නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සහිත ඉණිම ක්‍රිඩා කර තිබූ මහනුවර කණ්ඩායමට කොළඹ දකුණ කණ්ඩායම එය අහිමි කළත්, යළිත් එම වාර්තාව, කණ්ඩායමක් හඹා ගිය දැවැන්තම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවත් සමඟ තමන් සතු කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. තරගාවලියේ එතෙක් අපරාජිතව සිටි මහනුවර සහ කොළඹ දකුණු කණ්ඩායම අතර අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී, තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම සිය කණ්ඩායම බවට පත් කර ගත් මහනුවර කණ්ඩායම ලකුණු 357 ක ඉලක්කය කඩුලු 7 ක් දැවී සපුරා ගනිමින් එක ඉණිමකින් වැඩිම ලකුණු වාර්තා දෙකක් සිය නමට ලියා ගැනීමට සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 356 ක් ලබා ගනිමින් ප්‍රබල ඉලක්කයක් මහනුවර කණ්ඩායම හමුවේ තැබිය. එම අසීරු ඉලක්කය හඹා ගිය මහනුවර ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 3 ක් අත ඉතිරිවය.
ජයග්‍රාහී මහනුවර කණ්ඩායම වෙනුවෛන් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් අතරින් කැපී පෙනුණු ආදම් හිල්මි පන්දු 63 කදී ලකුණු 72 ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරන තෙක් කඩුල්ලේ රැඳී සිටියේය. ඔහුට අමතරව දිමන්ත මහවිතාරණ (51), යෝෂිත ඉසුරංග (52) සහ සෙත්මික සෙනෙවිරත්න (53) වශයෙන් අර්ධ ශතක වාර්තා කළහ. මොවුන්ට අමතරවර නායක කවීජ ගමගේ පන්දු 45 කදී ලකුණු 49 ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය දැක්වූවේය.
ජයග්‍රහණය හඹා යෑමේදී මහනුවර කණ්ඩායමේ 5 වැනි කඩුල්ල ලෙස නායක කවීජ ගමගේ සහ 6 වැනි කඩුල්ල ලෙස චනිරු සේනාරත්න මුලු ලකුණු සංඛ්‍යාව 237 දී දැවී ගිය නමුත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ආදම් හිල්මි, සෙත්මික සෙනෙවිරත්න සමඟ පන්දු 63 කදී ලකුණු 86 ක්ද, 8 වැනි කඩුල්ලට නිසල අබේරත්න සමඟ පන්දු 20 කදී නොබිඳුණු ලකුණු 34 ක ද සම්බන්ධතාවක් ද පවත්වමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් රෙහාන් පීරිස් හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 112 ක් ද හිරුන මතීෂ පන්දු 75 කදී ලකුණු 75 ක් ද ලබා සිය කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට යෑම සඳහා අවශ්‍ය ප්‍රධාන අඩිතාලම එක් කළහ. මැද පෙළින් පැමිනි ඔෂාන් ද සිල්වා (46), නායක රමිරු පෙරේරා (33), සහ ජේසන් ප්‍රනාන්දු (27*) අඩු පන්දු සංඛ්‍යාවකින් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ඔවුනට ලකුණු 350 සීමාව ඉක්මවා යෑමට අවස්ථාව උදාවිය.
මේ අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය. මෙය ගාල්ල කණ්ඩායම මෙවර තරග වාරයේදී වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කන්ඩායම පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 209 ක් රැස් කරන කළ අතර ඊට පිළිතුරු ලෙස ගාල්ල කන්ඩායම ප්නදුවාර 48.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණ් 213 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.
තරග දෙකේ ලකුණු සාරංශ පහතින් දැක්වේ.
කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 5 කදී ලකුණු 356 යි – (රෙහාන් පීරිස් 112, සුවහස් ප්‍රනාන්දු 31, හිරුන් මතීෂ 73, ඔෂාන් ද සිල්වා 46, රමිරු පෙරේරා 33, ජේසන් ප්‍රනාන්දු 27, දිනෙත් පීරිස් 12, සුමේධ ප්‍රසාද් 53/3)
මහනුවර කණ්ඩායම පන්දුවාර 49.4 කදී කඩුල 7 ක් දැවී ලකුණු 357 යි – (ආදම් හිල්මි 72, දිමන්ත මහාවිතාරණ 51, පුලීෂ තිලකරත්න 12, යෝෂිත ඉසුරංග 52, කවීජ ගමගේ 49, කෞෂික කුමාරසිංහ 12, සෙත්මික සෙනෙවිරත්න 53, නිසල අබේරත්න 12, රමිරු පෙරේරා 39/2, දිනෙත් පීරිස් 58/2)
ගාල්ලට කඩුල්ලක් ජයක්
දඹුල්ල පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (දිනුග තේවිරු 70, ජනිඳු රණසිංහ 44, රජිත් සමරසිංහ 22, කවීෂ ලියනාරච්චි 15, දිමත් අබේසිංහ 12, මලිත් ද සිල්වා 35/3, විරාන් චමුදිත 28/2, ලිදුන නෙත්මින 42/2)
ගාල්ල පන්දුවාර 48.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 213 යි – (දුල්සිත් දරශන 78 විරාන් චමුදිත 24, විශ්ව සුපුන් 12, චමරිඳු නෙත්සර 40, ගිම්හාන රසාංජන 13, යූරි කොත්තිගොඩ 17*, මහීෂ් සිතුම් 34/2, සනුජ නිඳුවර 35/2, විගේෂ්වරන් ආකාස් 37/2)
