එහෙම තමයි ක්ලැරා ෆිල්ම් එක වගේ එකක් රිලීස් වෙන්න ඕන ….

0
235

චිත්‍රපටියකට කොළඹින් පිටත දකින්න ලැබුණු grand premiere එකක් පසුගිය දවසක දකින්න ලැබුණා. ඒ ක්ලැරන්ස් – Rhythm of Guitar (C-RG) ෆිල්ම් එකේ. නුවර වීදි සරණ පෙරහරක් වගේ ඒක. සංදර්ශනාත්මක වැඩක්. එහෙම තමයි ක්ලැරා ෆිල්ම් එක වගේ එකක් රිලීස් වෙන්න ඕන. දැන් සෙනග පිරිලා ඒක ප්‍රදර්ශනය කෙරෙනවා. චිත්‍රපට නිෂ්පාදක කෙනෙක් හැටියට තුසිත විජේසේන තමන්ගේ කාර්යය හරියට කරලා තියෙනවා. චිත්‍රපටි කර්මාන්තයේ දියුණුවට මේ වගේ මැදිහත්වීම් වැදගත්.

ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත, ඒ හා සම්බන්ධ චරිත පදනම් කරගෙන, ඕන නම් බලන් ඉන්න, බැරි නම් අහගෙන ඉන්න පුලුවන් තාත්වික නොවන නිර්මාණයක් C-RG. මෙහි එන දර්ශන තල සුරංගනා කථාවක වගේ රමණීයයි. ගමේ වීදි, බාලිකා පාසල්, ඇඳුම් පැළඳුම්, කන්‍යාරාම, මඩ කඳුළක් නොතැවරුණු පරණ යාන වාහන, නගරයේ සිනමාශාලා, pubs, recording studios එකම ෆැන්ටසියක්. අධියථාර්ථවාදී පිවිසුමක්ද කියලා වෙලාවකට හිතෙනව.

සමහරක් චිත්‍රපටිවල මෙහෙම දකින්න ලැබෙන්නේ වැරදීමකින්. එහෙම නැත්නම් නිෂ්පාදන සැළසුමේ (production design) දුර්වලකමක් නිසා. රත්නපුර ගමේ ඉන්නේ කොළඹ හතේ වත් නැති කට්ටිය වගේ. එක සරම් කාරයෙක් දැක්කද මතක නෑ. සිද්ධාර්ථ කුමාරයාට සතර පෙර නිමිති දකින්න නොලැබෙන්න සුද්ධෝදන රජ්ජුරුවෝ හදපු පරිසරය වගේ. මේක හිතා මතා කරපු දෙයක් කියලා හිතෙන්නේ නළු නිළියන්ගේ රඟපෑම් දැක්කහම. ඔවුන් රඟපාන්න බැරි අය නෙවෙයි . ඒ උනාට රඟපානවාට වඩා රඟපානවා.

ගී තනු විතරක් ඇත්ත ක්ලැරන්ස් ගෙන් ගන්න. ඒවාට අලුතෙන් එක් කෙරුණු සංගීත සංයෝජන, ගායනා හරි අපූරුයි. ඇත්ත ලංකාවේ ඇති අනික් සියලු දේවල් අමතක කරන්න. Pop-corn එකක් අරන් ෆැන්ටසි ලෝකයක තනි වෙන්න. සාම්ප්‍රදායික සිනමාවේ රීති පැත්තකින් තියන්න. ක්ලැරන්ස් Rhythm of Guitar බලන්න යන්න.

~ අසෝක හඳගම