තමන් ඕනෑ තරම් දේශපාලන විවේචන, උද්ඝෝෂණ කර ඇතත් කිසිදු දිනක පුද්ගලානුබද්ධව පුද්ගලයකුගේ කීර්ති නාමය කෙළසන විවේචන සිදුකර නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් මහතා පවසයි.
“ඔබ දන්නවා පාර්ලිමේන්තුව තුළ, මේ පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසේ ඉඳලා මොනම කලබල කිරීමකටවත් මොනම ආකාරයේ උසිගැන්වීමකටවත් වර්තමාන ආණ්ඩු පක්ෂයට ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙන්නෙ කිසිදු හේතුවකට තමන්ගෙ ආසනෙන් එළියට බැහැලා අර අරගලකාරී ලෙස කටයුතු කරන්න එපාම කියලා. එදා සෙංකෝලය ගලවාගෙන දුවන්න ගියත් අපි 159 දෙනාගෙන් එක්කෙනෙක්වත් බැස්සෙ නෑ. ඕනෙ නම් අරන් යන්න කියලා හිටියා. මේක තමා ආදර්ශය දෙන්න ඕනෙ ඉහළින්. ශිෂ්ඨ සම්පන්න සමාජය බිඳවැටීමේ ප්රතිඵල තමයි කවුරුත් දකිමින් ඉන්නේ. ඉතින් අපි කාටත් ගහනවා, ඒක ස්වභාවය. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහත්තයාට එතුමාගෙ කාලෙ බොහොම දරුණු ලෙස ගැහුවා. දේශපාලන විවේචන සහ පුද්ගලානුබද්ධ විවේචන කියලා දෙකක් තියෙනවා. දේශපාලන විවේචන කරන්න පුළුවන්, ඒක කවුරුත් කරනවා. හැබැයි පුද්ගලානුබද්ධ විවේචන තමයි සමාජයක විනාශය වෙන්නෙ. ඉතින් ඒක මේ රටේ පහත් දේශපාලන සංස්කෘතිය නිසායි වෙන්නෙ. මගේ ජීවිතේ, මම ජීවත් වෙන සමාජය මෙතන ඉන්න ගොඩක් අය දන්නවා. දැන් මට බීඩි බොනවා කියලා ගහන්නෙ, මට ඊයෙ සජබ මහත්තුරු මැදිරිගිරියෙ කසිප්පුකාරයා කිව්වෙ. මගෙ ජීවිතේට කොහෙවත් මම කසිප්පු බීලත් නෑ, අම්මා වැදුවාට පස්සෙ මම තව වෙනකල් සිගරට් එකක් බීලාත් නෑ. කිසිදෙයක් මම එහෙම කරලා නෑ, නමුත් ගහනවා. ඒක තමයි අශිෂ්ඨ සම්පන්න සමාජයක ස්වභාවය. ඒක කවුරුහරි මිනිස්සු කළාට ප්රශ්නයක් නෑ, ඒක ඔවුන්ගෙ දැනුමේ ස්වභාවය. නමුත් ඒක දේශපාලන ව්යාපාරයක් විසින් කරනවා නම් ඒක පහත් වැඩක්. අපි ඕනෙ තරම් දේශපාලන විවේචන කරලා තියෙනවා, හැබැයි පුද්ගලානුබද්ධව පුද්ගලයෙකුගේ කීර්ති නාමය කෙළසන විවේචන කරලා නෑ”
ටී. බී. සරත් නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ හිඟුරක්ගොඩ ජයමග විද්යායතන පිරිවෙනෙහි ධර්ම ශාලාව සඟ සතුකොට පුජා කිරීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයකට එක්වෙමිනි.


