කොළඹ LNW:මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින් කමිටුවක් පත් කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ ගැටුමක් හටගෙන තිබුණු අතර ඉන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
බරපතල තුවාල ලැබූ රැදවූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.
රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව තිබේ.
“බූරු මූණා” නම් පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් නමැත්තා විසින් මෙම ගැටුම මෙහෙයවා ඇති බවත් ඊට හේතුව මත්ද්රව්ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තිබූ අතර ඒ අවට ප්රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබුණි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්, මාධ්ය ප්රකාශක ඒ.සී. ගජනායක මහතා අදහස් දක්වා තිබේ.
“මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. එයින් 36 දෙනෙක් රෝහල් ගත කරලා තියෙනවා. එයින් දෙදෙනෙක් මිය ගොස් තියෙනවා. තවත් තිදෙනෙක් ප්රතිකාර ලබලා පල්ලන්සේන කඳවුර වෙත මාරු කරලා තියෙනවා. මෙම මීගමුව බන්ධනාගාරයේ 2417 ක රැඳවියන් ප්රමාණයක් රඳවලා තියෙනවා. මේ වන විට ඇතුළත තත්ත්වය බන්ධනාගාර නිලධාරීන් විසින් සමථයකට පත් කරලා තියෙනවා. ඊට අමතරව බන්ධනාගාරය පිටත ආරක්ෂාව සම්බන්ධව පොලීසිය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සම්බන්ධ වෙලා තියෙනවා ආරක්ෂාව ලබා දීම සඳහා. මෙය රැඳවියන් අතර ගැටුමක් පමණක් වන අතර නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ. රැඳවියන්ගේ ඥාතීන්ට මේ අවස්ථාවේ මම ඉල්ලා සිටිනවා කිසිදු කලබලයක් හෝ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස. මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් මේ සිද්ධියට අදාළව විමර්ශන කණ්ඩායමක් පත් කරලා තියෙනවා.ඇතුළත පාලනය කිරීමට අදාළව රැඳවියන්ගේ ද සහයෝගය ලබාගෙන මෙය සමථයකට පත් කර ගැනීමට අපිට හැකි වුණ බව වැඩිදුරටත් අපි කියා සිටිනවා. ඔවුන්ගේ මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා වෙත ඉල්ලීම් කීපයක් ද ඉදිරිපත් කරා. ඒ සම්බන්ධව කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් ඒ අවස්ථාවේ රැඳවියන්ට දැනුම් දීමට කටයුතු කරා.”


