විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම අත්හිටුවමින් යළි පැරණි ක්‍රමවේදය වීසා නිකුත් කරන ලෙස අධිකරණය නිකුත් කළ නියෝගයක් පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට ගොනුකර ඇති චෝදනාවට කොන්දේසි විරහිතව වරද පිළිගත් හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශයක් ද සිදුකළේය.
ඒ, එම නඩුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.
හර්ෂ – “ස්වාමිනි, මේ චෝදනාවලට නිවැරදිකරු බව මං කලින් ප්‍රකාශ කළා. දැන් මම එය ඉල්ලා අස්කර ගන්නවා. මම අදාළ චෝදනාවලට වරදකරු බව කියා සිටිනවා”
විනිසුරු – මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ තිබෙන බරපතළභාවය ගැන ඔබට දැනුමක් තිබෙනවාද ?
හර්ෂ – “ස්වාමීනී, අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසීමක් කළා. එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමක් කරගන්නා ලෙස එහිදී උපදෙස් ලැබුණා. අධිකරණයෙන් පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් එම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන ලෙස එවක අමාත්‍යාශ ලේකම්වරයා මට දැනුම් දුන්නා. මම ඒ අනුව කටයුතු කළා. ඒ අවස්ථාව වන විටත් මම පූර්ව විශ්‍රාම යාමට ඉල්ලීමක් කර තිබුණා. වෙනත් ආයතනයකට ස්ථාන මාරුවක්ද ඉල්ලා තිබුණා”
විනිසුරු – මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඔබට ඉහළ අධිකාරියකින් බලපෑමක් තිබුණද ?
හර්ෂ – “ස්වාමීනි, නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා මට උපදෙස් දුන්නා. ඒ සම්බන්ධයෙන් වාචික මෙන්ම ලිඛිත දැනුම් දීමකුත් සිදුකළා”
විනිසුරු – ඔබ කියා සිටින්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත අදාල අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළ බව නේද ? ඔහුගෙන් උපදෙස් ලැබුණේ කවදාද ?
හර්ෂ – “ස්වාමීනි, මට දිනය හරියට මතක නෑ. මා විදේශගත වීමට පෙරයි එය ලබා දුන්නේ. නමුත් වාචිකව හා ලිඛිතව එම උපදෙස් ලබා දුන්නා”
අධිකරණයේ අවසරය ලබාගෙන හර්ෂ ඉලුක්පිටිය මෙම ප්‍රකාශය සිදුකළ අතර ඉන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තම සේවාදායකයා වැරදි කාලයේ වැරදි තනතුරක කටයුතු කිරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වූ බව පවසමින් ඔහු වරද පිළිගෙන ඇති නිසා ලිහිල්ව කටයුතු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුට දඬුවම් නියම කිරිම පිළිබඳ තීන්දුව ජුලි 24 වනදා ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී නිවේදනය කළේ.
ප්‍රශ්නගත VFS වීසා ගනුදෙනුව සිදුවූ සමයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව අයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ වියානි ගුණතිලක වන අතර අමාත්‍යවරයා වූයේ ටිරාන් අලස් ය.
