අධිකරණයට පහර දීම යට කුමන්ත්‍රණයකුත්?

උපාලි කොළඹගේ

කොළඹ LNW:ඉහළ අධිකරණවල විනිසකරුවන් ඇතුළු අධිකරණ පද්ධතිය මේ දිනවල දැඩි ලෙස විවේචනයට බඳුන් වෙමින් පවතී. මේ විවේචන සද්භාවයෙන් යුතුව කරන පිරිසක් මෙන්ම යටි අරමුණු ඇතිව සිදුකරන පිරිසක් ද සිටින බව මගේ අදහසයි. මේ විවේචනවල නිමිත්ත වූයේ අභියාචනා අධිකරණවල විනිසකරුවන්ගේ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේය යන විශ්වාසය මත පදනම්වය. නමුත් එවැනි තීරණයක් ආණ්ඩුව තවම ගෙන නොමැති මෙන්ම එවැන්නක් පිළිබඳව කරුණු සලකා බලමින් සිටින බවක්ද ආණ්ඩුව පැත්තෙන් පළවෙයි. කෙසේ වුවත් ගින්නක් නැතිව දුමක් නොනගින්නා සේම මෙහි අර්ධ සත්‍යයක් ඇති බවද අප පිළිගත යුතුය .

කෙසේ වුවද මෙවැනි බරපතළ තීරණයක් කඩි මුඩියේ සිදු කිරීම නොපිළිගත හැකි බව අපගේද අදහසයි. මෙවැන්නක් සිදු කරන්නේ නම් සමාජයේ විවිධ පාර්ශවවලද අදහස් විමසා සිදු කළයුතු බව සත්‍යයකි. එමෙන්ම නවක මහේස්ත්‍රාත්වරුන්ගේ සිට ඉහළම විනිසුරුවන් සඳහා එය ක්‍රියාත්මක කළ යුතුය යන්න අපි කලින්ද කියා සිටියෙමු. තවද ආණ්ඩුවකට මෙවැන්නක් ක්‍රියාත්මක කරවීමේ අවශ්‍යතාවක් පවතී නම් එයද නිශ්චිත ක්‍රමවේදයක් අනුව සිදු කළයුතු බව අවිවාදිතය. එසේ නොමැතිව ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කරන්නේ නම් එය සැකයට බඳුන් වීම නො වැළැක්විය නොහැක .

නමුත් මේ නිසා වෙන් මුළු අධිකරණ පද්ධතියම ගිලන් වීම සිදුවන්නේ නම් එයද ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි.

දේශපාලන අධිකාරිය හා රාජ්‍ය සේවය පිළිබඳව මහජන විශ්වාසයක් නැති වුවද අධිකරණය කෙරේ තවමත් මහජන විශ්වාසය නොසිඳී පවත්නා බව අපගේ විශ්වාසයයි. නමුත් වර්තමාන ව්‍යාකූලත්වය නිසා එයද පළුදු වන්නේ නම් එය ඉතා අනර්තකාරීය යන්න අමුතුවෙන් කිවයුතු නැත. ආණ්ඩු වේ නොහික්මුණු ක්‍රියා කාරකම් නිසා යටි අරමුණු සහිත පිරිසකගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවනට යම් යුක්ති සහගත බවක් ආරෝපණය වන්නේ නම් ඒ ගැනද පුරවැසියන් විමසිලිමත්වියයුතු බව මගේ අදහසයි.

ඉහළ අධිකරණ පිළිබඳව ආණ්ඩුවේ හිතුවක්කාර ක්‍රියා කලාපයට මුලින්ම විරෝධය පළවූයේ සක්‍රීය පුරවැසි කණ්ඩායම කිනි.එය නීතිය පිළිබඳව හසළ දැනුමැති මාධ්‍යවේදීන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් අයත් විය. විද්වත් සමාජ කතිකාවක් ලෙස සමාජ ගතවුවද වර්තමානය වන විට එහි හැඩතල වෙනස්වී සිල්ලර දේශපාලන සටනක් බවට පත්වෙමින් පවතී. අවස්ථාවාදී දේශපාලන ඥයන් මෙන්ම විවිධ චෝදනාවන්ට ලක් වූ පුද්ගල කණ්ඩායම් වලද ආයුධයක් බවට මෙම විද්වත් කතිකාව රූපාන්තරණය වෙමින් පවතී.

මෙහි ප්‍රතිථල අනාගතයේදී ඉතාමත් අනර්ථකාරී වියහැකිය යන්න මගේ අදහසයි.

අධිකරණ පද්ධතිය පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ පවත්නා විශ්වාසය දියාරුවී යෑම මේ නිසා සිදුවිය හැකි යළි ආපස්සට හැරවිය නොහැකි එක් අනර්තයකි. විවිධ බරපතල චෝදනාවන්ට ලක් වී සිටින පුද්ගලයන්ට පවිත්‍රවීමේ මෙවලමක් හැටියට මෙම තත්ත්වය පාවිච්චි කරමින් පවත්නා බවද දක්නට ඇත. මේ සා බැඳුනු ඕපාදූප කතා බොහෝය. මෙහිදී තවත් යමක් කිවයුතු ය. ඉහළ අධිකරණවල පමණක් නොව පහළ අධිකරණවල විනිසුරුතුමන්ලා එම පදවිවලට පියඹා ඇවිත් නැත. තරග විභාගවලට හා සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිට පසුබෑම් හා ජයග්‍රහණයවලට ලක්ව මෙම පදවිවලට ආවාවූ අයය මේ බොහෝ දෙනා. බොහෝ විනිසුරුතුමන්ලා අධිකරණ සේවයේ නොසෑහෙන්න කට්ටකෑ අයවලුන්ය. ඉහළ අධිකරණ විනිසුරුතුමන්ලාද මෙම කාණ්ඩයට අයත්ය. බොහෝ අය ඉහළ තැන්වලට පැමිණ ඇත්තේ මේ ආණ්ඩුවට එන්නට පෙරය. වර්තමාන පදවි තානාන්තර සඳහාද ජනාධිපති නිර්දේශයට අමතරව ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා සභාවේ අනුමතය ලබා ඇත.

නමුත් වර්තමාන සංවාදය තුළ මේ අය ඉතාමත් පහත් තත්ත්වයකට පත්ව ඇත.

ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පිළිබඳ සංවාදයට සත්භාවයෙන් යුතුව දායක වූවන් අපි අගය කරමු. එහෙත් ඒ මුවාවෙන් තම පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ගන්නා ප්‍රයත්නයන් හෙළා දකිමු. බොහෝ දෙනකු උත්සාහ කරන්නේ ඉදිරියේ අධිකරණය මගින් දෙනු ලබන තීන්දු මහජනතාව ඉදිරියේ සැකයට බඳුන් කොට පසෙකින් තැබීමය. එය බලය ලබා ගැනීමෙන් පසු සිදු කෙරෙන කුමන්ත්‍රණ සඳහා ආයෝජන ලෙසද ඔවුන් සලකනවා වියහැක .

මෙම තත්ත්වය අධිකරණ පද්ධතියටම කෙරෙන අපහාසයක් ලෙසය මා සලකන්නේ. මෙහිදී විපක්ෂයේ බොහෝ කණ්ඩායම් එකමුතුය. කොත්තුවකට බොහෝ සමානය. හොරුන් ඇල්ලීමේ හා ඔවුන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියට මාරාන්තික පහරකි. යුක්තිය පසඳලීමේ ආයතන පද්ධතිය තුළ මතභේද ඇතිකිරීම අතිශයින් හානිදායකය. ඉහළ අධිකරණ පමණක් නොව මුළු අධිකරණ පද්ධතියම සමච්චලයට පත්වීම අතිශයින් හානි දායකය.

අධිකරණ පද්ධතිය බිඳහෙලීමේ ව්‍යායාමයේ යෙදී සිටින අය අතර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අනීතිකව ගෙදර යැවීමට දායක වූවන් ජේ. ආර්. ජයවර්ධන තම මිතුරු නීතීඥයකු අග්‍රවිනිශ්චයකාර පදවියට ගෙන ඒමේදී ඊට සහයෝගය පළකළ අයද සිටිති. ඇයි විනිසකරුවන්ගේ නිවෙස්වලට ගල් ගැසීම, එයද අමතක කළ යුතු නැත.

කෙසේ වුවත් ආණ්ඩුවට ඉනිකුණු හිසක් තරම් හෝ මොළයක් ඇත්නම් මෙම යෝජනාව ක්‍රියාත්මක නොකරනු ඇතැයි සිතමි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...