*
Wednesday, July 3, 2024
spot_img

Latest Posts

මාතර රැලියෙන් නොසිතූ ප්‍රතිඵලයක් – වැඩේ ලත් තැනම ලොප්ද ? – ආණ්ඩුව ඇතුළේ කසුකුසු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ රැලියක් ඊයේ (30) මාතර කොටුව ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. නිල නොවෙන මට්ටමින් ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ පළවෙනි රැලිය හැටියට තමයි කට්ටිය මේක පෙන්නලා තිබුණේ. කොහොම වුණත් මේ රැලියෙන් පෙන්නුම් කරපු දේවල් ගැන ආණ්ඩුව ඇතුළේ ලොකු කසුකුසුවක් ඊයේ හවස ඉඳන්ම ඇතිවෙලා ලු.

දේශපාලන ආරංචිමාර්ග කියන හැටියට නම් මාතර රැලියෙන් පස්සේ එන ආරංචි එතරම් සුබ නැතිලු.

කංචන විජේසේකර මේ රැලිය සංවිධානය කරනවා කිව්වාම හැමෝම හිතලා තිබුණේ කංචන තමන්ටත් පොහොට්ටුවටත් මාතර තියෙන බලය හැමෝටම පෙන්වන විදියට වැඩේ කරාවි කියලායි. ඒත් සිද්ධ වෙලා තිබුණේ හාත්පසින්ම වෙනස් දෙයක්. බැලූ බැල්මටම රැලියෙන් හයිලයිට් වෙලා තිබුණේ එක්සත් ජාතික පක්ෂය. රටේ විවිධ පැතිවලින් බස් දාලා සෙනඟ ඇදලා තමයි පිට්ටනිය පුරවලා තිබුණේ. ඒ අතරින් එජාප මැද කොළඹ ආසන සංවිධායක කිත්සිරි රාජපක්ෂ (පොඩි චොප්පේ) ගෙනල්ලා හිටපු සෙනඟ වෙනම කැපී පෙනුනා. ඒ අය කොළපාට තොප්පි දාගෙන, කොළ කොඩි වනාගෙන ඉස්සරහින්ම ඉන්නකොට පිටින් බලන අයට පෙනුනේ රැලිය එජාපයේ එකක් ය, කංචනලා ප්‍රසන්නලා එජාප වේදිකාවට ගොඩවෙලා ය වගේ කතාවක්.

මේ සිග්නල් එක ජනාධිපතිවරයාට සහාය දෙන්න හිතාන හිටපු පොහොට්ටුවේ සෑහෙන පිරිසකට ලොකු බලපෑමක් කරලාය කියලායි ආරංචි. මෙහෙම ගියොත් එජාපයෙන් ඡන්දෙ ඉල්ලලාද ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න වෙන්නේ කියලා කට්ටිය කතා වෙනවා ලු.

ඊළඟට රැලියට ආපු ඇමතිවරු ගාණ. ඇත්තටම කංචනලා, ප්‍රසන්නලා මේ රැලිය කරන්න ප්ලෑන් කළේ සෑහෙන කාලෙක ඉඳන්. ඒ කියන්නේ නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම පළවෙනි රැලිය තියපු කාලේ ඉඳන්. මේ අවුරුද්දේ ජනවාරි අග ඒගොල්ලෝ පළමු රැලිය තිබ්බා. ජනාධිපති රනිල් වෙනුවෙන් පාරට බැහැපු පළවෙනි සෙට් එක වුණේ ලන්සා කණ්ඩායම. ඉතින් එදා ඉඳන්ම ලන්සා පිලට වඩා ලොකු වැඩක් කරලා රටට පෙන්වන්න කංචනලාට ප්‍රසන්නලාට වුවමනා වෙලා තිබුණා. ඒත් එයාලාට ඒක කරගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ලන්සලා දෙවැනි රැලියකුත් තියලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හවුලේ තවත් රැලි දෙකකුත් තිබ්බාට පස්සේ තමයි කංචනලා ඔය මාතර රැලිය තිබ්බේ. ඕකත් මැයි මාසේ ඉඳන් දින කල්දදා තිබිලා තමයි ජුනි අන්තිම දවසේ පැවැත්වුවේ.

කොහොමවුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ගෙන්වාගෙන තියපු පළවෙනි රැලිය කංචනලාගේ රැලිය. ඉතින් ජනාධිපතිවරයාත් එන නිසා මේකට විශාල මැති ඇමතිවරු පිරිසක් එකතුවෙයි කියලා තමයි දේශපාලන ක්ෂේත්‍රයේ අය අතර කතාබහට ලක්වෙලා තිබුණේ. ඒත් වැඩේට ඇවිත් හිටියේ ඇමතිලා හතයි. ප්‍රසන්න රණතුංග, මොහොමඩ් අලි සබ්‍රි, රමේෂ් පතිරණ, කංචන විජේසේකර, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ ඩග්ලස් දේවානන්දා කියලා ඇමතිලා හත්දෙනා. ඔතනින් හරීන් සහ මනූෂ කියන්නේ දැන් එජාපයට එකතුවෙලා ඉන්න සජබෙන් ආපු දෙන්නෙක්. ඩග්ලස් දේවානන්දා කියන්නෙත් යාපනේ කුඩා පක්ෂයක් වෙන ඊපීඩීපී පක්ෂයේ නායකයා. එතකොට පොහොට්ටුවෙන් ඉන්නේ ඇමතිලා හතර දෙනයි. ඒකෙනුත් අලි සබ්‍රි කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නඩුවලට පෙනී සිටීම නිසා තෑග්ගක් හැටියට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් හා ඇමතිකමක් ලැබුණු කෙනෙක් මිසක් ඡන්ද තියෙන දේශපාලනඥයෙක් නෙවෙයි. එහෙම බැලුවාම පොහොට්ටුවේ ඡන්ද තියෙන ඇමතිලා එතන හිටියේ තුන් දෙනායි.

ඊළඟට රාජ්‍ය ඇමතිලා තුන්දෙනෙක් විතරයි ඇවිල්ලා හිටියේ. ඒ, මාතලේ රෝහණ දිසානායක, කෑගල්ලේ කණක හේරත් සහ මොණරාගල විජිත බේරුගොඩ. ඔතනිනුත් කණක හේරත්ට හැර අනිත් දෙන්නාට එහෙම ලොකු ඡන්ද පදනමක් නෑ. කොටින්ම කිව්වොත් ඊළඟ පාර පාර්ලිමේන්තු සීට් එක ෂුවරුත් නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියෙත් තුන්දෙනායි. මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, ප්‍රේම්නාත් සී. දොළවත්ත. ඔතනින් වජිර කියන්නේ එජාප සභාපති. මහින්දානන්දට නම් ඡන්ද තියෙනවා, ප්‍රේම්නාත්ට නම් ලබන පාර කොළඹින් ගොඩ එන්න පුළුවන් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි.

ඉතින් මාස ගාණක් පෙරුම් පුරලා, ජනාධිපතිතුමාවත් ගෙන්නලා, හාහා පුරා කියලා තියපු රැලියේ රඟේ මෙහෙම නම් ජනාධිපතිවරණ කැම්පේන් එකක් කරලා ජනාධිපති රනිල්ව දිනවන්නේ කොහොමද කියලා ආණ්ඩුව ඇතුළේ කට්ටිය සැලකිය යුතු පිරිසක් ඊයේ හවසත් රෑත් දුරකථනවලින් කතාබහ වෙලා ලු. ජනාධිපති රනිල්ට සහාය දෙන්න ඉන්න පොහොට්ටුව පැත්තේ සමහරුත් කියන්නේ කංචන ඔය රැලිය තිබ්බාට වඩා නොතියා හිටියා නම් ඒක කංචනට හොඳයි කියලා ලු.

~ රශ්මික ජයශාන්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan