ටොරොන්ටෝවේ ‘රොනාල්ඩෝ උන්මාදය’

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW :

රොනාල්ඩෝ උන්මාදයෙන් ටොරොන්ටෝව කැළඹෙයි..

වසර 2009 දී, කොණ්ඩය විලාසිතාවන්ගෙන් හැඩවූ, ප්‍රාතිහාර්යයන් පෑමට සැරසී සිටි 24 හැවිරිදි තරුණ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පළමු වරට ටොරොන්ටෝවට පය තබන විට ඔහු වටා දහස් සංඛ්‍යාත රසික පිරිසක් රොක් වූහ. එදා ඔහු රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ නවතම සුපිරි තරුවයි. හරියටම වසර 17කට පසු, අද එම රොනාල්ඩෝම නැවතත් ටොරොන්ටෝවේ පය ගසා ඇත. ඔහුගේ කෙස් කළඹේ විලාසිතාව වෙනස් වී තිබිය හැකිය, මුහුණේ ප්‍රවීණත්වයේ ලකුණු ඇඳී තිබිය හැකිය, නමුත් ඔහු කෙරෙහි ඇති එම උන්මාදනීය ආකර්ෂණය අබමල් රේණුවකින්වත් අඩු වී නැත. පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙන තීරණාත්මක ‘Round of 32’ තරඟයට පෙර මුළු ටොරොන්ටෝවම ‘රොනාල්ඩෝ උන්මාදයෙන්’ ඇලලී ගොස් අවසන්ය.

වසර 17කට පසුත් නොඅඩුව පවතින ‘රොනාල්ඩෝ උන්මාදය’

2009 දී මෙන්ම අදත් ටොරොන්ටෝ වැසියන් රොනාල්ඩෝ පිළිගත්තේ ඉමහත් භක්තියකිනි. පෘතුගාල කණ්ඩායමේ බස් රථයට ආරක්ෂාව සපයමින් බයිසිකල් කණ්ඩායම් (Biker groups) මහා මාර්ග පුරා පෙළ ගැසී සිටීම මගින් පෙනී යන්නේ ඔහු කෙරෙහි ඇති ගෞරවයයි. කැනඩාවේ වසරේ දැඩිම උණුසුම පවතින දිනය ලෙස සැලකුණද, එය නොතකා රසිකයන් මහ මග අයිනේ සහ උසැති ගොඩනැගිලි මත පවා නැගී සිටියේ සිය වීරයාගේ තත්පර 10ක දර්ශනයක් හෝ දැකබලා ගැනීමටය. වයස අවුරුදු 41ක් වුවද, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු හුදු ක්‍රීඩකයෙකු පමණක් නොව, ලොව ප්‍රබලම ‘ක්‍රීඩා සන්නාමය’ බව මෙහිදී මනාව තහවුරු විය.

සාමාන්‍ය රසිකයාට අතපෙවිය නොහැකි මිල ගණන්

රොනාල්ඩෝ ක්‍රීඩා කරන අවසන්ලෝක කුසලානය මෙය විය හැකි නිසාම, ප්‍රවේශ පත්‍ර මිල ගණන් අදහාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇත. ඇතැම් ප්‍රවේශ පත්‍ර කැනේඩියානු ඩොලර් 30,000ක් (ඇමරිකානු ඩොලර් 21,000ක් පමණ) වැනි උමතු මිල ගණන්වලට අලෙවි වන බව වාර්තා වේ. සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක මිල පවා ඩොලර් 2,500ත් 3,500ත් අතර පවතී. ටොරොන්ටෝවේ පෘතුගීසි අවන්හලක සේවය කරන ජෝයි (Joey) මෙම තත්ත්වය ඉතා සංවේදීව විස්තර කරයි.

“මම තාත්තෙක් සහ ස්වාමිපුරුෂයෙක්, පෘතුගාලය ටොරොන්ටෝවල සෙල්ලම් කරනවා බලන්න කොච්චර ආස වුණත් මට ඒ වගේ විශාල මුදලක් වියදම් කරන්න සාධාරණ හේතුවක් නැහැ.”

මෙම තරඟය ටොරොන්ටෝවේ වෙසෙන ලක්ෂ තුනකට අධික පෘතුගීසි-කැනේඩියානු ප්‍රජාවට ක්‍රීඩාවක් පමණක් නොවේ. එය ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳ කතාවකි. 1950 දශකයේ අසෝර්ස් (Azores) දූපත්වල සිට නැව් නැගී පැමිණි එම පුරෝගාමී මිනිසුන් 18 දෙනා සිහිපත් කරමින් පසුගිය වසරේ ‘Azores Parkette’ නමින් උද්‍යානයක් පවා නගරයේ විවෘත විය. අද ‘ලිට්ල් පෘතුගාලය’ ප්‍රදේශයේ සෑම නිවසකම පාහේ කැනඩාවේ සහ පෘතුගාලයේ ධජ දෙකම එකට ලෙළදෙනු දැකගත හැකිය. මේ හරහා ඔවුන් ලොවට පවසන්නේ සංක්‍රමණිකයන් ලෙස තමන් පැමිණි දුෂ්කර ගමන් මග සහ අත්කරගත් සාර්ථකත්වය පිළිබඳ අභිමානයයි.

පාපන්දු ක්‍රීඩාව පෘතුගීසි ප්‍රජාව තුළ පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන ආකාරය ෂැනන් මැඩෙයිරෝස් (Shannon Medeiros) ගේ කතාවෙන් පැහැදිලි වේ. ඇගේ පියා කැනඩාවට එනවිට ඔවුන් සතුව තිබී ඇත්තේ එකම එක ගමන් මල්ලක් (Single suitcase) පමණක් වන අතර, ඔවුන් කලක් ජීවත් වී ඇත්තේ තවත් පවුලක බිම් මහලකය. එදා ෂැනන්ගේ පියා ඇයට පාපන්දු ඉගැන්වූ අතර, අද ඇය සිය පුතුන්ට එම ක්‍රීඩාව උගන්වයි. කැනඩාවේ වීරයා බවට පත්වූ ස්ටීවන් යුස්ටැකියෝ (Stephen Eustaquio) වැනි ක්‍රීඩකයින්ද මෙවැනිම සංස්කෘතික පසුබිමක නිෂ්පාදනයන්ය. ඔවුන්ට පාපන්දු යනු හුදෙක් විනෝදාංශයක් නොව, පවුල් බැඳීම් තහවුරු කරන ශක්තිමත් සාධකයකි.’

මෙම තරඟය රොනාල්ඩෝගේ අවසන් ජාත්‍යන්තර තරඟය වීමට පවා ඉඩ ඇත. ඔහු මේ වන තෙක් මෙම තරඟාවලියේ එතරම් දස්කම් දක්වා නැතත්, රසිකයන් ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳී නැත. පෘතුගීසි-කැනේඩියානු ජාතික ජොෂ් මැඩෙයිරෝස් (Josh Madeiros) පවසන පරිදි, රොනාල්ඩෝ යනු තවමත් ලොව එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා හෙවත් ‘GOAT’ (Greatest of All Time) වේ. රසවත් කරුණ නම්, ජොෂ්ගේ පෙම්වතිය ක්‍රොඒෂියානු ජාතිකයෙකු වීමයි. “මම හිතන්නේ පෘතුගාලය 2-1ක් ලෙස දිනයි, හැබැයි ඒක මගේ පෙම්වතියට නම් කියන්න එපා,” ඔහු සිනාසෙමින් පවසයි.

ටොරොන්ටෝවේ වීදි පුරා දෝංකාර දෙන මෙම පාපන්දු උද්වේගය ක්‍රීඩාවට පමණක් සීමා වූවක් නොවේ. එය 1950 දශකයේ තනි ගමන් මල්ලක් අතැතිව පැමිණි සීයාගේ සිට, අද කැනේඩියානු ධජයත් පෘතුගාල ජර්සියත් දරා සිටින මුණුබුරා දක්වා දිවෙන දිගු ඉතිහාසයක සැමරුමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...