මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් හරක්කටා නමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර ඔහුව සාමාන්ය බන්ධනාගාරයකට යොමුකිරීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයේදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානියා මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යේෂ්ඨ උපදේශකවරයා වශයෙන් ද කටයුතු කළ සාගල රත්නායක මහතාගේ නමත් සඳහන්ව ඇති බව වාර්තා වේ.
ඒ, මෙම විමර්ශනයේදී හේරත් මුදියන්සේලාගේ කොනගෙදර නිර්මාණ ඉන්ද්රජිත් බණ්ඩාර නොහොත් හර්බි යන අයගෙන් ලබාගත් ප්රකාශයට අනුව ය.
ඔහු සිය ප්රකාශයේ එක් තැනක සඳහන් කර ඇත්තේ තමන් ඩුබායිහිදී රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අය හමුවූ අවස්ථාවේදී මෙම කාර්යය සිදුකරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියදී ඔවුන් දෙදෙනා “අපි දැනටමත් චින්තකව මරණ එක නවත්තලා අභය දානය දීලා තියෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂ 500ක් දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට දෙන්න ඕනෙ. ඒ වගේම මාස තුනක් ඇතුළත චින්තකගේ DO එක ගළවන්න ඕනෙ, ඒකට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්තයාට රුපියල් ලක්ෂ 500ක් දෙන්න ඕනෙ. එයා සල්ලි ගන්නෙ නෑ, වෙන ක්රමයකට අපි ඒක කරනවා. සාගල රත්නායක මහත්තයා මාර්ගයෙන් හරි අපි ඒ වැඩේ කරගන්නවා” යැයි දැනුම් දුන් බවකි.
මෙම ප්රකාශය අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් ද ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


