සටහන – රුවන් නෙළුගොල්ල
2016 වසරේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලු සැකකරුවන් 06දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (13) කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වීරවංශ මහතා එහි පෙනී සිටියේ නැත.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු අධිකරණයට දන්වා සිටියේ විමල් වීරවංශ මහතා අසනීපයෙන් පසුවන බවත් ඊට අදාළ වෛද්ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ය.
ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියම කළේ නඩුව සැප්තැම්බර් 21 වනදා යළි කැඳවන ලෙසයි.
2016 පෙබරවාරි 6වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණයක නිරත විම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර ඇති අතර ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන ජානිපෙ සාමාජිකයින් සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර ඇත.


