සනත්ට ගුග්ලියක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 07, (LNW) කොළඹ :


සනත් ජයසූරිය අතුරු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉදිරියේ දී වැඩ කරන්නට නියමිතය.ඒ ගැන සතුටු වෙන්නට හෝ අසතුටු වන්නට දැන්ම නොහැකිය.එහෙත් අප සතුටු වෙන්නට කැමත්තෙන් සිටිමු.මේ සටහන ඒ අදහසින්ය.අර්ජුන රණතුංග 1996 ලෝක කුසලානය දිනා දුන් නායකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම 1999 වන විට එම නායකත්වයේ බලයෙන්ම විනාශය කරා ගෙන ගිය පසු නැවත ගොඩ නැඟීමේ කාර්යය පැවරුණේ ද සනත් ජයසූරියට ය.ඔහු නායකයෙක් ලෙස අසාර්ථක නොවිණ.අර්ජුණ යටතේ දී සනත් අති සාර්ථක ක්‍රීඩකයෙක් වෙමින් අර්ජුනගේ නායකත්වය බැබලීමට අවශ්‍යය බොහෝ දේ කළ අයෙකි.ඒ අතරින් 199 ට ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වීම මෙන්ම ලෝකයේ වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම ශ්‍රී ලංකාවට ගෙන දෙමින් රැස් කළ ත්‍රිත්ව ශතකය ද විශේෂය.


සනත්ගේ ක්‍රිකට් ජීවිතයට ජනප්‍රියත්වය සමඟ සමීප වූ බොහෝ දේ ඔහු හොඳ නරක නොබලා වැළඳ ගැනීම ද වරින්වර දකින්නට ලැබුණු දෙයකි.ඒ අතර ප්‍රධානම දේ ඔහු මහජන නියෝජිතයෙක් ලෙස පත් වෙන්නට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම මෙන්ම එම මන්ත්‍රි ධූරයේ ද මෙන්ම ලැබුණු අමාත්‍ය පදවියේ දී ද අපේ මිණුම් දඬුවලට අනුව අසාර්ථකවීමය.ලංකාවේ දේශපාලනයේ කලු පැල්ලමක් බවට පත් වී තිබෙන රාජපක්ෂ බලකොටුවේ දේශපාලන අතවැසියෙක් ලෙස ඔහුගෙන් ලැබුණු දායකත්වය ද ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මජරකම් ගැන කතා කරද්දී අත හැරි දැමිය නොහැකි සැළකිය යුතු දායකත්වයකි.
ඔහු තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස ගන්නා ලද තීරණද එතරම් යහපත් නොවිණි.එසේම ඔහු පසුකලෙක ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන් ද දැඬිව විවේචනයට ලක් කරන්නෙකු වූ අතර ඔහුට යම් යම් වගකීම් පැවරුණ ද,ඒවා යළි නිවැරදි නොවිණි.මේ අවස්ථාවද එබඳු අවස්ථාවක් බව පැහැදිළිය.


පිටියෙන් පිටත සිට කණ්ඩායමේ සංයුතියේ සිටම ඔහු බොහෝ දේවල්වල වැරදි දැක්කේය.එහෙත් ඒවා නිවැරදි කළ හැකි ස්ථානකයකදී ඔහු අතින් ද ඒවා නිවැරදි වීමක් සිඳු නොවිණි.පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නොව විනාශ වි ඇත්තේ වෘත්තිමය ගුණාංගය.වනිඳු හසරංග මේ මොහොත වන විට ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ඒ නොමේරුකම්ය.ප්‍රසිද්ධියේ සමාජයට තමන්ගේ කැමති අකමැති දේ පෙන්නීම මෙන්ම ඒවා රට නියෝජනයේදී සුදුසු – නුසුදුසුකම් තීරණය කරන සාධක කර ගැනීම වෘත්තීය මට්ටමේ විශාල දුර්වලකම්ය.


මේවා මෝරා වැඩෙන්නට දුන්නොත් ක්‍රීඩකයෙක්ගේ පෞද්ගලික දක්ෂතාවයකට කළ හැකි දේ ට වඩා රටක් හැටියට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට අහිමිවන දේ වැඩිය.විශේෂයෙන්ම නියම කණ්ඩායම කණ්ඩායම් තරගයකදී වැදගත්ම සාධකය වන අතර නියම ක්‍රීඩකයෙක් ලෙස තිබිය යුතු ඉහළම ගුණාංගය පෞද්ගලිකත්වය පසෙකලා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමය.මේවා අලුත්වැඩියා කිරීමට සනත්ට පුහුණුකරු වගකීමත් සමඟ හැකියාව ලැබේනම් මිස සනත් පිටත සිට පෙන්වා දුන් වැරදි පිටියේ දී එලෙසම පවතිනු ඇත.
ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයින් ගැන ඔහු තනතුරත් සමඟ සිය බලපෑම එල්ල කරමින් හසුරුවන්නට අවශ්‍යය වන්නේනම් මේ මොහොතේ කළ යුතු වැදගත්ම දෙයක් වන්නේ තරග කිහිපයකට වනිඳු හසරංග එල්පීඑල් තරග බිමෙන් ඉවත් කර තැබීමය.ඔහු ඒ තරමටම ප්‍රසිද්ධියේ යළි ගොඩ එන්නට නොහැකි ලෙස තමන්ව විනාශ කර ගනිමින් සිටින මොහොතක ඊට එරෙහිව යමක් නොවන්නේනම් ඔහුගේ ඇති ක්‍රීඩක හැකියාවේ වටිනාකම ද පිටියේ භාවිතාවන් තුළ අවලංගු වී දියව යා හැකිය.


ඇතැම් ක්‍රීඩකයන් පවුල් පිටින් හැසිරෙන්නේ ක්‍රිකට් ආශිර්වාදයක් වී තමන්ගේ පවුල්වලට ළඟා වූ ආර්ථික ශක්තියෙන් උදම් වී තමන්ගේ ඉතිහාසය වසා ගෙන රිදී හැන්දක් අත ඇතිව උපන්නෝ යැයි පෙන්වීමේ උවමනාවෙන්ය.ඒ නිසා ඔවුන් අතින් සමහර විට තමන්ගේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායමට එන්නට පෙර තමන් ජීවත් වූ මට්ටමේ ජීවිතම ගෙවන අය දැඬිව අපහසුවට පත්වන අයුරු වාර්තාවන තත්ත්වයක් ද,සනත් මේ වන විටත් දන්නවා විය යුතුය.මේ සියල්ලම සමඟ එකඟ වෙමින් ක්‍රීඩකයා කුමන තත්ත්වයක හෝ ආරක්ෂා කිරීමේ මූල්‍යමය අවශ්‍යයතාවයක් පමණක් දරා සිටින ක්‍රීඩක කළමණාකරුවන් ගැන ද සනත් හොඳටම දන්නේය.මේ සියල්ලම පිට්ටනියෙන් පිටත සිට ක්‍රිඩාවට කරන බලපෑමක් ද ඇත.එය ද විසඳීම සම්බන්ධයෙන් සනත්,ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව අලුත් මානයක් සැකසිය යුතුය.
කණ්ඩායමේ ඇතුළත සිටින පිරිසට පිටතින් ඇති ආවරණ අතු සහ මුල් ක්‍රිකට්මය ගුණාංගවලින් තොර ‘පිළිලනම්’, කපා ඉවත් කර දැමීමේ කාරණය සනත්ට කළ හැකිනම් වැදගත්ය.සනත්ගේ පත්වීම බරය.ඔහුව ශ්‍රි ලංකා වෙතින් පත් කරන විට,එය සමඟ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කිසිඳු ගැටුමක් ඇති කර ගැනීමක් සිඳු වන්නට ඉඩ නැත.මන්ද ක්‍රීඩා අමාත්‍යවරයා වෙතින් මේ වන විටත් වගකීම් පැවරුණු ඔහුගේ ද විශ්වාසවන්නත සඟයෙක් ලෙස සනත් ස්ථාවරව සිටින බැවිනි.


ඔහුගේ පෞද්ගලික හැසිරිම් අප කිසිවිටෙකත් අදාළ කර ගත්තේ නැත.එවැනි දේ සිඳු කරන මාධ්‍යයන් සමඟද අප එකඟ නැත.අපට අදාළ සනත් වෘත්තීය මට්ටමෙන් එම තනතුරු කරන ආකාරය පමණය.පෞද්ගලක සම්බන්ධතා ඒ ආකරයෙන්ම නඩත්තු කරන්නට සනත්ට අයිතිය ඇති බව අපි විශ්වාස කරන්නෙමු.හැබැයි ඒවා ක්‍රිකට් ඇතුළට නොගෙන පිටතින් තබා ගැනීම වැදගත්ය.ඔබ නිරතුරුව කණ්ඩායම හමුවේ කරන ප්‍රකාශ,ඔවුන් හා වන සංවාදවලට ක්‍රිකට්ම පමණක් සම්බන්ධ කර ගන්න උදව් කර ගැනීම වැදගත් වනු ඇත.
මේ සාමාන්‍ය දඟ පන්දුවක් නොවේය.සනත්ට එරෙහිව වැටුණු ගුග්ලියක්ය.හරියට කියවා ගත්තොත් පන්දුව ඉහළින්ම හතරේ සීමාවෙන් එළියේ තිබිය හැකිය.නැතහොත් එය දැවී යාමක් වනු ඇත.හයේ හතරේ සීමාව ගැන නොසිතා පළමුව නොදැවී සිට එක,දෙක හෝ ලකුණු ලබා ගැනීමත් වැදගත්ය.හොඳ ඉණිම්වල ඇත්තේ හයේ හතරේ ඒවා පමණක් නොවන බව අපට වඩා ප්‍රායෝගික ක්‍රිකට් දන්නා සනත් දන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...