කලින් සටහනෙන් පැහැදිලි කළේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට විය හැකි පාඩුව මහ බැංකුව විසින් හා වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ගණන් බලා ඇති ආකාරයයි. මෙම ඇස්තමේන්තු වෙනස් වීමට ප්‍රධාන ලෙසම හේතු වී තිබෙන්නේ යොදාගෙන තිබෙන අනාගත අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතික වෙනස් වීමයි.
මහ බැංකුව විසින් 9.4%ක ප්‍රතිලාභ අනුපාතිකයකට සාපේක්ෂව පාඩුව ගණන් හදා ඇති අතර වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 13.52%ක ප්‍රතිලාභ අනුපාතිකයක් යොදා ගෙන තිබෙනවා. මේ ගණන් දෙකෙක් එකකවත් පදනම පැහැදිලිව පෙන්වා දී නැහැ. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ගණනය සිදු කරද්දී බදු වල බලපෑම සලකා බැලීම මග හැරී තිබෙනවා විය හැකියි. 14%ක බදු ගෙවීමෙන් පසුව 13.52%ක ප්‍රතිලාභ ලැබීමටනම් බදු වලට පෙර 15.72%ක ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. බදු අනුපාතය 30%නම්, මේ සඳහා 19.31%ක සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් පවත්වා ගත යුතු වෙනවා. මෙම ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගණන්.
කෙසේ වුවද, ඉහත අනුපාතය 13.52% සේ සැලකුවද අදාළ ගණනය කිරීම් කර ඇති ආකාරය වැරදියි. මෙම වැරදි පෙන්වා දීම අපහසු වැඩක් නෙමෙයි.
පසුගිය සටහනෙන් පෙන්වා ඇති පරිදි, සේවක අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන රුපියල් ට්‍රිලියන 25.7 දක්වා වර්ධනය විය හැක්කේ රුපියල් 3,378ක මුදලක් එක දිගට වසර 16ක් 13.52%ක වේගයෙන් වර්ධනය වීම මගිනුයි. රුපියල් ට්‍රිලියන 12.7ක පාඩුව ගණන් හදා තිබෙන්නේ ඉහත උපකල්පනය මත පදනම්වයි.
රුපියල් 3,378*(1.1352)^16 = රුපියල් බිලියන 25,693යි.
නමුත්, ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව අදාළ මුදල් වසර 16කට හිර වෙන්නේ නැහැ. 2038 පෙබරවාරි 15 වන විට මුළු මුදලම ආපසු ලැබෙනවා. ඒ කියන්නේ උපරිම වශයෙන් සල්ලි හිරවෙන්නේ වසර 14කුත් මාස 6.5ක කාලයක් පමණයි.
අපි රුපියල් බිලියන 1000ක මුදලක් ගැන හිතුවොත් එම මුදල වෙනුවෙන් පහත ආකාරයෙන් මුදල් ආපසු ලැබෙනවා.
2027 මාර්තු 15 – රුපියල් බිලියන 83.3ක්.
2028 අප්‍රේල් 15 – රුපියල් බිලියන 83.3ක්
2029 මැයි 15 – රුපියල් බිලියන 83.3ක්
2030 ජූනි 15 – රුපියල් බිලියන 83.3ක්.
2031 ජනවාරි 15 – රුපියල් බිලියන 83.3ක්
2032 පෙබරවාරි 15 – රුපියල් බිලියන 83.3ක්
2033 මාර්තු 15 – රුපියල් බිලියන 83.3ක්.
2034 අප්‍රේල් 15 – රුපියල් බිලියන 83.3ක්
2035 මැයි 15 – රුපියල් බිලියන 83.3ක්
2036 ජූනි 15 – රුපියල් බිලියන 83.3ක්.
2037 ජනවාරි 15 – රුපියල් බිලියන 83.3ක්
2038 පෙබරවාරි 15 – රුපියල් බිලියන 83.3ක්
මේ අනුව, වසර 3කුත් මාස 7.5ක සිට මුදල් ආපසු ලැබෙන්නට පටන් ගන්නා අතර එතැන් සිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා හිරවෙන මුදල ක්‍රමයෙන් අඩු වෙනවා.
2027 මාර්තු 15 සිට- රුපියල් බිලියන 917.7යි
2028 අප්‍රේල් 15 සිට – රුපියල් බිලියන 833.3යි
2029 මැයි 15 සිට – රුපියල් බිලියන 750යි
2030 ජූනි 15 සිට – රුපියල් බිලියන 667.7යි
2031 ජනවාරි 15 සිට – රුපියල් බිලියන 583.3යි
2032 පෙබරවාරි 15 සිට – රුපියල් බිලියන 500යි
2033 මාර්තු 15 සිට – රුපියල් බිලියන 417.7යි .
2034 අප්‍රේල් 15 සිට – රුපියල් බිලියන 333.3යි
2035 මැයි 15 සිට – රුපියල් බිලියන 250යි
2036 ජූනි 15 සිට – රුපියල් බිලියන 167.7යි
2037 ජනවාරි 15 සිට – රුපියල් බිලියන 83.3යි
2038 පෙබරවාරි 15 සිට – කිසිවක් නැත.
මේ ආකාරයෙන් මුල් මුදල 2027 මාර්තු 15 සිට කොටස් වශයෙන් ආපසු ලැබෙද්දී 2023 අගෝස්තු 15 සිට සෑම මාසයකදීම කූපන් පොලී ආපසු ලැබෙනවා. ඒ විදිහට ආපහු ලැබෙන මුදල් වසර 16ක් හිර වෙන්නේ නැහැ. නමුත් වෙරිටේ රිසර්ච් ගණනය කිරීමේ පදනම මුළු මුදල වගේම කූපන් ගෙවීම්ද වසර 16ක් යන තුරු, ඒ කියන්නේ 2039 ජූලි 31 දක්වා, හිර වෙනවා කියන එකයි. මේ අනුව, වෙරිටේ රිසර්ච් විසින් යොදාගෙන තිබෙන 13.52% ප්‍රතිලාභ උපකල්පනය යටතේම වුනත් අදාළ ඇස්තමේන්තුව වැරදියි. මේ වැරැද්ද සුළුපටු වැරැද්දක් නෙමෙයි.
අපි වසර 16ක ආයෝජන කාල රාමුවක් සලකා බැලුවොත්, වෙරිටේ රිසර්ච් විසින් අරගෙන තිබෙන විදිහටම 13.52%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ඔය අවුරුදු 16 තිස්සේම ගන්න පුළුවන් කියලත් හිතුවොත්, ඔය අතරවාරයේ කූපන් පොලී විදිහට සහ මුල් මුදලේ වාරික විදිහට අතට ලැබෙන මුදල් වෙනුවෙන් එසේ මුදල් ලැබෙන දවසේ ඉඳලා 2039 ජූලි 31 දක්වා 13.52%ක වාර්ෂික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ නිසා, ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වසර 16කින් පසුව අරමුදල රුපියල් ට්‍රිලියන 13.6කට සීමා වෙන්නේ නැහැ. මොකද හිර වෙලා තිබෙන සල්ලි වලට ලැබෙන්නේ 9.1%ක ප්‍රතිලාභයක් පමණක් වුනත්, නිදහස් වෙන හැම රුපියලක් වෙනුවෙන්ම නිදහස් වූ මොහොතේ සිට 13.52%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ නිසා, වසර 16ක් යද්දී අරමුදල රුපියල් ට්‍රිලියන 22.96 ඉක්මවා වර්ධනය වෙනවා. ඒ අනුව, පාඩුව 10.6%ක් පමණයි. මෙය මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබෙන 4.8%ක පාඩුව මෙන් දෙගුණයකටත් වඩා වැඩි වුනත්, වෙරිටේ රිසර්ච් විසින් කියා තිබෙන 47%ක පාඩුවට කිට්ටු වෙන්නෙවත් නැහැ.
මේ ගණන් ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදා බලන්න පුළුවන්. මෙහි රොකට් සයන්ස් එකක් නැහැ. අපි 13.52% කියන අගය නිවැරදියි කියා සැලකුවත් රුපියල් ට්‍රිලියන 12.1ක පාඩුවක් වෙලා කියන එක පැහැදිලි ලෙසම වැරදියි. මේ වගේ වැරැද්දක් අතපසු වීමකින් හෝ සිදු වී තිබෙන පසුබිමක 13.52% ප්‍රතිලාභ අනුපාතය ගණන් හදද්දී එය නිවැරදිව කළාද කියන එක පරීක්ෂාවට ලක් නොකර විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. මෙම ගණනයේදී බොහෝ විට බදු නොසලකා හැර තිබෙනවා වෙන්න පුළුවන්.
~ ඉකොනොමැට්ටා
RN