සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):
හෙළ සිනමාවේ දැවැන්ත වෘක්ෂය ජැක්සන් ඇන්තනී කීවොත් නිවැරදි යැයි සිතමි.
මහා දැනුම් සම්භාරයක් තමන් සන්තක කරගත් කලාත්මක මිනිසෙක් යැයි කියූ සැනින් ඔබට ඒ නම මුලින්ම මතකයට එන්නේ නිතතින්මය.
ඔහු මුහුණ පෑ මාරාන්තික රිය අනතුර නිසා රටක් කම්පා වූ අතර, ඔහුගේ නික්ම යාම කළා ලෝකයට දැවැන්ත පාඩුවකි ,හිඩැසකි.
එලෙස නික්ම ගිය ඔහුගේ 66 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ.
ඔහු 1958 ජූලි 8 වන දින රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ උපත ලැබීය. බොහෝ අය ඔහුව “ජැක්සන්” ලෙස හඳුනාගෙන තිබියදී, ඔහුගේ දෙමාපියන් ඔහුව හැඳින්වූයේ “මල්සි” යනුවෙනි.
ඔහු හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.
ඔහු මෙරට සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය දිග් විජය කළ ප්‍රවීණයෙක් කිව්වොත් නිවැරදියි.
සම්මානනීය කලාකරුවෙක් වන ඔහු හුදු රංගන ශිල්පියෙක් පමණක්ම නොවන අතර අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක්, මාධ්‍යවේදියෙක්, කථිකයෙක්, ඉතිහාසඥයෙක්, දේශකයෙක්, භාෂාඥයෙක්, ගවේෂකයෙක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ගුරුවරයෙක් යන නේකවිධ ක්ෂේත්‍ර ස්පර්ෂ කළ අයෙක්.
සරලවම කිව්වොත් කලාගාරයක් බඳු සොඳුරු මිනිසෙක්.
ඊටත් වඩා ඔහු ආදරණීය සැමියෙක්, පියෙක් වගේම සීයා කෙනෙක්.
මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල භීෂණ, අත්, මෝරා, තාරාවෝ ඉගිළෙති, ඔත්තුකාරයෝ, මෙතැතින් මාරුවෙනු වැනි වේදිකා නාට්‍යවලින් වේදිකාවේ අණසක පැතිර වූ ජැක්සන් ඇන්තනී පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, අප්පච්චි, සූරිය අරණ ,ඇඩ්‍රස් නෑ, උදුම්බරා, ධර්ම යුද්ධය වැනි නිර්මාණවලින් පුංචි තිරය සහ රිදී තිරය බැබළ වූ අග්‍රගණ්‍ය කලාවේදියෙක්.
මේ අසහාය කලාකරුවා අනතුරට ලක් වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධව සිටියදී තලාව ප්‍රදේශයේදී.ඒ ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින්.
ජැක්සන් ඇන්තනී කලාකරුවාණෙනි මිය ගියද ඔබ පෑ දස්කම් ,තවමත් මේ පොළෝ තළය වර්ණවත් කරනු ඇත. දිනෙක ඔබ නැවත මේ මිහිතළය මත අපට හමුවෙනු ඇත.