Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 33 – එක්දහස් දෙවෙනි රෑ

රෑ අටහමාරට හලාවතින් අද්දන අන්තිම බස් එකේ එල්ලිලා හැතැප්ම නවයක් ගිහින් බුදු පිළිමෙ ගාවින් බැහැල, ලියුම්කරුගේ ගැටවර කාලයේ බොහෝ විට පයින් ගියේ කට්ට කළුවරේ. රේල්පාර පැන්නට පස්සේ ගුරු පාර දෙපැත්තේ වැටවල්වල වැවුණු ගිනිසීරියා පඳුරු මැදින් සඳ නැති අහසේ තරු එළිය දිහා බලාගෙන ඇවිදිද්දී, පාර මාරුවෙන මාපිලා හබරලා නාගයා ගැනත් අවධානයක් තියෙන්න ඕනේ. තරු එළියක ලස්සන විඳින්නත් ඕනේ.

මලානිකව සඳ එළිය ගලා ආ, එහෙම ඇවිදගෙන ආව ඒ අතීත සමහර දවස්වල කොහේදෝ ගෙදරක රේඩියෝවක, “ඈත එපිට ගම්මානෙන් නැග එන බට ලී හඬ“  ඉතාම දුක්බර විදිහට ඇහුණා. ප්‍රථම ප්‍රේමයේ නීල නුවන් සිහියට නගා ගත් ගැටවරයා අන්ධකාරය මැදින් ඇවිද්දා. තුන්මං හන්දියට යාබදව තිබ්බ ගෙදර චිමිනි ලාම්පු එළිය පෙනෙන තුරු. අම්මා තාත්තා අන්ධකාරයට ඇස් දල්වාගෙන හිතුවක්කාර පුත්‍රයා එනතුරු බලා සිටිද්දී සුනඛ සුරතලා මීටර තුන් හාරසීයක් ඉස්සරහට දුවගෙන ආවේ ආදරය එන බව දැනිලා.

පෙට්‍රල් ලීටරය රුපියල් දහසකටවත් ගන්න නැති ඉන්ධන අර්බුදය මැද ප්‍රවාහන සේවා දණින් වැටුණ මේ කාලයේත්, කොළඹට තදාසන්න අතුරු පාරක ඇවිදගෙන යන ලියුම්කරුට, දස දහසකට වඩා වටින `ඇවිද්ද පය` සිහිපත් වෙනවා. එහෙම ඇවිද්ද රාත්‍රීන් සිහිපත් වෙනවා. ආදරය වෙනුවෙන් – අධ්‍යාපනය වෙනුවෙන් – මිත්‍ර සමාගමය වෙනුවෙන් – දේශපාලනය වෙනුවෙන් වගේම අනුරාගය වෙනුවෙන් ඇවිද්ද අසිරිමත් රාත්‍රීන්. ඇවිදින්න බැරි දුරවල් ෆුට් සයිකලයකින් ගිය රාත්‍රීන්.

සමහරු රාත්‍රියට බයයි. මැරිච්ච මිනිස්සු අන්ධකාරයේ නැගිටලා එයි කියල අවුරුදු දහස් ගණනක ඉඳල බොහෝ සංස්කෘතීන්වල ජීවත්වෙච්ච මිනිස්සු විශ්වාස කෙරුවා. පුංචිම කාලෙ අපිත් රාත්‍රියට හරි බයයි. ලොකු වෙනකොට රාත්‍රිය අපට බය වුණා. ඩ්‍රැකියුලාගේ සිට මහසෝනා දක්වා යක්කු ඔළුවෙ හොල්මන් කෙරුවට මහපාරේදී කවදාවත් හම්බවෙලා නැහැ. `ස්වදේශීය සේවෙ රහස් පරීක්ෂක කතා තේමා වාදනය` ඇහෙනකොට හිත කීරි ගැහිලා ගිය අපි ; `ඇල්ල ළඟ වළව්වේ` දර්ශනවලට ඇඟ සීතල වෙච්ච අපි ; අද බය වෙන්නෙ රේඩියෝ නාට්‍යවලට ටෙලිනාට්‍යවලට නෙමෙයි ඒ ලස්සන කලාවන්ගේ අනාගතය ගැනයි.

නිදිවර්ජිත රාත්‍රීන් ගණනාවකට පස්සේ `චින්න චින්න ආසෛ` තීරුව රාත්‍රියට වෙන් කරන්න හිතුණා. `ප්‍රේමය` කියන තේමාවට පස්සේ වැඩියෙන්ම ගී සින්දු ලියැවිච්ච තේමාවත් `රාත්‍රිය` වෙන්න ඕනේ. රාත්‍රිය දෙවිදිහකට සංකේතාත්මක වෙනවා සාහිත්‍යය ඇතුළේ. සොඳුරු සහ අඳුරු කෝණ දෙකෙන්ම. හැබැයි ඉතින් අඳුරු බවේ සොඳුරුබව ගැනත් බොහෝ දේ ලියැවිලා තියෙනවා, එකෙන්ම. “රෑ වීලා ඇයි මේ උදේ ?“ කියල අහන මල්ලවාරච්චිම තොටියෙක් වෙලා රෑ ගණ අඳුරේ ඔරුවක නැගිලා සීතල වතුරේ පාවෙනවා. රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා – අලුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා“ කියන්නෙත් ඒ හඬින්මයි.

ලෝකය වෙනස් කරන්නත් රාත්‍රීන් කීයක් දායක වෙන්න ඇද්ද ? ශුද්ධවූ රෝමයේ වහල් කඳවුරුවල, කියුබාවේ සියෙරා මයෙස්ත්රාවේ කඳුකර වනාන්තරවල, රුසියාවේ පෙට්‍රොග්‍රාදයේ මන්දිර අහුමුළුවල, පැරීසියේ උද්‍යාන කෙළවරවල, වියට්නාමයේ ගණ කැලෑවල, චීන ගොවිබිම්වල, ලංකාවේ සිංහරාජයේ සදාහරිත කූඩලු රාජධානිවල ආදී `දත් නොදත් තව බොහෝ තැන්වල`  ලෝකය වෙනස් කිරීම සඳහා වූ රාත්‍රීන් කීයක්නම් ගෙවෙන්න ඇද්ද ? නූතන ලංකාවේ ගෝල්ෆේස් අරගල භූමියේ ටියර් ගෑස් සිනමා ශාලාව, එවැනි රාත්‍රීන් සම්බන්ධ ජීවමාන ගොළු සාක්ෂිකරුවෙක්.

රාත්‍රිය ගැන ලියනකොට ලියාගෙන ලියාගෙන යන්න පුළුවන්. එක තීරු ලිපියකින් ඉවර කරන්න බැරි තරම් රාත්‍රිය දිගයි. රාත්‍රිය සම්බන්ධ කොලාජ් චිත්‍රය එතරම්ම විශාලයි. නයිට් රයිඩර් අපි බැලුවේ රාත්‍රියේ වුණාට ඒ නයිට් සහ රෑ නයිට්‌ අතර වෙනසක් තියෙනවා. මයිකල් නයිට් වගේ කොන්ඩෙ හදාගෙන මළගෙවල්වල නයිට් ගහන්න ගිය කොල්ලොත් හිටියා. කොන්ඩෙ රැවුල ගැන වගේ වගක් නැතුව කට්ට කළුවර නයිට්වල දේශපාලන ෆයිට් එක වෙනුවෙන් පෝස්ටර් ගහන්න ගිය කොල්ලොත් හිටියා. ඒ දෙකම කරපු කොල්ලොත් හිටියා.  

රාත්‍රිය ගැන ලියමින් කළ වචන ඇවිදීම මොහොතකට නවත්වා තුන්මං හන්දියක නැවතී ලියුම්කරු හාත්පස බලනවා. අප්පේ… කී දෙනෙක් නම් බලාගෙන ඉන්නවද අපි දිහා.? එක පැත්තකින්.. “ඝන අන්ධකාරයෙන් මිදී – ලොව දක්නෙමී දෙනෙත් තුළින්“ කියපු ජෝති. “මා තැනු රුවන් විමන් බිඳී – ලෝහිත කඳුලු ගලයි හදින්“ කියල නොකියපු මුත්, “අපි වේලාසන අවදිවුනෙමු“ කියල කිව්ව, හිරු උදාවට කළින් අවදිවෙච්ච විජේවීර තව පැත්තකින්. ජීවිතය බේරාගැනීම සඳහා සුල්තාන්වරයෙක් ඉස්සරහ එක්දහස් එක් රැයක් රාත්‍රී – කතන්දර ; නිශා උල්ලාස ; නිසොල්ලාස කියූ ෂෙහෙරශාද් කුමාරි.. ඈ අහනව මෙහෙම. “මටත් වඩා තියෙනවාද ඔයා ගාව කතා ?“

– විමල් කැටිපෙආරච්චි 

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.