ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වෙලා මුලින්ම මුහුණ දුන්නු ප්රශ්නය වුණේ අශෝක රන්වලගේ සිද්ධිය. පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී අශෝක රන්වල කථානායකවරයා හැටියට පත්කරගත්තා. ඊට අදාළ යෝජනාව කරපු අගමැති හරිනිත් යෝජනාව ස්ථිර කරපු බිමල් රත්නායකත් ඔහුව හැඳින්වුවේ ආචාර්ය අශෝක සපුමල් රන්වල කියලා. නමුත් පසුව එළියෙන් චෝදනාවක් ආවා අශෝක රන්වලට ආචාර්ය උපාධියක් (PhD) නැතිය, ඔහු ආචාර්ය උපාධිධාරියෙක් විදියට පෙනී හිටපු එක වැරදිය කියලා.
රන්වල ප්රශ්නයට මුහුණ දුන් හැටි
රන්වලගේ පැත්තෙන් මේකට කිව්වේ ඔහු ජපානයේ වසීදා විශ්විද්යාලයෙන් ආචාර්ය උපාධියක් හදාරලා තියෙනවාය, නමුත් මේ මොහොතේ ඊට අදාළ උපාධි සහතිකය ඔහු සතුව නැතිය කියලා කතාවක්. ඇත්තෙන්ම ගත්තොත් මේක එහෙමට බරපතළ චෝදනාවකුත් නෙවෙයි. මොකද රන්වල ආචාර්ය උපාධිය මූලික සුදුසුකමක් වෙන තනතුරකට ව්යාජ සුදුසුකම් පෙන්නලා පත්වෙලා නෙවෙයිනෙ. කථානායක තනතුරට අවශ්ය වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වීමේ සුදුසුකම විතරයි. ආචාර්ය උපාධියක් තබා මූලික උපාධියක්වත් ඒකට අවශ්ය නැහැ. නමුත් මේක සදාචාරාත්මක වශයෙන් ප්රශ්නයක් කියලා හඬ නැගෙද්දී අශෝක රන්වල කථානායක තනතුරින් ඉල්ලා අස්වුණා.
අශෝක රන්වල කියන්නේ දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරපු කෙනෙක්. ඔහු විශ්වවිද්යාල අධ්යාපනය ලබලා, තෙල් සංස්ථාවේ රැකියාවකුත් කරලා, විදෙස්ගතව අධ්යාපනයත් ලබලා, රැකියාවකත් නිරත වෙලා, පළාත් සභා මන්ත්රීවරයෙක් හැටියටත් ඉඳලා සෑහෙන අත්දැකීම් සහ දැනුමක් ලබපු කෙනෙක්. එහෙත් ඔහු අදටත් සාමාන්ය පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් හැටියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන ඉන්නවා. ඔහු තමන්ගේ ඉල්ලා අස්වීම හරහා ජාතික ජන බලවේගයට ලොකු සදාචාරාත්මක වටිනාකමක් ලබාදුන්නා. ඔහු සියල්ලටම වඩා තමන්ට ලැබුණු කථානායකකම ලොකුයි කියලා ඒ තනතුරේ එල්ලිලා ඉන්න හැදුවේ නැහැ.
දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව මෙතෙක් මුහුණ දුන්නු බිහිසුණුම ප්රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. මේ සතියේදී දින දෙකක් තුළ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙක් සහ රැඳවියන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් සියයක පමණ පිරිසක් තුවාල ලබලා තිබෙනවා. ලංකාවේ බන්ධනාගාර තුළ මීට පෙරත් ගැටුම් ඇතිවෙලා තිබුණා, ඒත් එහෙම ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙක් මරණයට පත්වුණේ ඉතිහාසයේ පළමු වතාවට.
හර්ෂණගේ රංගනය
මෙතන පළමු සිද්ධිය වුණේ ජුලි 05 වෙනිදා. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමකින් රැඳවියන් 35 දෙනෙකු තුවාල ලබලා එයින් දෙදෙනෙක් මරණයට පත්වෙලා තිබුණා. ඒ ගැටුම සමථයකට පත් කළාය කියලා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරත් එදා පස්වරුවේ මාධ්යට කියලා තිබුණා. එහෙත් ජුලි 06 වෙනිදා පෙරවරුවේ නැවතත් ගැටුමක් ඇතිවෙලා මහා විනාශයක් සිදුවුණා.
මේ ගැන මාධ්යයට කරුණු දක්වමින් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර තමන් මේ සිද්ධියේ වගකීම භාරගන්න බව කිව්වා. නමුත් පසුව ඔහු පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා වගකීම භාරගන්නවා කිව්වාට තමන් ඇමති තනතුරෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැයි කියලා. කාටහරි ඉල්ලා අස්වෙන්න ඕනෙම නම් විපක්ෂ නායකවරයාට ඉල්ලා අස්වෙන්නය කියලා ඔහු තැනට නොගැලපෙන විහිළුවකුත් කළා. නැවතත් ඔහුට ඉල්ලා අස්වෙන්න කියලා විපක්ෂයෙන් කියද්දී ඔහු ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවත් පටළවමින් කිව්වේ තමන්ව ඉවත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණය, ජනාධිපතිවරයා කිව්වොත් විතරක් තනතුරෙන් ඉවත්වෙනවාය කියලායි.
ජුලි 05 වෙනිදාත් බරපතළ සිද්ධියක් සිද්ධවෙලා රැඳවියන් දෙදෙනෙක් ඝාතනය වෙලා තියෙද්දී ජුලි 06 වෙනිදා නැවතත් බිහිසුණු සිද්ධියක් ඇති නොවෙන්න ක්රියාමාර්ග කීයක් නම් ගන්න තිබුණාද ? සිද්ධියට පාදක වුණු රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවන්න තිබුණා, මීගමුව බන්ධනාගාරයට විශේෂ ආරක්ෂාවක් යොදවන්න තිබුණා, බන්ධනාගාර බුද්ධි අංශ යොදවලා අනතුරුදායක තත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කරලා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවශ්ය නම් හමුදාව වුණත් කැඳවන්න තිබුණා. මේක සුළු සිද්ධියක් නෙවෙයි. නමුත් ඇමතිවරයා ඒ කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ඇතැම් තොරතුරුවලට අනුව ඇමතිවරයාව එදා රාත්රියේ බන්ධනාගාර නිලධාරීන්ට දුරකථනයෙන්වත් සම්බන්ධ කරගන්න ලැබිලාත් නැහැ.
මෙහෙම තමන්ගේ වගකීම් පැහැර හැරලා විශාල මිනිස් ඝාතනයකට ඉඩ සලස්වපු හර්ෂණ නානායක්කාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ලොකු ටෝක් දෙනවා වෙනුවට කරන්න ඕනෑ ඉල්ලා අස්වීමයි. ඒ වෙනුවට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ මළ සිරුරු ඉදිරියේ මාධ්යට පේන්නට හඬාවැටුණාම සියල්ල හරියි කියලා හිතාගෙන ඉන්න බවක් තමයි පේන්නේ. අපි දන්නවා හර්ෂණ කියන්නේ මීට කලකට පෙර තමන්ගේ පියාගේ චිත්රපටිවල රඟපාපු නළුවෙක්. මෙතැනදීත් කඳුළු පෙන්නලා රංගනයක් කරලා තමන්ගෙ පැත්තට අනුකම්පාව දිනාගන්න ඔහු තක්කඩි උත්සාහයක නිරත වන බව පැහැදිලිවම පේනවා. එහෙම නැතිව තමනුත් වගකිවයුතු මේ මරණ ගැන සැබෑ දුකක් ඔහුට තිබුණා නම් ඔහු මෙළහකටත් ඉල්ලා අස්වෙලා.
රන්වලට අස්වෙන්න පුළුවන් නම් හර්ෂණට බැරි ඇයි ?
ජාතික ජන බලවේගය කියන්නේ අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා වගකීම සහ වගවීම ගැන පොරොන්දු දීපු දේශපාලන පක්ෂයක්. හැට අට ලක්ෂයක් ජනතාව ඔවුන්ට ඡන්දය දුන්නේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අපේක්ෂාවෙන්. අශෝක රන්වල සිද්ධියේදී ඒ දේශපාලන සංස්කෘතියේ වෙනස කාටත් දැකගන්න ලැබුණා. නමුත් හර්ෂණ නානායක්කාරගේ මේ සිද්ධියේදී නම් තවමත් පේන්නේ පරණ මජර දේශපාලන සංස්කෘතියම විතරයි. රන්වලට අස්වෙන්න පුළුවන් නම් හර්ෂණට බැරි ඇයි ?
කැබිනට් ඇමතිකමක් කියන්නේ විශාල බලයක්. ඒකට සමගාමීව අධි සුඛෝපභෝගී ජීවිතයකුත් ලැබෙනවා. නමුත් ජාතික ජන බලවේගය පොරොන්දු වුණු දේශපාලන සදාචාරය ඊට වඩා ගොඩාක් ඉහළින් තියෙන්න ඕනෑ එකක්. බලයට තියෙන කෑදරකමක්, ඇමතිකම පිළිබඳ තණ්හාවත් හැර මනුෂ්යයෙක් වශයෙන් වෙනත් කුමන හෝ ගුණාංගයක් තමන් සතුව තියෙනවා නම් හර්ෂණ නානායක්කාර දැනටමත් අධිකරණ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා තිබිය යුතුයි. ජාජබ හැමවෙලාවෙම කිව්වේ ඔවුන්ගේ දේශපාලනය ස්වේච්ඡා සේවයක් කියලානෙ, ඉතින් දේශපාලනය කරන්න ඇමතිකම් අවශ්යම නැහැනෙ. ඔහුටත් රන්වල වගේ සාමාන්ය මන්ත්රීවරයෙක් හැටියට දේශපාලනය කරන්න පුළුවන්. ඒ වගේම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන සිදුවෙන විමර්ශනයක සුජාතභාවය ගැන අනාගතයේ ප්රශ්නයක් ඇති නොවෙන විදියට ඇමතිකමෙන් ඉවත්වෙලා ඊට මුහුණ දෙන්න ඕනෑ ඔහු.
එහෙත් ජාතික ජන බලවේගය පොරොන්දු වුණු දේශපාලන සදාචාරයට වඩා හර්ෂණ නානායක්කාරට තමන්ගේ ඇමති සැප ලොකුයි නම්, ඇමතිකමෙන් අයින් වෙලා විමර්ශනයකට මුහුණ නොදී ඔහු තමන්ගේ කුණු ටික ජනාධිපතිවරයාගේ ඇඟේ සහ ආණ්ඩුවේ තවරන්න හදනවා නම්, එහෙම ඇමති නළුබට්ටෙක් කැබිනට්ටුවේ තියාගෙන ඉන්නවාට වඩා ඔහුව එළියට දාන්න ජනාධිපතිවරයාත් තීරණය කළ යුතුයි. තමන්ට රැකගන්න ආත්ම ගෞරවයක් නැහැයි කියලා හර්ෂණම ඔප්පු කරනවා නම් ජනාධිපතිවරයා තවදුරටත් ප්රමාද වීමෙන් තේරුමක් නැහැ.
~ රජිත විරාජ්


