රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි චීන රජයෙන්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ LNW :

අද ( 16  ) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී, 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී 2025 වර්ෂයේ සඳහා අවශ්‍ය මුළු නිල ඇඳුම් අවශ්‍යතාවය ප්‍රදානය කර අවසන් බව දැනුම් දීමට අදාල සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු විය.
මේ වන විට 2026 වර්ෂය සඳහා ද පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මහජන චීන සමූහාණ්ඩුවේ ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත යොමු කර ඇත.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපනය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින්නේ සහයෝගීතාවයෙන් යුත් දිගු කාලීන මිත්‍රත්වයක්. අපේ රටේ පාසල් දරුවන්ට ලබා දුන් මෙම නිල ඇඳුම් ප්‍රදානය ද මෙම දීර්ඝ කාලීන මිතුදමේ එක් පියවරකි.

2023 සහ 2024 වර්ෂවල චීන රජය පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අපගේ ජාතික අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් ලබා දී ඇති අතර, 2025 වර්ෂයේ සම්පුර්ණ නිල ඇඳුම් අවශ්‍යතාවයම අප රටේ දරුවන්ට ලබා දී ඇත.
ශ්‍රී ලංකාවට අතිශයින් දුෂ්කර කාලයකදී අප රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් චීන රජයෙන් ලබා දුන් මෙම පරිත්‍යාගය අපට බොහොම වටිනවා.

2026 වසර සදහා ද , චීන රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන ලෙස අප රජය දැනටමත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම අපේ රටේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට මාගේ ස්තූතිය පුද කරනවා” යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා,

“ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය ඔබේ විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහායකයා ලෙසද කටයුතු කරනවා. දරුවන් යනු මේ රටේ අනාගතය පමණක් නොව චීන ශ්‍රී ලංකා මිතුදමේ උරුමක්කාරයන්.

ඔවුන්ගේ නිල ඇඳුමේ ඇති සෑම මැහුමකින්ම අපේ පැරණි ශිෂ්ටාචාර දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ කතාව කියනු ඇත.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන දායකත්වය සහ කැපකිරීම් මම ඉතාමත් අගය කොට සලකනවා. “

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...

පාතාලයේ අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නෙ – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට පාතාලයේ අක්මුල් නෑර සියල්ලම සොයාගෙන...