”
ප්‍රශ්නය – මත්පැන් නිෂ්පාදනය සඳහා සහල් භාවිතා කරන බව ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා. ඒක වැළැක්වීමට වැඩපිළිවෙලක් ඔබතුමන්ලාට තිබෙනවාද ?
“මත්පැන් සඳහා යම් සහල් ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. බඩ ඉරිඟුත් යම් ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ආහාර සුරක්ෂිතතා කමිටුව තුළ සාකච්ඡා කරලා මේ පාර කැබිනට් එකට ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයත් කෘෂිකර්ම අමාත්‍යාංශයත්. ඒකෙදි අපි යෝජනා කරනවා ලංකාවේ සහල් මත්පැන් හෝ බියර් නිෂ්පාදනයට පාවිච්චි කරන්නේ නැතිකරන්න. ඒකට නීති සම්පාදනය කරලා සියලු පියවර ගන්නවා. ඒ වගේම ඒ නිෂ්පාදනත් රටට වැදගත් ආර්ථික වශයෙන් බලද්දී. ඒ නිසා විදේශ රටවල්වලින් කැඩුණු සහල් සහ සහල් අවශ්‍ය වෙන විදියට විධිමත් ක්‍රමයකට රටට ගෙන්වාගන්න සම්මත කළා. ඒ වගේම කැබිනට් තීරණයක් දුන්නා ඒ ගෙන්වන ඒවා කිසිම ආකාරයකට සාමාන්‍ය වෙළඳපොලට එකතුවෙන්නෙ නැතිවෙන්න පියවර ගන්න. කොටින්ම කියනවා නම් ඒ ගෙන්වන ඒවා සතොස සතුව ගබඩා කරගෙන තමයි තියෙන්නෙ. එතකොට එළියට යන්නෙ නෑ. අනිවාර්යයෙන්ම ඒ අදාළ නිෂ්පාදකයින්ට සතොස ළඟ ගබඩා කරගෙන තියාගෙන, ලබාදෙන විධිමත් ක්‍රමයක් තමයි සකස් කරන්නෙ”
ප්‍රශ්නය – සහල් මිල ඉහළ යයිද ?
“සහල් මිල ඉහළ යන්න දෙන්නෙ නෑ අපි කොහොමත්. එහෙම දෙන්නෙ නැත්තේ, අපි තීරණයක නැහැනෙ පිටරටින් ගෙන්වන්නෙ නැහැයි කියලා. ඒ නිසා ඒක සමබර කරන්න අපි පිටරටින් ගෙන්වනවා. පිටරටින් ගෙන්වද්දී අපි සැලකිල්ලට ගන්නෙ, ඒ ගෙන්වන එක වී මිල පහත වැටෙන්න බලපායිද කියන එක. අපි ගොවි ජනතාව ආරක්ෂා කරන්න ඕනෙ නිසා. ගොවි ජනතාව ආරක්ෂා කරන ගමන්ම පාරිභෝගිකයාත් ආරක්ෂා කරන්න ඕනෙ නිසා අපි සහල් ගෙන්වනවා අවශ්‍ය වෙලාවෙදී. සහල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ රටේ. දැන් ඔබතුමන්ලාට මතක නම් විපක්ෂය කියන අදේශපාලනික සත්ව වර්ගයා ගිය සිංහල අවුරුදු සමයට පෙර කිව්වා මේ පාර කිරිබත් කන්නත් හාල් නැතිව යනවා කියලා. ඒ වගේ ජනතාව බියවද්දන දේවල් වෙනවා. ඒ අපේ විපක්ෂය තාම දියුණු නෑ, ඒකයි වෙලා තියෙන්නෙ. ජාතික වශයෙන් හිතන්නෙ නෑ. වාසියක් ගන්න බලන්නෙ. නමුත් ප්‍රායෝගික වශයෙන් කවුරුත් දන්නවා, කිරිබත් කන්න හාල් හිඟවුණේ නෑ. දැනුත් හාල් හිඟයක් ගැන කවුරුහරි කතා කරනවා නම් අපට කියන්න තියෙන්නෙ එහෙම හාල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ කියන එක තමයි”
කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
