මේ මොහොතේ ඉන්දියාව කොදෙව් දූපත් කණ්ඩායමට එරෙහිව ඉණිමක සහ ලකුණු 141 ජයක් ලැබීමෙන් ක්‍රිකට් ලෝකයේම කැළඹීමට ලක් කර ඇත.ඒ ඒ ජයග්‍රහණය ලැබූ ආකාරයෙන්ය.
අවුරුදු 12 දී ත් ජීවිතය ගැට ගසා ගන්නට පානි පූරි විකුණන්න හවුල් වූ යෂාවී ජයිස්වාල් 21 හැවිරිදි වියේ තරුණයෙක් ලෙස ලබාගත් මංගල ශතකයේ සිපිරි බව හෝ කඩුලු 12 ක් ලබා ගනිමින් සිය කඩුලු පැස 486 දක්වා ඔසවා ගත් රවිචන්ද්‍රන් අශ්වින් මුරලිගේ වාර්තාවට සමීප වේ ද ගැන මේ ජයග්‍රහණය හරහා කතාවට ලක්වෙන මට්ටමත් ඉක්මවා වැඩි දෙනෙක් කතා කරන්නය වූයේ ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අපූරු ඇඳුම් විලාසිතාවය.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ පාපන්දු ක්‍රීඩකයෙක් මේ ඇඳුමත් සමඟ වෙනස් වන්නේ නම් ඒ කළිසමේ දිග සහ කොට අනුවය.ක්‍රිකට්වලට ආවේනික වූ පා ආවරණ,අත් ආවරණ ඉවත් කර ඇඳුම පමණක් සළකා බලද්දි ඒ ඇඳුමෙන් දකින්නට හැකි දිගට කළිසමක් ඇඳි ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩකයෙක්ය.
ඉන්දීය සංස්කෘතිය ඉතා ඉපැරණි එකකි.නමුත් ඔවුන් දියුණ්ව කරා යන්නේ අලුත් වෙන්නට ඇති නීර්භීතකම නිසාය.නවීන ලෝකය සමඟ එක පෙළට සිට ගන්නට සංස්කෘතිය බාධාවක් කර නොගන්නා ඉන්දියාව මේ වන විට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙන්නේ ඒ නිර්භීත වෙනස්කම්වලට ඉදිරිපත් වීම හරහාය.

ලෝකයේ මේ වන විට ක්‍රිකට් රාජ්‍යයේ මුල් අසුන නොනිල වශයෙන් ඉන්දියාව සතු බව ප්‍රසිද්ධ රහසකි.මහා සල්ලි ගස් ක්‍රිකට් වෙනුවෙන් හොලවන්නට ඉන්දියානු ක්‍රිකට්වලට ඇති හැකියාව සහ ආගමක් තරමට භක්තියක් සහිතව ක්‍රිකට් ඉන්දීය ජන මනස තුළ තැන්පත්ව තිබීමෙන් ක්‍රිකට් සමඟ ඉන්දියාව ක්‍රිකට් ලෝකය වෙනස් කිරීමේ සුක්කානම අත දරා සිටින්නේය.

වානිජමය අර්ථයෙන් කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම ආකර්ශණීය වෙළද පොළ බවට පත්ව ඇත්තේ අයිපීඑල් භූමියය.ඒ හරහා ලෝකයට ඉන්දියාවේ තරම කියන ආකාරය තේරුම් ගන්නට අයිපීඑල් මැච් සමඟ ඉන්දීය භාන්ඩ වෙළද පොළ අපේ ආලින්දයට ගොඩ වැදී කරන බලපෑමෙන් තේරුම් ගත හැකිය.එවන් ඉන්දියාව දැන් සිය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අඳින ඇඳුමේ ස්වේත වර්ණයට හානියක් නොකර නමුත් ඇඳුම වඩාත් ආකර්ශණීය පෙදෙසකට රැඟෙන යාමේ ක්‍රියාවට අත තබා ඇත.මේ සමඟ ඇති ඡායාරූපවල දැක්වෙන්නේ ඉන්දියාවේ නව ටෙස්ට් ඇදුමය.මේ පෙළඹීම ඉතා වැදගත් ලෙස ක්‍රිකට් ලෝකය භාර ගැනීමෙන් පසු ඒ ඒ රටවල ටෙස්ට් ඇඳුම කුමන හැඩයක් ගනු ඇද්ද?
අද ක්‍රිකට් ලෝකය මෙන් ක්‍රිකට් පරිපාලනයන්ද සිත යොදන බව නිසැකය.රතු පන්දුව සමඟ ඇඳුමේ වර්ණය කුමන දිශාවකට යනු ඇද්ද?එය අපූරු අත්දැකීමක් වනු ඇත.අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟී යන්න මුනිදාස කුමාරතුංග සූරීන් කියූ අපූරු කවියක පදයක්ය.නමුත් අපි තවමත් නොනැඟ සංස්කෘතියේ වහලෙක් වී සිටිනු විනා එයට හානියක් නොවන්නට නවීන වෙනස්කම් වැළඳ ගන්නට නොදැන සිටිමු.වෙනස් වීම යනු ඔලමොට්ටල චණ්ඩිකමක් නොවන ආකර්ශණීය සහ පැහැපත් පෙණුමක් සහිත එකක් විය යුතුය යන ඉන්දියානු ක්‍රිකට් ඇඳුමම කියා දෙන්නේය.
සටහන – නිෂ්මං රණසිංහ
