*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

එංගලන්තයේ වැඩ වර්ජන (අවම සේවා) පණත

ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී දැකිය හැක්කේ ඔය තත්ත්වය. හැබැයි ධනවාදය දියුණු වෙද්දී ඔය සම්බන්ධය දියාරු වී යනවා.

ගොඩක් රටවල සමාජ සම්මතය තුළ ප්‍රාග්ධනහිමියන් එකතු වී කාටලයක් සේ කටයුතු කිරීම නරක දෙයක් ලෙස සැලකෙනවා. ඇතැම් රටවල මේ සමාජ සම්මතය යම් ආකාරයක නීතියක් වෙලා තිබෙනවා. නමුත් ශ්‍රමය සම්බන්ධව තියෙන්නේ වෙනස් සම්මතයක්. ශ්‍රමිකයින් එකතු වී කාටලයක් සේ කටයුතු කිරීම ගොඩක් වෙලාවට නරක දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. ඒ පමණක් නෙමෙයි. ගොඩක් රටවල එය මූලික අයිතිවාසිකමක්!

මේ වෙනසට හේතුව ශ්‍රමිකයින් සතුව නැති හෙට්ටු කිරීමේ බලයක් ප්‍රාග්ධනහිමියන් සතුව තිබෙනවා කියන අදහස. ඓතිහාසික තත්ත්වයන් දිහා බැලුවොත් කතාවේ වැරැද්දක් නැහැ. ශ්‍රමිකයන්ගේ කාටල වලට සමාජයීය හා නෛතික පිළිගැනීමක් ලැබෙන්නේ ඔය තත්ත්වයත් එක්ක.

ධනවාදයේ මුල් අදියරේදී ප්‍රාග්ධනහිමියන් ඉන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ නිසා, ඔවුන් අතර තරඟය අඩුයි. ඊට සාපේක්ෂව ශ්‍රමිකයෝ “ඕනෑ තරම්” ඉන්නවා. ඒ නිසා, ශ්‍රමිකයින් සතුව නැති හෙට්ටු කිරීමේ බලයක් ප්‍රාග්ධනහිමියන්ට ඇත්තටම ලැබෙනවා. “ශ්‍රමය සූරාකෑම” කියන අදහස මතු වෙන්නෙත් ඔය තත්ත්වයත් එක්ක.

“වෘත්තීය සමිති” කියන්නේ ශ්‍රමිකයින්ගේ කාටල. ඓතිහාසිකව බැලුවොත් ශ්‍රමිකයින්ගේ තත්ත්වය වඩා යහපත් කර ගැනීමට වෘත්තීය සමිති ලෙස සංවිධානය වීම උදවුවක් වී තිබෙනවා. නමුත් ධනවාදය දියුණු වෙද්දී ප්‍රාග්ධනහිමියන් හා ශ්‍රමිකයින් අතර තිබෙන බල අසමතුලිතතාවය ක්ෂය වී යන නිසා වෘත්තීය සමිති වලින් සිදු වූ ඓතිහාසික කාර්ය භාරය තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ.

තරඟකාරී නිදහස් වෙළඳපොළක අවසාන වශයෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනහිමියාටත් ලැබෙනවා. වඩා සරල භාෂාවකින් පැහැදිලි කළොත් ශ්‍රමිකයෙකු අලුතෙන් එකතු වීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වටිනාකම මුළුමනින්ම එම ශ්‍රමිකයාට ලැබෙනවා. ප්‍රාග්ධනය එකතු කිරීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වටිනාකම මුළුමනින්ම එම ප්‍රාග්ධනහිමියාට ලැබෙනවා. මෙය ඉතාම සාධාරණ බෙදීමක්.

“වෘත්තීය සමිති” වලට කාර්ය භාරයක් තියෙන්නේ කවර හෝ හේතුවක් නිසා ඔය වැඩේ නොවෙන තත්ත්වයක් යටතේදී. හරියටම කිවුවොත්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයක් යටතේදී. ඒ වගේ තත්ත්වයක් යටතේදී ශ්‍රමිකයෙකුට තනිව හෝ සාමූහිකව හෙට්ටු කරලා ලබා ගත හැකි අතිරික්තයක් තිබෙනවා.

දියුණු ධනවාදයක් ඇතුළේ ශ්‍රමිකයෙකුට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබී යන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද වෙළඳපොළක එකම නිෂ්පාදනය කරන සමාගම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා, ඕනෑම ආකාරයක ශ්‍රමය විකිණිය හැකි විකල්ප අවස්ථා තිබෙනවා. තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවය ලැබෙන්නේ නැත්නම් ඉන්න තැනින් අයින් වෙලා වෙන තැනකට යන්න පුළුවන්.

ඒ විදිහට ශ්‍රමිකයෙක් අයින් වෙලා ගියාම අදාළ ව්‍යවසායකයාට වැඩි අපහසුවක් නොමැතිව වෙනත් අයෙකු බඳවා ගන්න පුළුවන් වුනත්, ඒ අලුත් ශ්‍රමිකයාගේ ශ්‍රමය මිල දී ගන්න වෙන්නේ එහි ආන්තික ඵලදායීතාවය ගෙවලා. ඒ නිසා, ඉන්න ශ්‍රමිකයාට අඩුවෙන් ගෙවලා යන්න අරින එකේ තේරුමක් නැහැ. ඔය තත්ත්වය තුළ හැම වෙලාවකම වගේ ව්‍යවසායකයෙකු විසින් ශ්‍රමිකයෙකුට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ගෙවන්න පෙළඹෙනවා. ඒකට ඒ තරම් හෙට්ටු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔය වැඩේ වෙන්නේ දියුණු වෙළඳපොළක් ඇත්නම් පමණයි.

ඉහත හේතුව නිසා දියුණු වෙළඳපොළක් තිබෙන රටවල වෘත්තීය සමිති වලින් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසාම, වෘත්තීය සමිති විදිහට සංවිධානය වීමේ අයිතිය තිබුණා කියලා ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට වෘත්තීය සමිති තිබෙනවා කියන එක පේන්නෙවත් නැහැ.

උත්ප්‍රාසජනක දෙයක් වන්නේ දැන් ගොඩක් වෙලාවට වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය පේන්න තියෙන්නේ රාජ්‍ය අංශය ඇතුළේ වීමයි. එයින් අදහස් වන්නේ පෞද්ගලික අංශයේ ශ්‍රමිකයෙකුට සාමාන්‍යයෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලැබෙනවා කියන එකයි. ඒ නිසා සාමූහිකව හෙට්ටු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

මේ වෙද්දී බටහිර රටවල රාජ්‍ය අංශය ක්‍රියාත්මක වෙන්නේ පොදු සේවා සැපයීම තුළයි. ඇමරිකාවේනම් එවැන්නක් සිදු වෙන්නෙත් නැති තරම්. ඒ නිසාම, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලට ඉඩක් හෝ අවස්ථාවක් නැති තරම්. නමුත් යුරෝපයේ තත්ත්වය වෙනස්. රටෙන් රටට තත්ත්වය වෙනස් නමුත් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ පොදු සේවා සැපයීමේදී ගොඩක් වෙලාවට රාජ්‍ය ඒකාධිකාරයක් හෝ ඊට ආසන්න තත්ත්වයක් දකින්න පුළුවන්.

උදාහරණයක් විදිහට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සැලකුවොත් එම ආයතනය එරට ලොකුම රැකියා සපයන්නා පමණක් නෙමෙයි රැකියා සැපයීම අතින් ලෝකයේම පස්වන තැන සිටින ආයතනය. ඊට වඩා වැඩි පිරිසකට සේවා සපයන ආයතන වන්නේ ඇමරිකාවේ, ඉන්දියාවේ හා චීනයේ ආරක්ෂක අංශ හා ඇමරිකාවේ වෝල්මාට් ආයතනය පමණයි. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය මිලියන 1.7කට සෘජු ලෙස රැකියා සපයනවා.

මේ වගේ රාජ්‍ය ඒකාධිකාරයක් වෙනුවෙන් සේවය කරන කෙනෙකුට තමන්ගේ ආන්තික ඵලදායීතාවය මැනගත හැකි සම්මතයක් නැතිව යනවා. මොකද සේවය හැර ගියොත් ගොඩක් වෙලාවට රට ඇතුළේ වෙනත් විකල්ප රැකියා සපයන්නෙක් නැහැ.

රාජ්‍ය අංශය විසින් සපයන මෙවැනි පොදු සේවාවන් සමහර වෙලාවට නොමිලේත්, තවත් සමහර වෙලාවට සුබසාධිත මිලකටත් සපයනවා. හරියටම කිවුවොත් බදු මුදල් වලින් මෙවැනි සේවාවන් සුබසාධනය කෙරෙනවා. ඒ නිසා, මිල, ආදායම හෝ ලාබය තව දුරටත් සපයන සේවාවේ වටිනාකම පිළිබඳ නිර්ණායකයක් වන්නේ නැහැ. ඒ නිසාම, ආයතනයේ ලාබ හෝ පාඩු වලින් එම ආයතනයේ සේවකයින්ගේ ශ්‍රමයේ ඵලදායීතාවය මැන ගන්න බැහැ.

ඉහත තත්ත්වය තුළ පොදු සේවා සපයන රාජ්‍ය ආයතනයක සේවකයෙකුට ආයතනය සමඟ තනිව හෙට්ටු කරන්න අසීරු වෙනවා. මොකද එහෙම හෙට්ටු කරලා රස්සාවෙන් යන්න වුනොත් රට හැර යනු හැර වෙන යන්න තැනක් නැහැ. ආයතනය ගොඩක් විශාල නිසා එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා ආයතනයට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, හෙට්ටු කිරීමේ හැකියාව අතින් ශ්‍රමිකයා හා ආයතනය අතර පැහැදිලි බල වෙනසක් තිබෙනවා.

ඔය වගේ ආයතනයක සේවකයින් බහුතරය වෘත්තීය සමිතියක් යටතේ සංවිධානගත වූ විට තත්ත්වය කණපිට හැරෙනවා. දැන් ශ්‍රමිකයින්ට කලින් නොතිබුණු හෙට්ටු කිරීමේ බලයක් තිබෙනවා. මොකද මේ සේවකයෝ ඔක්කොම අයින් කරලා අලුතෙන් පිරිස් බඳවා ගත හැකි ශ්‍රම වෙළඳපොළක් රට ඇතුළේ නැහැ. ඒ නිසා අදාළ රාජ්‍ය ආයතනයට සේවකයින් එක්ක (වෘත්තීය සමිතිය එක්ක) කිසියම් සංහිඳියාවකට එන්නම වෙනවා.

මේකේ තිබෙන අවුල මේ ක්‍රමයට සේවකයින්ට හෙට්ටු කරලා තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් වුනත් ලබා ගන්න පුළුවන් වීමයි. මොකද ඔවුන් හෙට්ටු කරන්නේ ලාබ ලැබීම ඉලක්ක කරගත් ආයතනයක් එක්ක නෙමෙයි. එවැනි ආයතනයක් එක්ක හෙට්ටු කළානම් ආයතනයේ ලාබ ප්‍රමාණය මගින් හෙට්ටු කිරීමේ හැකියාව නියාමනය වෙනවා. තේරෙන විදිහට කිවුවොත් ආයතනයක් පාඩු විඳගෙන සේවක පඩි වැඩ කරන්නේ නැහැ. ආයතනය වහල දමලා ප්‍රාග්ධනය වෙන තැනකට අරගෙන යන එක ඊට වඩා වාසියි. ඒ නිසාම ශ්‍රමිකයෝ තමන්ගේ රැකියා අහිමි වීමේ අවදානම අරගෙන ඒ මට්ටමට හෙට්ටු කරන්නේ නැහැ.

රාජ්‍ය ආයතනයක් එක්ක හෙට්ටු කරද්දී ඔය ප්‍රශ්නය නැහැ. මොකද ආයතනයේ ලාබ පාඩු මේ හෙට්ටු කිරීමට අදාළ නැහැ. රජයට අවශ්‍යනම් බදු ගෙවන්නන් මත වැඩි බරක් පටවමින් සේවක වැටුප් හා ප්‍රතිලාභ වැඩි කරන්න පුළුවන්.

මේ ආකාරයේ වැඩ වර්ජනයක් සාර්ථක වෙන්නේ බදු ගෙවන්නන් මත, ඒ කියන්නේ සාමාන්‍ය මහජනතාව මත, වැඩි පීඩනයක් එල්ල කරපු තරමටයි. රාජ්‍ය ආයතනයකට පොදු සේවා සැපයීමේ ඒකාධිකාරයක් තියෙද්දී මේ වැඩේ කරන එක අමාරු නැහැ. මොකද මේ පොදු සේවා බොහොමයක් අත්‍යවශ්‍ය සේවා.

නමුත් මේ වැඩේ සාධාරණද?

සමාජ සම්මතය ඇතුලෙ නැත්නම් නීතිය ඇතුලෙ වැඩ වර්ජන අයිතිය තහවුරු කරලා තියෙන්නේ වෙනම සන්දර්භයක. හරියටම කිවුවොත් ප්‍රාග්ධනහිමියන් එක්ක හෙට්ටු කිරීමේදී බල අසමතුලිතතාවය නිසා ශ්‍රමිකයින්ට සිදු විය හැකි අසාධාරණයට පිළියමක් විදිහට. නමුත්, දැන් වෙන්නේ මොකක්ද?

දැන් වෙන්නේ ශ්‍රමිකයින් පිරිසක් විසින් ඒකාධිකාරයක් හදාගෙන ඒ හරහා රටේ සාමාන්‍ය මහජනතාව වෙත පීඩනයක් එල්ල කරමින් එහි වාසිය ගන්න එක. මෙහිදී සේවායෝජකයා වන රජය අතරමැදියෙක් පමණයි. මේ තත්ත්වය තුළ, කිසියම් පිරිසකගේ සාමූහික හෙට්ටු කිරීමේ අයිතිය තහවුරු කරනවා කියන්නේ ඊට වඩා විශාල පිරිසකගේ ජීවත් වීමේ, අධ්‍යාපනය ලැබීමේ, සංචලනයේ අයිතීන් උල්ලංඝනය වෙනවා කියන එක. එතකොට රජයක් විසින් ගත යුත්තේ කාගේ පැත්තද?

මේක අඩු වශයෙන් යුරෝපය පුරා මෑතකාලීනව සංවාදයට බඳුන් වී තිබෙන මාතෘකාවක්. එක පැත්තකින් ශ්‍රමිකයින්ගේ සාමූහිකව හෙට්ටු කිරීමේ අයිතිය තහවුරු කළ යුතු අතරම අනෙක් පැත්තෙන් සාමාන්‍ය මහජනතාවගේ ජීවත් වීමේ, අධ්‍යාපනය ලැබීමේ, සංචලනයේ අයිතීන් තහවුරු කිරීම ගැනත් රජයකට හිතන්න වෙනවා. නමුත් මේ එකක් කරද්දී එයින් අනෙක් එකට බාධා වෙන එක වලක්වන්න බැහැ.

මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට එංගලන්තය පසු ගිය වසරේදී වැඩ වර්ජන (අවම සේවා) පණත සම්මත කළා. එය එවැනි පණතක් සම්මත කරගත් පළමු යුරෝපීය රට නෙමෙයි. ඉතාලිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය කලින්ම මෙවැනි පණත් සම්මත කරගෙනයි තිබුණේ.

මෙම පණත ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබූයේ පසුගිය සතියේ ලේබර් පක්ෂය බලයට පත්වන තුරු එක්සත් රාජධානියේ බලය හෙබවූ කොන්සර්වේටිව් පක්ෂය විසිනුයි. 2023 ජනවාරි 16 දින මේ සඳහා පැවති ඡන්ද විමසීමේදී 310-249 ලෙස වැඩි ඡන්ද 61කින් මෙම පනත මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ (House of Commons) සම්මත වුණා. පණතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 308 දෙනෙකුම කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජිතයින්. ලේබර් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ සියල්ලක්ම පාහේ ඡන්දය දුන්නේ මෙම පණතට විරුද්ධවයි.

එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වූ මෙම පණත ඉන් පසුව සාමි මන්ත්‍රී මණ්ඩලය තුළද සම්මත වී 2023 ජූලි 20 දින නීතියක් බවට පත් වුනා. ඊට පෙර පෙන්ම පසුවද වෘත්තීය සමිති වලින් මෙම පණතට එරෙහිව විරෝධතා පැමිණි අතර, දැන් බලයට පත් වී සිටින ලේබර් පක්ෂය එම විරෝධතා වලට සහයෝගය දෙමින් තමන් බලයට පත් වී දින 100ක් ඇතුළත පණත අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. කෙසේ වුවත්, මේ වන විට මෙය එංගලන්තයේ නීතියක්ව තිබෙනවා.

මෙම පණත යටතේ සෞඛ්‍යය, අධ්‍යාපනය හා ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් කාණ්ඩ හයක් ආවරණය වෙනවා. මේ වන විට පණතේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය මාර්ගෝපදේශන නිකුත් කර තිබෙනවා. ඒ අනුව, වැඩ වර්ජන කළ හැක්කේ පූර්ව දැනුම්දීමකින් පසුව දෙපාර්ශ්වයට එකඟ විය හැකි සැලසුමකට අනුවයි.

වැඩ වර්ජනයට දින 14කට පෙර – වෘත්තීය සමිතිය විසින් වැඩ වර්ජනය කිරීමේ අභිප්‍රාය සේවායෝජකයා වෙත දැනුම්දීම.

වැඩ වර්ජනයට දින 7-14කට පෙර – සේවායෝජකයා විසින් අවම සේවා මට්ටමක් පවත්වා ගැනීම පිණිස අවශ්‍ය වන සේවකයින් ප්‍රමාණය ඇස්තමේන්තු කිරීම සහ නිශ්චිත සේවකයින් හඳුනාගෙන ඔවුන්ගේ ලැයිස්තුවක් සකස් කර වෘත්තීය සමිතිය වෙත ලබා දීම.

වැඩ වර්ජනයට දින 1-7කට පෙර – සේවායෝජකයා විසින් ලැයිස්තුවේ නම් සඳහන් සේවකයින් වෙත ඒ බැව් දැනුම් දීම.

වැඩ වර්ජනයට දින 4කට පෙර – සේවායෝජකයා විසින් අත්‍යවශ්‍ය සේවක ලැයිස්තුව සංශෝධනය කළ හැකි අවසන් දවස.

මෙම කාර්ය පටිපාටිය ඉතාලිය වැනි අනෙකුත් යුරෝපීය රටවල ක්‍රියාත්මක කාර්ය පටිපාටියට බොහෝ දුරට සමානයි. කෙසේ වුවත්, දැන් බලයට පත්ව සිටින ලේබර් පක්ෂය විසින් ඉහත නීතිය අහෝසි කරයිද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක්.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan