සටහන – රුවන් නෙළුගොල්ල
රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිල ඉහළ දැමුවහොත් සහල් මිල ද වැඩිකිරීමට වී මෝල් හිමියන් බලා සිටින බැවින් ගැටලුවක් උද්ගතව ඇති බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“දැනට ගබඩා පිරිලා තියෙනවා කියන එකත් හරි. ඒ ගබඩාවල පිරිලා තියෙන වී දැන් අයින් කරමින් තිබෙනවා. දැන් මේ වෙනකොට අම්පාරේ සුළු වශයෙන් අස්වැන්න එනවා. වැල්ලවාය පැත්තෙත් එනවා, උතුරේ ප්රදේශවලත් සුළු සුළු වශයෙන් එනවා. අපි දැන් වී අලෙවි මණ්ඩලයේ තියෙන වී අලෙවි කරන්න වැඩපිළිවෙලකුත් යොදලා තියෙනවා. ඒ අනුවත් ප්රමාණයන් අඩුකරමින් තියෙනවා. අපේ සැලැස්මේ තියෙනවා දැන් ගොයම් කැපෙන නිසා යල් කන්නයේ වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගන්න. ඒ වගේම තාම තීරණය කරලා නෑ මිල – අපි මාස් කන්නයේ නාඩු ගත්තේ 120ට, සම්බා ගත්තේ 130ට, කීරිසම්බා ගත්තේ 140ට. යල් කන්නයේ පිරිවැය වැඩිවෙලා තියෙනවා, ඇත්ත. කරුණු දෙකක් නිසා. එකක්, ගොයම් කපන්න යන වියදම වැඩිවෙලා තියෙනවා, තෙල් මිල වැඩිවීම නිසා. කුඹුරු හාන්න ගිය වියදමත් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා 137කට වගේ ප්රමාණයකට හෙක්ටර් කොබ්බෑකඩුව වී පර්යේෂණ ආයතනය ගණන් හදලා තියෙනවා මේ වෙනකොට. නමුත් අපි තවම අවසන් තීරණයක් ගත්තෙ නෑ ඒක හෙට අනිද්දා වෙනකොට ගන්න පුළුවන්. ඒ කියන්නෙ වී අලෙවි මණ්ඩලය වී ගන්න මිල ඉහළ දමනවාද, එහෙම නැත්නම් ඒ අයට වෙන සහනයක් ලබාදෙන ක්රමයක් හදනවාද කියලා ගැටලුවක් තියෙනවා. මොකද 150ට විතර ගෙනිච්චොත් – ඔය පහුගිය දවස්වලත් ටිකක් අඩුවට වී ගත්ත මෝල් හිමියෝ සහල් මිල වැඩිකරන්න බලාගෙන ඉන්නවා මේක 150කට විතර අපි ගෙනිච්චොත්. එතකොට පොදුවේ පාරිභෝගිකයින්ට බරපතළ ගැටලුවක් මතුවෙනවා. ඒගොල්ලො සමහරවෙලාවට 100 ට, 95 ට, 105 ට ගත්ත වී. අපි දැන් වී අලෙවි මණ්ඩලයෙන් 150යි වගේ අගයකට ගියොත් එහෙම ඒ මත පදනම් වෙලා සහල් මිල වැඩිකරගන්න පාවිච්චි කරනවා. ඒකෙ ප්රශ්නයක් තියෙනවා. ගොවියාට අපි දෙන සහන වෙනයි. ගොවියාව අපි බේරන්න ඕනෙ, අපේ ප්රතිපත්තිය ඒක. පළමුව ගොවියාට පිරිවැයට සරිලන මුදලක් ගෙවන්න ඕනෙ කියන ප්රතිපත්තියේ ඉඳන් වැඩ කරගෙන යනවා”
කේ. ඩී. ලාල්කාන්ත අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රාසමානික්කම් ශානක්කියන් මන්ත්රීවරයා නැඟූ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


