විදේශ සෘජු ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව, ඉහළ විදේශ සෘජු ආයෝජන ප්‍රමාණයක් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය තුළ පැවති අධික ලිපි ලේඛන කටයුතු සහ අයදුම්පත් පිරවීමේ ක්‍රියාවලීන් ඉවත්කර දැමීමට ඒ මහතා උපදෙස් ලබා දී තිබේ.
මෙම විධිමත් කිරීමේ වැඩපිළිවෙල තුළ ආයෝජන මණ්ඩලයෙන් සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවලින් විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීමට ඇති බාධා සහ නිලධාරිවාදී ක්‍රියාකලාපයන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා වෙයි.
විදේශ සෘජු ආයෝජන සඳහා විදේශ ආයෝජකයන් විසින් පිරවීමට තිබූ පිටු 14 ක පමණ දිග අයදුම්පත් තනි පිටුවක අයදුම්පතක් දක්වා කෙටි කිරීමටත්, අදාළ අයදුම්පත් අනුමත කිරීම පැය 24 ක කාලයක් තුළ සිදුකිරීමටත් මෙම නව වැඩපිළිවෙල ඔස්සේ පහසුකම් සලසා තිබේ.
එමෙන්ම, මෙම ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියට අදාළ නීති රෙගුලාසි වඩාත් සරල කොට එම ක්‍රියාවලිය තුළ පැවති නිලධාරීවාදී ස්වභාවය ඉවත්කර දැමීමටත් ඒ මහතා කටයුතු කර තිබේ.
මින් මතුවට, ඉහත කී විදේශ සෘජු ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරෙනු ලබන්නේ මාර්ගගතව වන අතර, මෙමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාවලියේ නව මුහුණුවරක් බිහිවනු ඇති බවයි අමාත්‍යංශ නිලධාරීන් LNW වෙත පැවසුවේ.
2025 වන විට, ශ්‍රී ලංකාවේ වාර්ෂික දේශීය ආයෝජන ඩොලර් බිලියන 07 දක්වා ඉහළ නැංවීමටත්, වාර්ෂික සෘජු විදේශ ආයෝජන ද ඩොලර් බිලියන 07 දක්වා ඉහළ නැංවීමටත් ක්‍රියාකාරී සැලැස්මක් දියත් කර ඇති අතර, මෙමඟින් ශ්‍රී ලංකාව Ease of Doing Business Index ව්‍යාපාර දර්ශකයේ 100 වන ස්ථානයේ සිට 50 වන ස්ථානයට ගෙන ඒමටත්, Global Competitiveness Index ගෝලීය ව්‍යාපාර දර්ශකයේ 85 වන ස්ථානයේ සිට 45 වන ස්ථානයට ගෙන ඒමටත් අපේක්ෂා කෙරේ.
මීට අමතරව, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ද ඇතිව ආයෝජකයන්ට වසර 25 ක කාලයක් දක්වා සහතික කරන ලද බදු ප්‍රතිලාභ ලබා දෙන බව ද ධම්මික පෙරේරා අමාත්‍යවරයා සැලකරයි. මෙමඟින් ශ්‍රී ලංකාවට ආයෝජනය කිරීම සඳහා ඇති තරඟකාරී බව ඉහළ නැංවිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මෙම යෝජනාව යටතේ ඇතැම් අංශ වසර 25ක් සඳහා ආයතනික බද්දෙන්, එකතු කළ අගය මත බද්දෙන් සහ ලාභාංශ බද්දෙන් නිදහස් කෙරෙන අතර, එම අංශ වන්නේ, අධ්‍යාපනය, තොරතුරු සේවා, ගුවන් ප්‍රවාහනය සහ මෝටර් වාහන නිෂ්පාදනයයි.
මීට අමතරව, තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ, 2025 වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ආදායම ඩොලර් බිලියන 1.2 සිට ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීම හා තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා 80,000 සිට 400,000 දක්වා වැඩි කිරීම, සහ 2030 වන විට සංවර්ධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලංකාවක් “ස්මාර්ට්-ශ්‍රී ලංකාවක්” (Smart Sri Lanka) දක්වා වැඩිදියුණු කිරීම ආදී සැලසුම් දියත් කිරීමට ධම්මික පෙරේරා මහතා අපේක්ෂා කරයි.
ස්මාර්ට් ශ්‍රී ලංකා සංකල්පය ඔස්සේ 2030 වන විට නැඟී එන වෙළඳපොලක් රටට අයත්කර දීමටත්, සියලු මහජන සේවා කෘතිම බුද්ධිය (Artificial Intelligence – AI) මත පදනම් වූ ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක් ඔස්සේ පරිහරණය කිරීමට අවස්ථාව සලසා දීමත් ඔහුගේ සැලසුම් අතර වේ.
ඒ අනුව, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, ප්‍රවාහනය සහ සංචාරක කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ස්මාර්ට් සංකල්පය ඔස්සේ සංවර්ධනය කිරීම ධම්මික පෙරේරා අමාත්‍යවරයාගේ සැලසුම වී තිබේ.
MIAP