කාන්තා හිංසනයට සහ ලිංගික අපහරණයට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට පැමිණිල්ලක් ඕනෑ නැත

Date:

බෝමිරිය ප්‍රදේශයේදී පල්ලේගම සුමන නම් භික්ෂුවකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පුද්ගලයින් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. ඒ සිද්ධියට අදාළව පුද්ගලයින් හතර දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ ආකාරයෙන් අත් අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇති බව අද (08) මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ, අදාළ භික්ෂුව විසින් පැමිණිල්ල ඉවත් කරගෙන අදාළ පිරිස සමග සමථයකට පැමිණිම හේතුවෙන් බව තමයි ඒ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙලා තිබෙන්නේ.

කෙසේවෙතත් සිද්ධියට අදාළ වීඩියෝ පට අනුව එතැන පැහැදිලිවම කාන්තාවන් දෙදෙනෙකුව නැවත නැවතත් නිරුවත් කරමින් පහරදීමක් සහ ඔවුන්ගේ බලවත් විරෝධය මධ්‍යයේත් එසේ නිරුවත් කිරීම වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමකුත් සිදුවෙලා තිබෙනවා. ඒ සිදුවීම් කාන්තා හිංසනය සහ ලිංගික අපහරණය ගණයට වැටෙන වැරදි.

එවන් වැරදි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට පොලිසියට කාගේවත් පැමිණිල්ලක් වුවමනා නෑ. තමන්ට ලැබී ඇති තොරතුරු අනුව විමර්ශන සිදුකරලා අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්න පොලිසියට පුළුවන්.

වැඩිහිටි පුද්ගලයින් තමන්ගෙ කැමැත්තෙන් ලිංගික ක්‍රියාවක යෙදීම නීතිමය වරදක් වෙන්නෙ නෑ. එහෙත් මෙතැනදී අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු හෝ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාවන්ට බලපෑම් කර යොදවා ගෙන ඇත්නම් භික්ෂුවට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. අනෙක් කාන්තාව ඊට ආධාර අනුබල දී ඇත්නම් ඇයට එරෙහිවත් නීතිමය පියවර ගන්න ඕනෙ. එහෙම දෙයක් වෙලා නැත්නම් කාන්තාවන්ට හෝ භික්ෂුවට නීතියෙන් ගැටලුවක් නෑ.

එතැනදී ඒ පහරදීම කරන පිරිස බැලුවාම හොඳටම පෙනෙන දේ තමයි ඔවුන් එහෙම හැසිරෙන්නේ බුද්ධාගම හෝ ශාසනය රැකගැනීමේ චේතනාවකින් නෙවෙයි, අර භික්ෂුව හිටපු තැන තමන්ට ඉන්න නැතිවීමේ ඊර්ෂ්‍යාවෙන් කියන එක.

අදාළ භික්ෂුවගෙන් ශාසනිකව විනය විරෝධී වරදක් සිදුවෙලා තියෙනවා නම් දායකයින් හැටියට ඒක සංඝනායක හිමිවරුන්ට පැමිණිලි කරලා විනය පියවරකට යන්න පුළුවන්. භික්ෂුව නීතිවිරෝධී දෙයක් කරලා තියෙනවා නම් ඒක පොලිසියට පැමිණිලි කරලා අධිකරණමය ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන්. එහෙම නැතුව කාටවත් මේ තමන්ට ඕනෑ හැටියට ගෙවල්වලට පැනලා පිරිමින්ට, ගෑණුන්ට පහරදෙන්නයි, ගෑණුන්ව නිරුවත් කර කර පහරදෙන්නයි, ඒවා වීඩියෝ කරලා තමන්ගේ “ශාසනික සේවය” පෙන්නන්න රටවටේ බෙදාහරින්නයි රටේ නීතියෙන් කිසිම ඉඩක් නෑ.

මොනම ආගමක වුණත් පූජකයින්ට කන්න, බොන්න දුන්නා කියලා හෝ මුදල් දුන්නා කියලා ඒ පූජකයින්ගේ වරදකදී ඔවුන්ට පහරදෙන්න අයිතියක් දායකයින්ට ලැබෙන්නෙත් නෑ.

ඒ වගේම තමන්ගෙ පූජකකම භාවිතා කරලා ලිංගික හෝ වෙනත් හෝ බලපෑමක් කාටවත් කරන්නවත් පොලිසියකදී තමන්ගෙ පූජක නිල ඇඳුම භාවිතා කරලා සිද්ධිය යට ගහලා සමථයකට යන්නවත් පූජකයින්ට අයිතියක් හෝ හැකියාවක් ලැබෙන්න විදියකුත් නෑ.

ඒ නිසා මේවා නැවත සිදුනොවෙන්න, කාටත් පාඩමක් වෙන්න අදාළ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීම අතිශයින්ම වැදගත්.

~ දර්ශන වීරසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙහිවල වෙඩිතැබීමේ සැකකරු STF වෙඩි ප්‍රහාරයකින් මරුට !

පසුගිය 18 වනදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය...

අමෙරිකානු මල්ලවපොර පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු මල්ලවපොර ශූරයෙකු...

ප්‍රසිද්ධ බේකරි ව්‍යාපාරිකයෙක් දේශබන්දුට අරන් දුන් ඉඩමක් ගැනත් විමර්ශනයක් ?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් බුලත්සිංහල ප්‍රදේශයේ වටිනා...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අධ්‍යාපනය සුහුරු මෙන්ම මූලික අයිතියක් විය යුතු යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපනය සම්බන්ධ විවාදය හරාත්මක ධනාත්මක ගුණාත්මක...